මල්ලව පොර ක්‍රීඩිකා නෙත්මි අහිංසා සිය දේශපාලන වාසි සඳහා යොදා ගත් බව සඳහන් පුවතක් පළ කිරීම නිසා තමන්ගේ කීර්ති නාමයට හානි සිදු වූ බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මව්බිම පුවත්පතට එරෙහිව තංගල්ල පොලිස් ස්ථානයෙහි පැමිණිල්ලක් ගොනු කොට ඇත.
තංගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත දින රහිත ලිපියක් යවමින් අදාල පැමිණිල්ල ගොනු කරන නීතීඥවරයෙකුද වන නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ, 2022 අගෝස්තු 13 වන දින මව්බිම පුවත්පතේ 08 වන පිටුවේ පළ කරන ලිපියක් මගින් එය ලියූ ලේඛකයා තම කීර්ති නාමයට හානි පැමිණ වීමේ ද්වේෂ සහගත චේතනාවෙන් කටයුතු කර ඇති බවයි.
මව්බිම පුවත්පතේ පළ වූ එම පුවතේ සඳහන් වන පරිදි තමන්ට දේශපාලන වාසි සළසා ගැනීම සඳහා ගිරිඋල්ලේ පදිංචි නෙත්මි අහිංසා ක්‍රීඩිකාව රවටා පැහැරගෙන පැමිණි බව සඳහන් පුවත ව්‍යාජයක් බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පොලීසියට යැවූ ලිපියේ සඳහන් වේ.
තමන්ට නින්දා අපහාස විඳ දරා පළපුරුද්දක් ඇති නමුත් මේ පුවත සත්‍යය නම් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසද ඉන් අනතුරුව පුවත්පතට එරෙහිව නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන බවද මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ලිපියෙන් වැඩිදුරටත් පොලීසියට දන්වා ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ පොලිස් පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන මව්බිම පුවත්පතේ කර්තෘ මාණ්ඩලිකයන් සඳහන් කරන්නේ තම පුවත්පතේ පළ වූ පුවත සත්‍ය කරුණු මත පදනම් වූ බැවින් අවශ්‍ය අවස්ථාවක ඒවා ඉදිරිපත් කරන බවයි.
මේ සිදුවීම සම්බන්ධයෙන් කරුණු දක්වන මාධ්‍ය සංවිධානවල මතය වන්නේ පුවත්පතක පළ වූ කරුණක් සම්බන්ධයෙන් පොලිස් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට වඩා නීතීඥවරයෙකුද වන නාමල් රාජපක්ෂ මහතා කළ යුතුව තිබුණේ පුවත්පත් මණ්ඩලය හෝ පුවත්පත් පැමිණිලි කොමිසම වෙත යොමු වීම බවයි. සාපරාධී අපහාස නීතිය බලාත්මක නොවන පසුබිමක නාමල් රාජපක්ෂ මහතාට කළ හැක්කේ සිවිල් නඩුකරයක් පැවරීම පමණක් බවද එම සංවිධාන පවසයි.
නාමල් රාජපක්ෂ මහතා පොලීසියට පැමිණිල්ලක් ආකාරයෙන් යැවූ ලිපිය