නාඩගම්කාරයෝ හි කුසුමලතා වන්නට ලැබීම මගේ භාග්‍යයක් ප්‍රවීණ රංගන ශිල්පිනී මීනා කුමාරි

වසර තිහකට අධික කාලයක් අඛණ්ඩව රංගන ක්ෂේත්‍රය තුළ රැඳී සිටින, එහෙත් තමන්ගේ පාඩුවේ හෙමින් ගමනක් යන ප්‍රවීණ රංගන ශිල්පිනී මීනා කුමාරි මේ දිනවල නාලිකා පහකින් විකාශය වන ටෙලිනාට්‍ය පහකටම රංගනයෙන් දායක වී සිටිනවා. මෙයින් නාඩගම්කාරයෝ, කියාදෙන්න ආදරේ තරම්, හිතුවක්කාරී, රේස් යන ටෙලිනාට්‍යවල ඇය නිරූපණය කරන්නේ මවගේ චරිතයයි. රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍යයේ ඇය කන්‍යා සොයුරියක්. විවිධ චරිත නිරූපණය තුළින් ප්‍රේක්ෂකයන්ගේ නොමඳ ආදරයට ලක්වූ මීනා කුමාරි අද අපේ පිළිසඳරට එකතු වුණා.

* නාඩගම්කාරයෝ හි කුසුමලතාගේ චරිතය ඔබ ඉතාමත් දක්ෂ ලෙස නිරූපණය කරනවා. ඔබගේ ඇහි පිල්ලමක් පවා එම චරිතයට ඉටුකරන සාධාරණය ගැන කතා කරන්න වචන නැති තරම්. කොහොමද ඔබ නාඩගම්කාරයෝ සමග එකතු වුණේ?

මෙම චරිතය නිරූපණය කිරීම සඳහා මට ආරාධනා ලැබුණේ එම ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා වූ ශිවගුරුනාදන්ගෙන්. මාව ඒ චරිතය සඳහා තෝර ගත්ත හේතුව නම් මම දන්නෙ නෑ. නමුත් එහි පිටපත රචනා කරන සද්ධාමංගල සූරියබණ්ඩාර මෙම චරිතය ගොඩ නැගීමේ දී ඔහුගේ සිතේ ඇඳුණු රුවක් ඇති. ඒ වගේම එහි අධ්‍යක්ෂවරයා වූ ශිවගුරුනාදන්ගේ සිතේත් එම චරිතය සඳහා ඇඳුනු රුවක් තියෙන්න ඇති. මේ දෙකේම සංකලනයක් ලෙස අවසානයේ ඔවුන් මාව කුසුමලතා සඳහා තෝරා ගන්න ඇති කියා මං විශ්වාස කරනවා.

* කුසුමලතාගේ චරිතය ගැන මීනාට මොකද හිතෙන්නේ ?

ඒ තමයි අපේ සංස්කෘතියෙ ඉන්න පරිපූර්ණ මව. මවක් වශයෙන්, බිරිඳක් වශයෙන් පැවැතිය යුතු සංයමය, බුද්ධිමත් බව, ඉවසීම වැනි ගුණාංග කුසුමලතා තුළ වුවමනාවටත් වඩා තිබෙනවා. මේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කියලා නිම කරන්න බැරි තරම්. ඇත්තටම මට හිතෙනවා මේ කුසුමලතා චරිතය මට ලැබීම මං ලබපු ලොකු භාග්‍යයක් කියලා. මං එහෙම කියන්නේ මට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන හිතලාම නොවෙයි. තමන්ගේ සැමියා සහ දියණියන් සමග ඉතාමත් බුද්ධිමත්ව, හරිම ඉවසීමෙන් සියලුම දේවල්වලට මුහුණ දෙන එවැනි අම්මා කෙනෙකු සැබෑම මවක් ලෙසයි මා දකින්නේ. ඉතින් එවැනි චරිතයක් සාර්ථක ව නිරූපණය කරන්නට ලැබෙනවා නම් ඒක ලොකු භාග්‍යයක් නොවෙයිද ?

* මීනාත් දියණියකගේ මවක්. ඔයාගේ සැබෑ ජීවිතයේ මවගේ භූමිකාවත් කුසුමලතාගේ වගේද?

හරිම ඉවසීමෙන් බුද්ධිමත්ව ජීවිතයේ එන හැම සිදුවීමකට මුහුණ දීමේ ශක්තිය මම කුඩා කාලයේ සිටම ප්‍රගුණ කර තිබෙනවා. මගේ පියා හමුදා නිලධාරියෙක්. ඔහු හරිම පිළිවෙළකට ජීවිතයේ හැමදෙයක්ම කළේ. ඒ පිළිවෙළ අපේ පවුලේ මටත්, අක්කාටත්, නංගීට සහ මල්ලිටත් ඔහු ආදර්ශයෙන්ම පෙන්වා දුන්නා. ඒ වගේම මම මගේ පාසල වූ කොළඹ විශාඛා විද්‍යාලයේ දක්ෂ ක්‍රීඩිකාවක්. පාසල් කැඩෙට් කණ්ඩායමේත් මං සාමාජිකාවක්. මගේ පළමු රැකියාව ගුවන් හමුදාවේ. මේ සියලුම දේවල් තුළ මට ඉවසීම, දරාගැනීමේ හැකියාව සහ බුද්ධිමත්ව තීරණ ගැනීම වැනි දේවල් පිළිබඳ ඉතා හොඳ පුහුණුවක් වගේම මනා හික්මීමකුත් ලැබුණා. ඉතින් ඒ ගති ලක්ෂණ මගේ පෞද්ගලික ජීවිතයටත් ආදේශ වුණේ ඉබේම වගේ.

මගේ දියණිය සවිඳි සුභාර්තා බණ්ඩාරනායකගෙ වයස දැන් විසිතුනක්. අපි දෙන්නා අතරේ ඉතා හොඳ බැඳීමක් තිබෙනවා. අම්මලා සහ දරුවන් අතර ගැළපෙන නොගැළපෙන දේවල් කොතෙකුත් තියෙන්න පුළුවන්. ඒක ස්වභාවයක්. නමුත් ඒ හැම දෙයක්ම අතරින් නොගැළපෙන දේවල් හෙමිහිට ක්‍රම ක්‍රමයෙන් මම දුවට අවබෝධ කරල දෙනවා. එහි ප්‍රතිඵල මම අද භුක්ති විඳිනවා. ඇත්තටම අම්මා කෙනෙක් ලෙස මට හරිම ආඩම්බරයි මගේ දුව ගැන. දුව ඉතා හොඳ හික්මීමක් ඇති කීකරු දරුවෙක්. ඒ වගේම ඇය ඉතා හොඳින් අධ්‍යාපන කටයුතු කළා. මාලබේ ස්ලිට් අධ්‍යාපන ආයතනයේ සොෆ්ට්වෙයා ඉන්ජිනියරින් සම්බන්ධව මගේ දුවට උපාධියක් තිබෙනවා. ඇය කොතරම් දක්ෂ ලෙස එම අධ්‍යාපන කටයුතු අවසන් කළා ද කිව්වොත් ඒ වසරේ දී බැච් ටොප් වුණේ මගේ දුවයි.

* කාර්ය බහුල රංගන ශිල්පිනියක් වුණු ඔයා, දුවගෙ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දුන්නෙ මොනවගේ සහයෝගයක් ද?

මාත් මගෙ දුවත් අතරේ හොඳ බැඳීමක් තිබෙනවා. දුවගෙ අධ්‍යාපන කටයුතුවලට අවහිරයක් නොවන විදිහට තමයි මම රඟපෑම් කටයුතු කළේත්. ඒ නිසාම මම මට ලැබුණු චිත්‍රපට සහ ටෙලිනාට්‍ය ගණනාවකම රඟපෑමේ අවස්ථාවන් අතහැර දැමුවා. ඒ අතරේ ඉතා හොඳ කලාත්මක චිත්‍රපට පවා තිබුණා. මම නිළියක් ලෙස සාර්ථක ඉදිරි ගමනක් යනවට වඩා මට වුවමනා වුණේ මවක් විදිහට මගේ දුවට නිසි මග පෙන්වන්න. මගේ දුව හරි පාරක යවන්න බැරි වුණා නම් මම නිළියක් විදිහට මොන තරම් සාර්ථක වුණත් මට අම්මා කෙනෙක් විදිහට සතුටු වෙන්න බෑනේ . මම මගේ රංගන කටයුතු යොදා ගත්තෙ දුවගෙ වැඩකටයුතු සඳහා වෙලාව වෙන් කරගෙන අමතර වෙලාවන්වලදීයි. මගේ රැකවරණය තුළ දුව හොඳ ගමනක් ගියා. ඒ නිසා එයාට පාර වැරදුණේ නෑ. අද මම හරිම තෘප්තිමත් මවක්. මගෙ දුව දැන් හොඳ රැකියාවක් කරනවා. එයාගෙ ඉදිරි අනාගතයත් සාර්ථක වෙන බව මං හොඳින්ම විශ්වාස කරනවා.

* ඔයා 1989 විකාශය ඇරඹී අතිවිශාල කොටස් ප්‍රමාණයක් ලෙස දිග හැරුණු “වසූදා” ⁣ටෙලි නාට්‍යයේ වසූදා ලෙස රඟපෑවා. මෙතෙක් රඟපාන්න ලැබුණු චරිත ගැන ඔයා තෘප්තිමත් ද?

සත්තකින්ම. මම වසූදා ටෙලිනාට්‍යයේ තරුණ වියේ සිට මහලු විය දක්වාම එම චරිතය නිරූපණය කළා. ඒ කාලෙ මම ගොඩක් තරුණයි. මුල ඉඳලම මම රඟපෑවේ නිළියක් විදිහට මට සතුටු විය හැකි, යමක් ඉගෙන ගත හැකි චරිත. අපි දර්ශන තලයට ගිහින් චරිතය රඟපාලා ඒක එතැනින්ම අමතක කරලා එනව නම් අපි අසාර්ථකයි. ඒ චරිතය තුළින් අ⁣පේ ජීවිතයට උකහා ගත හැකි යහපත් දේවල් අපි උකහා ගත යුතුයි. ඒ වගේම මට දැන් ලැබෙන මවගේ චරිත ගැනත් මම හරිම තෘප්තිමත්. ඒ හැම චරිතයක් තුළ ම විවිධ අයුරින් සිටින්නේ මා තුළ ඉන්නා සැබෑම මව. ඒ චරිත නිසා තවත් අපේ ජීවිත අත්දැකීම් ගොඩ නැගෙනවා. අපි පරිණත වෙනවා. රංගනය කියන්නෙ ජීවිතය ගැන උගන්වන තවත් මහ විශාල පාසැලක්.

* ඔයාට පසුගිය කාලයේ ගෞරව සම්මානයක් හිමි වුණා නේද ?

ඔව්. විශ්වකීර්ති දේශාභිමානී රංගනකලාශූරිනී නැමැති සම්මානය

* නාඩගම්කාරයෝ දැන් ඉවර වෙන්න ළඟයිද?

ඒක නම් දන්නෙ නෑ. තවම රූපගත කිරීම් නම් කරනවා. අධ්‍යක්ෂවරයායි, පිටපත් රචකයායි තමයි ඉතින් ඒ ගැන හරියටම දන්නෙ.

* මීනා ගෙ අනාගත බලාපොරොත්තු මොනවද?

දුවගෙ අනාගතය ගැන තමයි තියෙන ලොකුම බලාපොරොත්තුව . ඉන් එහාට මහ ලොකු දේවල් මට නෑ. මොකද මම මවක් වශයෙනුත් තෘප්තිමත් , රංගන ශිල්පිනියක් වශයෙනුත් තෘප්තිමත්. ඉතින් තව මොනවද නේද?

ඉන්දු පෙරේරා

රසගඟුල