නව රජයේ අදූශිත බව අයෝජකයන්ට හොඳ සංඥාවක් – ජූලි චන්ග්

එක්සත් ජනපද තානාපති ජූලි ඩන්ග් හා කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අතර හමුවක් අද(22) දින කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ දී පවත්වා තිබේ.

මෙහිදී ජාතික ජන බලවේගය ලබාගත් තියුණු ජනවරම පිළිබඳව සුබ පැතූ තානාපතිතුමිය, කර්මාන්ත අමාත්‍ය ලෙස පත්වීම පිළිබඳවද සුනිල් හඳුන්නෙත්ති මහතාට සුබ පැතූ බවයි සඳහන් වෙයි.

අමාත්‍යවරයා හා තානාපතිනිය අතර ඇති වූ සාකච්ඡාවේදී නව රජය පත්වීමෙන් පසු ඇතිවූ දූෂණයෙන් තොර වූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසා ආයෝජකයන්ට හොඳ සංඥාවක් ලැබී ඇති බව තානාපතිනිය ප්‍රකාශ කර තිබේ.

එමෙන් එක්සත් ජනපදය තුළ සිටින බොහෝ ආයෝජකයන් දැනට වෙනත් රටවල ඇති ඔවුන්ගේ කර්මාන්ත දකුණු ආසියාවට රැගෙන ඒමට උත්සාහ කරන නිසා ඉන් පංගුවක් ශ්‍රී ලංකාවට ලබාගත හැකි වනු අතර ඒ වෙනුවෙන් තමා සහයෝගය ලබාදෙන බවයි තානාපතිනිය ප්‍රකාශ කර ඇත.

අමාත්‍යවරයා මෙහිදී ලංකාවේ ඛනිජ වැලි, ග්‍රැනයිට් වැනි ක්ෂේත්‍ර වලට ආයෝජන කිරීමට එක්සත් ජනපද ආයෝජකයන්ට ආරාධනා කළ අතර, රජය කර්මාන්තකරුවන් මුහුණ දෙන නිෂ්පාදන පිරිවැය හා බදු සම්බන්ධ ගැටළු අවම කිරීමට පියවර ගන්නා බවද ප්‍රකාශ කර තිබේ.

මෙම අවස්ථාවට එක්සත් ජනපද තානාපති කාර්යාලය වෙනුවෙන් තානාපති කාර්යාලයේ ආර්ථික නිලධාරි Bradley Gardner මහතා සහ තානාපති කාර්යාලයේ ආර්ථික විශේෂඥ රෝෂණී පීරිස් මහත්මියද, කර්මාන්ත ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය වෙනුවෙන් අතිරේක ලේකම් චමින්ද ප්‍රතිරාජ මහතා සහභාගි වී තිබේ.

කාලීන පුවත්