නාඩගම් කාරයෝ මාලන් ගේ ජාතියේ අයට හදවත් රෝග අඩුයි

මම පසුගිය දිනයෙක රාත්‍රියේ මගේ හිතවතකු ගේ නිවසට යන විට ඔහු තම අඹු දරුවන් සමඟ රූපවාහිනිය නරඹමින් සිටියේ ය. ඒ මොහොතේ එහි විකාශනය වෙමින් තිබුණේ මේ දිනවල අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙන ‘නාඩගම් කාරයෝ’ ටෙලි නාට්‍යයයි.

“මේ ටෙලි ඩ්‍රාමා එකේ මාලන් ගේ කතා බහ හැසිරීම් වලට මම මුල දී කැමති වුණේ ම නැහැ. ඒත්, දැන් මේ කතාව යන විදිහට මාලන් කියන්නේ හොඳ හදවතක් තියන කොල්ලෙක්” එම ටෙලි නාට්‍ය නරඹා අවසානයේ මගේ හිතවතා ගේ බිරිඳ සිනාසී කීවා ය.

“කෙනෙකුගේ හදවත හොඳ ද නරක ද එහෙම එක පාරටම කියන්න බැහැ අම්මේ; ඒකට එයා ගැන සෑහෙන කාලයක් අධ්‍යයනය කරන්න ඕනේ” එම කාන්තාව ගේ කතාවට එලෙස ඌණ පූරණයක් කරන ලද්දේ ඇගේ වැඩිමල් දියණිය විසිනි.

“ඒ ඔයාලා හිතන විදිහ. ඒත්, හෘද රෝග සම්බන්ධ විශේෂඥ දොස්තර මහත්තයෙකුට නම් මම හිතන්නේ නෑ ඒකට ඒ තරම් කාලයක් ඕනෙ වෙයි කියලා” එවිටම මගේ හිතවතා ම’දෙස බලා සිනාසෙමින් කී ය. එහෙත්, ඔවුන් කී ‘නාඩගම් කාරයෝ’ ටෙලි නාට්‍යයේ මාලන් ගේ හදවත පිළිබඳ කතිකාව සහ මගේ විෂය පථය වන හෘදවේදය මුල් කොට ගත් එම අදහස් දැක්වීම සම්බන්ධයෙන් මගේ හිතවතාගේ බිරිඳ සහ ඔහු ගේ දියණියන් දෙදෙනා විස්මයානුකූල උනන්දුවක් පළ කරන බවක් මට ද හැඟුණි.

“ඇත්තටම ඩොක්ටර් ඔය ඒ මිනිහගේ හදවත ගලක්, එයා ගේ හදවත ඉක්මනට උනුවෙනවා. මගේ හදවත කඩා වැටෙනවා වගේ දැනුණා වගේ කතාවල් අපිට නිතර දෙවේලේ අහන්න ලැබෙනවනේ. හෘද රෝග ගැන කතා කරන කොට ඒවායේ මොකක් හරි ඇත්තක් තියනවද?” ඒ උනන්දුව මුල් කර ගනිමින් ම මගේ හිතවතා ගේ බිරිඳ එසේ ඇසුවා ය.

“මිනිස්සුන් ගේ සිතුම්, පැතුම්, හැඟීම්, ආවේග, ආකල්ප වගේ දේවල් හදවත මුල් කරගෙන ඇති වෙනවය කියන විශ්වාසය මානව ඉතිහාසයේ ආදීතම යුගයක් දක්වාම පැරණියි. අදත් සමහරු පත්තර වල මංගල යෝජනා වලට පවා “කාරුණික හදවතක් ඇති සහකරුවෙකු පතයි” වගේ වාක්‍ය එක් කරනවනේ. නමුත් මිනිස්සුන් ගේ සිතුම්, පැතුම්, හැඟීම්, ආවේග, ආකල්ප වගේ මේ සේරම දේවල් වල පාලන මධ්‍යස්ථානය මොළය මිසක් හදවත නෙවෙයි. ඒක විද්‍යාත්මකව සියයට සීයක්ම තහවුරු වුණාට මොකද මිනිසත් බව පෙරදැරි කර ගත්තු බැඳීම් වලදී, කලාවේදී, රසාස්වාදනයේ දී අදත් මුළු ලෝකයම පිළිගන්නේ මිනිසුන් ගේ සිතුම්, පැතුම්, හැඟීම්, ආවේග, ආකල්ප වගේ හැම දේකම පාලන මධ්‍යස්ථානය හදවත කියලයි. ඒකනේ කෙනෙක් තමන් හුඟක්ම ආදරේ කරන කෙනාට ‘ස්වීට් හාට්’ කියලා කතා කරන්නේ” මම ඔවුනට පැහැදිලි කළෙමි.

“එතකොට මොකක්ද ඩොක්ටර් ඒක එහෙම වෙන්න හේතුව” ඒ සම්බන්ධයෙන් හටගත් කුතුහලය මුල් කොට මගේ හිතවතා ඇසී ය.

“හරි; මම එහෙනම් ඒක පුළුවන් තරම් සරල විදිහට විස්තර කරන්නම්. දැන් අපි හිතමු අපි මෙහෙම කතා කරමින් ඉන්න අතරේ මොකක් හරි කන් බීරි කරවන සද්දයක් ඇහුණ කියලා. එතකොට ඒක අපේ කන් වලින් තත්පරයකටත් අඩු කාලයක් ඇතුලත මොළයට පිවිසිලා ඒ මොහොතේම මොළය ඇතුලේ සියුම් විද්යුත් කම්පනයක් ඇති කරනවා. ඒ නිමේෂයේ දීම ඒ සංවේදීතාව පිවිසෙන්නේ අපේ හදවතට. ඒ එක්කම හදවතත් ක්ෂණිකව තමන් ගේ ස්පන්දන වේගය වැඩි කර ගන්නවා. එතකොට තමයි අපිට අපේ පපුව හැගෙනවා දැනෙන්නේ. ඒ එක්කම ශරීරයේ රුධිර ගමනාගමනයන් ශීඝ්‍රකාරව වැඩිවෙනවා.

ඒ විතරක් නෙවෙයි ශරීරය තුළ තවත් ජෛවමය ක්‍රියාකාරකම් කීපයක්ම වෙනවා. ඒ සේරම සිද්ද වෙන්නේ මූලික වශයෙන් අපේ පැවැත්ම පිළිබඳ ආරක්ෂාවට. ඇත්තෙන්ම ඒ ලොකු සද්දය ගැන මුල්ම සංවේදීතාවය මොළයට දැනුණත් ඒ නිසා මොළයේ ඇති වෙන සියුම් විද්යුත් කම්පනය අපිට දැනෙන්නේ නැහැ. ඒකට හේතුව මොළය කියන්නේ අපිට සංවේදිතා දනවන ඉන්ද්‍රිය පද්ධතියක් නොවෙන නිසා. නමුත් හදවත කියන්නේ සංවේදනා පළ කිරීම අතින් අපේ ශරීරයේ තියන ප්‍රධානම ඉන්ද්‍රිය. ඒ හින්දා තමයි ඔය වගේ කම්පනයක් වගේම ලොකු දුකක්, වේදනාවක් වගේ අති සංවේදී හැඟීම්, ආවේග වලදී ඒක හදවතට බලපානවා වගේ දැනෙන්නේ. ඒක තව ටිකක් විස්තර කළොත් මොළේ අපේ ශරීරයේ පාලන මැදිරිය විදිහට සැලකුවොත් හදවත මෙහෙයුම් මැදිරිය විදිහට හඳුන්වන්න පුළුවන්” මම ඔවුනට විස්තර කර දුනිමි.

ඉන්පසුව ඒ සම්බන්ධයෙන් ඔවුන් හමුවේ වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කළ මම ඉහත සඳහන් අන්දමේ තදබල මානසික කම්පනයන් සහ තදබල චිත්තාවේගයන් හදවතට දරා ගත නොහැකි අවස්ථාවලදී හදවතේ රිද්මය අසාමාන්‍ය අයුරින් විෂම වීමෙන් (Arrhythnia) හෝ හෘදය හා සම්බන්ධ කිරීටක ධමනියක රුධිර කැටියක් සිරවීමෙන් (Myocardial insarction) යමකු ක්ෂණික මරණයකට පත් වීමට හෝ අංශබාග යනුවෙන් හඳුන්වන ආඝාත (Stroke) තත්වයකට පත්වීමට ඇති හැකියාව පිළිබඳව ද ඔවුන්ට සරලව කරුණු කියා දුනිමි.

“එතකොට ඩොක්ටර් ඔය කොල්ලෝ කෙල්ලෝ කියන්නේ පිවිතුරු, නිකැළැල් හදවතක් වගේ කතා. ඒවත් අර කලින් කිව්වා වගේ කලාත්මක මිසක් කිසිම විද්‍යාත්මක වැදගත්කමක් නැති වචන කියලද ඩොක්ටර් කියන්නේ” මගේ හිතවතා ගේ බිරිඳ ඇසුවා ය.

“එහෙම විද්‍යාත්මක වැදගත්කමක් නෑ කියලම කියන්න බැහැ. කෙනෙකු ගේ සිතුම් පැතුම් යහපත් වීම තුළින් ඒ තැනැත්තා ගේ ශරීරයේ ජෛව රසායනික සංයුතිය යහපත් වෙනවා. ඒ වගේ කෙනෙකු ගේ හෘද සෞඛ්‍යය යහපත් වීමේ ස්වභාවික හැකියාවක් තියනවා” මම ඔවුනට පැහැදිලි කළෙමි. මෙහි දී ලොව පුරා සිදු කරන ලද පර්යේෂණ වලට අනුව හෘදයාබාධ වැළඳීම සම්බන්ධයෙන් ඒ එක් එක් තැනැත්තා ගේ පෞරුෂ ලක්ෂණ ද වැදගත් සාධකයක් බව අනාවරණය වී ඇත. එය අවධාරණය කිරීම පිණිස ඔවුන් ගේ එම පෞරුෂයන් ‘ඒ කාණ්ඩය’ සහ ‘බී කාණ්ඩය’ වශයෙන් කොටස් දෙකකට බෙදා තිබේ.

ඒ අය ජීවිතයේ අත්දකින හැම දෙයක්ම බැරෑරුම් විදිහට ගන්නවා. ඒ බැරෑරුම් බව ඔස්සේ ජීවිතය කළමණාකරණය කර ගන්න යාම තුළින් ඒ අය තමන්ට සිද්ද වෙන සුළු අතපසු වීම් ගැන පවා බරපතල විදිහට හිතනවා. සමහරු ඉන්නවා ජීවිතයේ හැම දෙයකින් ම පිළිවෙලක්, ක්‍රමානුකූල බවක් දකින්න අවශ්‍ය අය. ඒ අය හිතනවා; තමන් ගේ ක්‍රමානුකූල බව පිළිවෙල තමන් ගේ පවුලේ අයගෙන් වගේම, තමන් ඇසුරු කරන අය තුළත් තිබිය යුතුයි කියලා. ඒ බලාපොරොත්තු වීම් මුල් කරගෙන ඒ අය හැම තිස්සෙම ඉන්නේ  මානසික ආතතියකින්; ඒ වගේම මේ වගේ අය තුළ නුරුස්සන ගතිය, කේන්තිය වගේ දේවලුත් නිරතුරුවම දකින්න පුළුවන්. මේ අය තුළ හෘදයාබාධ වැළඳීම සම්බන්ධයෙන් වැඩි අවදානමක් පවතින බව ලෝක සම්මතයක්” මම කීවෙමි.

“එතකොට ඩොක්ටර් බී කාණ්ඩයේ අය කොහොමද?” මගේ හිතවතා ගේ වැඩිමල් දියණිය අසන ලද්දේ තරමක උනන්දුවකිනි.

“ඒ අප තුළත් ජීවිතයේ සැලසුම් තියනවා. ඒ අයත් එදිනෙදා ජීවිතයේ දී අනික් අය වගේම නොයෙකුත් ප්‍රශ්න, ගැටළු අර්බුදවලට මුහුණ දෙනවා; නමුත් ඔය කියන බී කාණ්ඩයේ අය ඒ කිසි දෙයක් අර වගේ බැරෑරුම් විදියට ගන්නේ නැහැ. සමහර කෙනෙකුට පේන්න පුළුවන් මේ අය ජීවිතයේ වගකීම් බාර නොගෙන නොසැලකිලිමත් විදිහට ජීවිතය ගෙවා දමන අය කියලා. නමුත් එහෙමමත් නැහැ. මොකද මේ පෞරුෂ කාණ්ඩයට අයිති අයටත් හැම අතින්ම ජීවිත සාර්ථක කරගන්න පුළුවන්.

නමුත් මේ කියන පෞරුෂ කාණ්ඩයට අයිති අයගෙන් අර කලින් පෞරුෂ කාණ්ඩයේ අය ගෙන් වගේ මානසික ආතතියක් පළ නොවෙන හින්දා ඒ අය හැම තිස්සේම සතුටින් හිනාවෙලා ඉන්නවා; ඒ වගේම මේ අයට කේන්ති යාමත් තරමක් අඩුයි. කේන්ති ගියත් ඒක හරියට නෙළුම් කොළේට වැටුණු වතුර වගේ ලිස්සලා යනවා. ඒ කාණ්ඩයේ අය වගේ මේ අය කා එක්කවත් වෛර බැඳ ගන්නෙත් නැහැ. ඒ වගේ අයට හෘදයාබාධ වැළඳීමේ අවදානම ‘ඒ’ කාණ්ඩයේ අයට වඩා හුඟක්ම අඩුයි” මා එසේ කියත්ම මගේ හිතවතා ගේ වැඩිමල් දියණිය සතුටින් සිනාසෙන ලද්දේ එහෙනම් ‘නාඩගම් කාරයෝ’ එකේ මාලන්ටත් හෘදයාබාධ හැදීමේ අවදානම හුඟක්ම අඩුයිනේ. මොකද එයා ගේ තියෙන්නෙත් ඔය කියන විදිහෙම ගතිගුණ තමයි” කියමිනි.

“හැබැයි ඉතින් ඩොක්ටර් එහෙම කිව්වට ඒ ටෙලි නාට්‍යයේ කතා රචකයි අධ්‍යක්ෂකයි එකතු වෙලා කවදහරි මාලන්ව හෘදයාබාධයකින් මරවන්නත් ඉඩ තියනවා. මොකද ඒ අය ඩොක්ටර් කියපු ඔය කාරණා දන්නේ නැතුව ඇතිනේ” ඉන්පසු මගේ හිතවතා ද සිනාසෙමින් කීය.

“ඔව්, ඉතින් එහෙම මැරුවත් ඒකේ ලොකු ප්‍රශ්නයක් නැහැ. මොකද ඔය වගේ පෞරුෂ ලක්ෂණ තියන කෙනෙකුට වුණත් දුම්පානය, දියවැඩියාව, අධික රුධිර පීඩනය වගේම ජානමය වගේ ප්‍රවේණිගත සාධක මුල් කරගෙන හෘදයාබාධ වැළදෙන්න පුළුවන්. ඒත්, ඉතින් හෘදවේද ක්‍ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් හැටියට මම නම් කීයටවත් ඒ වගේ දෙයක් විහිළුවක් හැටියට වත් ප්‍රාර්ථනා කරන්නේ නැහැ” අවසානයේ මම සිනාසී කීවෙමි.

හෘදවේද විශේෂඥ මහාචාර්ය නාමල් විජයසිංහ ලියයි

රසගඟුල