නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද

පාර්ලිමේන්තුව අද (07) රැස්වීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තුව අද (07) වැනිදා සිට 10 වැනිදා දක්වා රැස්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනලදි.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (31) දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ බව තීරණය වී තිබේ.

ඒ අනුව අද (07) අගහරුවාදා පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.

අනතුරුව පෙ.ව 10.30 සිට ‍ප.ව 5.30 දක්වා රජය විසින් ගෙනෙනු ලබන “2024 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව” සම්බන්ධව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය වූ බව මහලේකම්වරිය පවසයි.

ජනවාරි 8 වැනි බදාදා පෙ.ව 9.30 – පෙ.ව 10.00 කාලය අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා (ප්‍රශ්න 4ක්) වෙන් කර තිබේ.

අනතුරුව පෙ.ව 10.00 පෙ.ව 10.30 කාලය කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා (ප්‍රශ්න 5ක්) වෙන් කර ඇති බව සඳහන්.

ඉන්පසු පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා ආනයන අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි, විදේශ විනිමය පනත යටතේ නියෝගයක්, ගෙවීමේ සහ බේරුම් කිරීමේ පද්ධති පනත යටතේ රෙගුලාසි, කැසිනෝ ව්‍යාපාර (නියාමනය) පනත යටතේ රෙගුලාසි, වරාය සහ ගුවන්තොටුපල සංවර්ධන බදු පනත යටතේ නියෝගයක් සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ රෙගුලාසි විවාදයට ගැනීමට නියමිතයි.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබේ.

ජනවාරි 9 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති බව මහලේකම්වරිය පවසයි.

ඉන්පසු පෙ.ව 10.30 සිට පෙ.ව 11.30 දක්වා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගයක්, විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝග සහ සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ නිවේදන විවාදයට ගැනීමට නියමිතයි.

අනතුරුව ප.ව 5.30 දක්වා විරුද්ධ පාර්ශවය විසින් ගෙනෙන යෝජනාවට අනුව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට ද මෙහිදී එකඟත්වය පළවී තිබේ.

ජනවාරි 10 වැනි සිකුරාදා සම්පූර්ණ දිනය වෙන්ව ඇත්තේ අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ශෝක ප්‍රකාශ යෝජනා පළ කිරීම සඳහායි.

මේ අනුව අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, එච්.නන්දසේන සහ ටියුඩර් ගුණසේකර යන මන්ත්‍රීවරුන් සඳහා ශෝක ප්‍රකාශ යෝජනා පළ කිරීම සඳහා එදින පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා කාලය වෙන් කිරීමට ද මෙහිදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනලදි.

කාලීන පුවත්