කලා වස්තුවල ‘මුල් කෘති’ විකෘති කිරීම හෝ විනාශ කිරීම දඩුවම් ලැබිය යුතු වරදක් වශයෙන් ශිෂ්ඨ සම්පන්න ලෝකයම සම්මතව පිළිගනී. මෙය හඳුන්වන්නේ නාස්තිකාරවාදය හෙවත් වැන්ඩලිසම් (vandalism) යනුවෙනි. ඇලූමිනියම් ඉනිමං අවුකන මූර්තියට හා එහි පසුබිමට හේත්තුකොට නැගීමේදී සිදුවන සීරීම් සමග රෙදි සිවුර මූර්තියට පැළඳවීමට භාවිතා කර ඇති රිටි වැනි දිග උපකරණ මගින් ඒ මත සීරීම් හා සියුම් වැලි කැට ගැලවී යෑම් වැනි හානි සිදුවීම අනිවාර්ය කරුණකි. සිවුර මූර්තිය මත දමා තිබියදී වැසි පතිත වූයේ නම් හෝ ඊට පෙර දින වැස්සට මූර්තිය තෙත්ව තිබුනේ නම් සිවුරේ පාටවලට යොදා ඇති වර්ණක හා ඒවායේ රසායනික සංයුති මේ ශිලා මූර්තියට උරා ගැනීම ද අනිවාර්ය කරුණකි. එවිට සිදුවන්නේ එහි ස්ථරයට සියුම් ලෙස හානි සිදුවීමයි. මෙසේ උරාගන්නා සංඝටක නැවත එළියට පිටකිරීමේදී මතුපිට සිනිදු ගල්කැට සමග ඉවත් වීම මෙහිදී සිදුවන හානිදායක චක්‍රය වන්නේය. එමෙන්ම දාඩිය තැවරුනු අත් හා දෙපා මූර්තිය සමග ගර්ෂණය වීමේදී ඉහත කී ආකාරයෙන්ම ගල ස්වභාවිකවම ලූනු සහිත දාඩිය උරාගැනීම සිදුකරනු ලබයි. පසුව ඒවා පිටකරනු ලබන්නේ එහි ස්ථරයද සියුම් ලෙස ඉවත් වෙමිනි. පුරාවස්තු අතපත ගෑම හෝ ඇල්ලීම තහනම් වන්නේ මේ නිසාය. මේ කිසිවක් ගනන් නොගන්නා ලංකාව නීතියක් නැති නාස්තිකාරවාදීන්ගේ රටක් බවට පත්ව තිබීම හා එම තත්වය ඉහළ සිට පහලටම උඩුදුවා ඇති ආකාරය මේ සිදුවීමෙන්ද සංකේතවත් කරයි.
මෙරට ඓතිහාසික යුගවලට අයත් ශිලාමය මූර්ති අතර අවුකන ප්‍රතිමාවද විශේෂිත මූර්තියකි. අවුකන බුද්ධ ප්‍රතිමාව නිර්මාණය වූ කාල වකවානුව පිළිබඳ ප්‍රධාන මත දෙකක් තිබුනද පුරාවිද්‍යාත්මක සහ ඉතිහාසමය සාධක මත එය වැඩි වශයෙන් පිලිගන්නා මතය අනුව අදින් වසර 1170 ට වඩා මෙම මූර්තිය පරණය. මෙවැනි මූර්තියක් අනිවාර්යයෙන්ම මෙරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හෝ සංස්කෘතික ත්‍රිකෝණයේ සුපරීක්ෂාවට හා භාරකාරත්වයට පත්ව තිබිය යුතුය. අවුකන ප්‍රතිමාවට සිවුරු අන්දන තෙක් මේ ආයතනවල බලධාරීන් කළේ කුමක්ද? ආගමික උන්මාදයෙන් කර ඇති මේ නාස්තිකාරවාදී ක්‍රියාව සඳහා මේ වනතුරුත් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද? අවුරුදු දහසකට වඩා පැරණි මුල් කෘතිය නිම කරන ලද ශිල්පියාගේ නිර්මාණ අයිතිකාරත්වයට මේ කර ඇත්තේ පරිභවයකි. එසේ කිරීමට බලය ලැඛෙන්නේ ලංකාව නීතියක් නැති රටක් වන නිසා බව මෙම සිදුවීමෙන් ලෝකයටම ප්‍රදර්ශනය කර තිබේ. (ප්රතිමාවලට රෙදි ඇන්දවීමේ පූජාවක් හින්දු ආගමේ ඇත්තේය. මුන්නේෂ්වරම් දේවාලයේ වතාවත් නිරීක්ෂණය කලහොත් මෙය අත්විදිය හැකිය.)
චූල වංශයේ (38.66) අනුව ධාතුසේන රාජ්‍ය සමයේ (ක්‍රි.ව.455-475) කාලසේල (කලූගල්) ‘කිරණ ප්රභූවක් ‘ (Diadem of rays made) සඳහන් වීම මෙම මූර්තියට සම්බන්ධ කොට ඇතැම් විද්වතුන් විසින් හදුනාගෙන ඇත. එහෙත් 5 වන සියවසේ ලංකාවේ විසූ ෆාහියන් භික්ෂුවගේ වාර්තාවලට මෙවැන්නක් ඇතුලත් නොවීම ප්‍රශ්න මතු කරයි. බුද්ධ රූප ස්මාරක නිරූපණයක් ලෙස නිර්මාණය වන්නේ මහායානයේ නැගීමත් සමගය. අනුරාධපුර ඉතිහාසයේ මධ්‍ය කාලයේ මහායානය ප්රබලව ස්ථාපිත වූ බවට සාක්ෂි තිබුනද පුරාවිද්යා්මක අභිලේඛන හා මූර්ති නිර්මාණ ශෛලිය මත වැඩි දෙනෙක් මෙම මූර්තිය අයත් කාල වකවානුව ක්‍රි.ව. 800-850 අතරට යෝජනා කර තිබේ. එමෙන්ම ප්‍රමාණයෙන් විශාල ස්මාරකමය ලක්ෂණ සහිත මූර්ති අනුරාධපුර යුගයේ තුන්වන භාගයේදී නිර්මාණය වූ බව බුදුරුවගල මූර්ති සමග අවුකන බුදුරුව ද සාධකයකි.
අවුකන බුදුරුව පාද මණ්ඩලයේ සිට ඉහළට මීටර් 12.5ක උසින් යුත් හිටි පිලිමයකි. මූර්තිය නෙලා ඇත්තේ නැගෙනහිරට මුහුණලාය. සම්පූර්ණයෙන් ත්‍රිමාණ ලෙස නෙලා ඇති මෙය ශරීරයේ පිටුපස කුඩා තීරුවකින් පසුපස පර්වතයට සම්බන්ධකොට නෙලීම නතරකොට තිබේ. සිවුරේ රටාව ඝණව උත්තල සහ අවතල නෙලීමකින් වම් උරහිසට උඩින් ශරීරය වසා දකුණු උරය සමග පපු පෙදෙස නිරාවරණය කර සිටී. අභය මුද්‍රාව දකුණු අතින් ප්‍රදර්ශනය කරන අතර වමතින් සිවුරේ දාරය අල්ලාගෙන සිටින ආකාරයක් මෙම මූර්තිය නිරූපණය කරයි. සිරස්පත සිදුරකින් වෙනමම සවිකර ඇති අතර මුල් සිරස්පත විනාශවීම හෝ අස්ථානගත වීම නිසා දැනට තිඛෙන්නේ පසුකාලීනව කරන ලද ආදේශකයක් ලෙසය. එය නුවර යුගයට අයත් බව අනුමාන කෙරේ.
1952 දී මෙම ස්මාරකයේ පුරාවිද්‍යාත්මක ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමේදී ප්‍රතිමාව ඉදිරිපිටින් සවිකර ඇති අර්ධ කවාකාර ශිලාමය නෙළුම් මල් පීඨය යටින් ගර්භපත්ර කුහරයක් ස්වභාවික ගලේ කපා ඒ තුළ බ්‍රහ්ම ආගමේ සංකල්පවල එන ලෝකපාල දස දෙනාගේ රූප වලින් කුවේර, ඉන්ද්‍ර, යම, වරුණ ලෝකඩ රූප ඒ තුළ තැන්පත් කොට අර්ධ කවාකාර ශිලාමය නෙළුම් මල් පීඨයෙන් එය වසා තිබූ බවට අණාවරණය කරගන්නා ලදි. මෙම ලෝකඩ මූර්ති 8 සහ 10 අතර සියවස්වලට කාල ගණනය කර තිබේ.
අවුකන බුදුරුව පිළිබඳව පළමු වාර්තාව හමුවන්නේ ශ්‍රීමත් ෙජ්ම්ස් ටෙනන්ට් 1859 ලියන ලද වාර්තාවකිනි. ඉන්පසුව විද්වතුන් විශාල ගණනාවක් මෙම ප්‍රතිමාව පිළිබඳව සිය නිරීක්ෂණ වාර්තා ශාස්ත්‍රීය ලෙස ඉදිරිපත් කර ඇත්තේය.
මහාචාර්ය සරත් චන්ද්‍රජීව