නාවලපිටිය ඉස්ටේසමේ දොස්තර සාජ්ජේ; විශේෂඥ දොස්තරලා පනහකටත් වඩා ඉඳලා

දිනය පසුගිය ජුනි 23දා ය. එදින පෙරවරු හයයි තිහට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ගමනාරම්භ කළ අංක 1001 දරණ දුම්රියේ පළමු පන්තියේ මැදිරි දෙකක් එක්තරා විශේෂිත පිරිසක් විසින් වෙන් කරගෙන තිබිණ.ඒ පිරිස වූයේ ලංකා කායික රෝග විශේෂඥයන් ගේ විද්‍යායතන (Ceylon College of Physicians ) සාමාජිකත්වය දරන විශේෂඥ කායික වෛද්‍යවරුන් පනහකට වැඩි දෙනෙකි.එම පිරිස එසේ ගමනාරම්භ කළේ බදුලු බණ්ඩාරවෙල දෙදින සංචාරයක පළමු දිනය ගත කිරීම පිණිස ඇල්ල දුම්රිය ස්ථානය වෙත ළඟා වීමට ය.වෘත්තියෙන් කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන් වුව තම වෛද්‍ය සේවාවෙන් බැහැරව හිඳින විට ගායන, වාදන, නර්තන ආදී විවිධ කලා කුශලතාවයන් සේම ජවන හා පිටිය සේම මලල ක්‍රීඩා,ආත්මාරක්ෂක සටන් ක්‍රම ඇතුළු විවිධ ක්ෂේත්‍ර වල විශේෂ දස්කම් පාන වෛද්‍යවරුන් සේම වෛද්‍ය වරියෝ ද ඒ පිරිසට අයත් වූහ.

එලෙස තමන් සඳහාම දුම්රිය මැදිරි දෙකක් වෙන්කර ගැනීම නිසා එම වෛද්‍ය කණ්ඩායමට ඒ මැදිරි දෙක තමන් ගේම තැනක් විය. ඉන් පිටස්තර කාටවත් කරදරයක් හිරිහැරයක් නොවන නිසා ඒ ගමන අතරමඟ ගී ගයමින් තමන් ගෙන ගිය සංගීත භාණ්ඩ වලින් වාදන ඉදිරිපත් කරමින් සේම ඇතැම් විට හුදු විනෝදය මුල් කරගත් දෙපිට කැපෙන කතා ආදිය කියමින් ඔව්හු ඒ ගමනේ නාවලපිටිය තෙක් කොටස විනෝදමත්ව සුවසේ නිමා කළහ. එහෙත්, එම දුම්රිය නාවලපිටියේ නතර කළ ද ඉන් නැවත පිටත් වන බවක් නොපෙනිණ. එය නතර කිරීමක් නොව ලැගුම් ගැනීමක් බව කාට කාටත් වැටහෙන්නට විය. ඒ සම්බන්ධයෙන් දුම්රිය කාර්ය මණ්ඩලයෙන් විමසූ ඔවුන්ට අසන්නට ලැබුණේ ඒ තාක් සිත් රැඳි සතුට දෙපිටින් යන කතාවකි. එනම් එම දුම්රිය මාර්ගයේ ඉදිරි කොටසේ පිහිටි ඉඟුරුඔය සහ ගල්බඩ දුම්රිය ස්ථාන අතරේ වූ පෙන්රෝස් දුම්රිය නැවතුම සමීපයේ දි දුම්රිය මාර්ගය හරස් වන සේ රූස්ස ගසක් පතිත වී ඇති බවකි. ඒ අනුව ඒ ගමනේ ඉතිරි කොටස ගත වීමට තව පැය හෝ වරු කීයක් ගතවේදැයි යන්න නිශ්චය කිරීමට කායික රෝග විනිශ්චයන් කොට හොඳින් හුරු පුරුදු අඩසියයක් පමණ වූ ඒ කිසිදු වෛද්‍යවරයකුට තබා ඒ ගැන නිවැරදි අනාවැකියක් කීමට නාවලපිටියේ දුම්රිය බලධාරීන්ට පවා නොහැකි විය. ඒ එම ගස පහසුවෙන් කපා ඉවත් කළ නොහැකි බැවිනි. කාලය කෙමෙන් ගත වෙමින් තිබිණ. එම දුම්රියෙන් පැමිණි දේශීය මගීන් සේම විදේශීය සංචාරකයෝ ද දුම්රිය වේදිකාවට බැස වටපිට විපරම් කරමින් ඊළඟට කළ යුත්තක් ගැන සිතා බලන්නට වූහ. ඒ අතරේ කොළඹ සහ මහනුවර සිට වරින් වර පැමිණි තවත් දුම්රිය තුනක්ම ඒ මාර්ග බාධකය හමුවේ අසරණව නාවලපිටිය දුම්රිය පලේ සෙසු වේදිකාවල ගාල් කරනු ලදී. ඒ ඒවායින් බැස ගත් මගීන් ගෙන් නාවලපිටිය දුම්රිය වේදිකා අතුරු සිදුරු නැති කරමිනි.

පෙන් රෝස් දුම්රිය නැවතුම

දුම්රිය පළේ රැඳී සිටින දහස් ගණනක් මගීන් ගේ මානසික කෙඩෙත්තුවට අසහනයට පීඩාවට පෙති, කරල්, පැණි, එන්නත් ආදී ඖෂධ වලින් පලක් නැත. කළ යුත්තේ ඔවුන් ගේ සිත් සුවපත් කළ හැකි සරල මනෝ චිකිත්සාවක් ලබා දීම පමණි. ඒ නිසා දුම්රිය ගමන තව පැය කිහිපයක් පමා වන බව ඉන්තීරුවෙන්ම දැන ගත් වෛද්‍යවරු තමන් ගෙනා සංගීත භාණ්ඩ සහ ‘පාටි බොක්ස්’ යනුවෙන් ජන වහරේ පවතින ශබ්ද විකාශන කට්ටල ගෙන දුම්රිය වේදිකාවට බැස ක්ෂණික සංගීත සාජ්ජයකට මුල පිරූහ.

පෙන්රෝස් හි දුම්රිය මඟ හරහා ඇද වැටුණු ගස

වෙදකම යනු අපගේ කයට සේම මනැසට ද සුව ගෙන දෙන මාධ්‍යයකි. ඒ අනුව මෙම දුම්රිය පමාවේ අලකලංචියට ලක් වූ දහස් ගණන් මගීන් පත්ව හිඳින මානසික කෙඩෙත්තුව හා ගිලන් බව වටහා ගැනීමේ හැකියාවක් මෙම කායික රෝග විශේෂඥ වරුන් සතුව තිබිණ. නමුත් දුම්රිය පළේ රැඳී සිටින දහස් ගණනක් මගීන් ගේ මානසික කෙඩෙත්තුවට අසහනයට පීඩාවට පෙති, කරල්, පැණි, එන්නත් ආදී ඖෂධ වලින් පලක් නැත. කළ යුත්තේ ඔවුන් ගේ සිත් සුවපත් කළ හැකි සරල මනෝ චිකිත්සාවක් ලබා දීම පමණි. ඒ නිසා දුම්රිය ගමන තව පැය කිහිපයක් පමා වන බව ඉන්තීරුවෙන්ම දැන ගත් වෛද්‍යවරු තමන් ගෙනා සංගීත භාණ්ඩ සහ ‘පාටි බොක්ස්’ යනුවෙන් ජන වහරේ පවතින ශබ්ද විකාශන කට්ටල ගෙන දුම්රිය වේදිකාවට බැස ක්ෂණික සංගීත සාජ්ජයකට මුල පිරූහ. එහි දී ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව පිරිසක් ගී ගයන්නටත් තවත් පිරිසක් වාදන ඉදිරිපත් කරන්නටත්, තවත් පිරිසක් රැඟුම් පාන්නටත් ඉදිරිපත් වූයේ විනාඩි දෙක තුනක් තුළ දහස් ගණනක් වන දුම්රිය මගීන් ගේ අවධානයට සේම ආකර්ශනයට ද යොමු වෙමිනි. එහිදී එම ගැයුම් වැයුම් වල ලය මානය තීව්‍ර වත්ම එම ස්ථානයට පැමිණි විදේශීය සංචාරක පිරිසක් රැඟුම් පාන්නටත් පසුව ඔවුන් ද ගී ගයන්නටහ් වූයේ සතුට විනෝදය යනු සැමට පොදු විශ්ව මාධ්‍යයක්
බව සනාථ කරමිනි.

වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ නාවලපිටිය දුම්රිය පළේ සිටි මඟීන් ගීතයකින් රසවත් කළ අයුරු

නමුදු දුම්රිය වේදිකා ආදියේ ගී ගැයීම යාචකයන් ගේ තනි උරුමයක්ව ඇති පසුබිමක එවැනි තැනක මෙලෙස ගී ගයමින්, වාදන ඉදිරිපත් කරමින් සහ නටමින් නරඹන්නවුන් කුල්මත් කරන මෙම විනෝදකාමීන් පිරිස වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් බව ඒ අවට සිටි කිසිවකුත් නොසිතන්නට ඇත. ඒ එම මොහොතේ ඒ වෛද්‍යවරුන් ගේ ගෙල බැඳි ටයිපටි, වෛද්‍යවරියන්ගේ කර වටා දැවටුණු වෙද නලා ආදිය නොමැති වීමත් ඔවුන් සරල සැහැල්ලු ඇඳුම් පැළඳුම් වලින් සැරසී සිටීමත් නිසා ය.

පෙන්රෝස් හි දුම්රිය මඟ හරහා ඇද වැටුණු ගස

ගමනාගමන ආතතිය (Travel stress ) යන වදන අප සමාජයට තවමත් එතරම් හුරු පුරුදු වූවක් නොවේ. එය ඉතා පුළුල් ලෙස විස්තර කළ යුතු මාතෘකාවකි.යමකු ගුවන් යානයකින්, දුම්රියකින් වෙනයම් වාහනයකින් ගමන් කිරීමේදී තමන් ගේ අභිලාෂය පරිදි නියමිත පරිදි නියමිත වේලාවට ගමනාන්තයට ළං වීමට ඇති නොහැකියාව මත මෙම ගමනාගමන ආතතිය හට ගැනීමේ පහසු අවදානමක් තිබේ.එමෙන්ම එය පිටුදැකීම සහ අවම කර ගැනීම සම්බන්ධ උපායමාර්ග බොහොමයක් ද මේ වන විට හඳුනා ගෙන ඇත. ගුවන් තොටුපල, දුම්රිය ස්ථාන ආදිය ආශ්‍රිතව පිහිටුවා ඇති වෙළඳ සාප්පු සහ අවන්හල් ආදී ස්ථාන මගින් ද එම ගමනේ ඇති වන අනවශ්‍ය ප්‍රමාදය පදනම් කරගත් ගමනාගමන ආතතිය අවම කිරීමට හා පිටුදැකීමට හැකි බව අනාවරණය වී තිබේ. ඒ අතර තම ගුවන් ගමනක එවන් විශේෂ ප්‍රමාදයක් සිදුවුවහොත් ඒ කාලය තුළ ඒ ගුවන් තොටුපලේ ඇති වෙළඳ සාප්පු හා අවන්හල් වලින් යමක් මිලට ගැනීමට කුඩා තුටු පඬුරක් පිළිගැන්වීමේ සිරිතක් ද ඇතැම් ගුවන් සමාගම් අනුගමනය කරනු ලැබේ. නමුත් අප රටේ තත්වය ඊට ඉඳුරාම වෙනස්ය. ඒ අනුව එලෙස ගමනාගමන ආතතියෙන් පසුවන අප රටේ මගී ජනතාවට එය අවම කර ගැනීමට ඇත්තේ එකම එක මඟකි. එනම් එම ආතතියට අදාල ප්‍රවාහන බලධාරීන් ගේ “මව් ගුණ” සිහිපත් කරමින් කල් මැරීම ය.

මෙම සටහනට පාදක වූ දැවැන්ත ගසේ නම් ප්‍රායෝගික ලෙසම එවැනි ශක්ති ප්‍රවාහනයක් තිබූ බව පිළිගැනීමට මට සිදුවෙයි. ඒ එලෙස එක්වරම ඉගුරුඔය සහ ගල්බොඩ අතර දුම්රිය මාර්ගය හරහා ඇදවැටීමෙන් තම ජීවිතය පූජා කළ ඒ දැවැන්ත ගසට සමාජයේ ඇතැමුන් විසින් මහා ආඩම්බර කාරයන් සේ හඳුන්වන විශේෂඥ වෛද්‍යවරුන් වැඩිම පිරිසක් දුම්රිය වේදිකාවක් මත ගායන, වාදන සහ නැටුම් ඉදිරිපත් කරන තැනට පත් කිරීමට තිබූ සුවිශේෂ හැකියාව ය.

විදේශිකයන් ද ගී ගැයුමට එක් වෙමින්
විදේශිකයන් ද ගී ගැයුමට එක් වෙමින්

වෘක්ෂලතා ආදියේ පියවි ඇසට නොපෙනෙන පියවි මනැසට නොවැටහෙන අනේක විධ ශක්ති ප්‍රවාහනයන් ඇති බවට මානව පරිනාමයේ ආදීතම ජීවාත්මවාදී (Ainmistic ) යුගයේ සිට පවතින ජන විශ්වාසය තවමත් නොනැසී පවතී. එහෙත්, එවන් ගුප්ත විශ්වාස සම්බන්ධ කිසිදු විශ්වාසයක් මා තුළ නැත. නමුදු මෙම සටහනට පාදක වූ දැවැන්ත ගසේ නම් ප්‍රායෝගික ලෙසම එවැනි ශක්ති ප්‍රවාහනයක් තිබූ බව පිළිගැනීමට මට සිදුවෙයි. ඒ එලෙස එක්වරම ඉගුරුඔය සහ ගල්බොඩ අතර දුම්රිය මාර්ගය හරහා ඇදවැටීමෙන් තම ජීවිතය පූජා කළ ඒ දැවැන්ත ගසට සමාජයේ ඇතැමුන් විසින් මහා ආඩම්බර කාරයන් සේ හඳුන්වන විශේෂඥ වෛද්‍යවරුන් වැඩිම පිරිසක් දුම්රිය වේදිකාවක් මත ගායන, වාදන සහ නැටුම් ඉදිරිපත් කරන තැනට පත් කිරීමට තිබූ සුවිශේෂ හැකියාව ය. එමෙන්ම අප රටේ විශේෂඥ වෛද්‍යවරුන් වැඩිම පිරිසක් එකම මොහොතක එකම ප්‍රසිද්ධ ස්ථානයක තම ගායන, වාදන හා රංගන කුශලතා එළිදැක්වූ මුල්ම අවස්ථාව මෙය විය හැකි බවට මා තුළ පවතින අනුමානයට ඔබ ද ඇතැම්විට එකඟ වනු ඇතැයි මට සිතෙයි.

තිලක් සේනාසිංහ

එතෙර - මෙතෙර