නාසා ආයතනය සඳ මත තවත් වික්‍රමයකට සැරසෙයි

ඇමරිකාවේ නාසා ආයතනය සඳ මත තවත් වික්‍රමයක් කිරීමට සූදානම් වන බවක් වාර්තා වෙයි. එනම් ඉතිහාසයේ පළමු වතාවට එහි ගෑස් නල මාර්ග පද්ධතියක් ඉදි කිරීම යි. මෙය මේ වන තෙක් වෙන කිසිදු රටක් නොකළ කටයුත්තකි. නාසා ආයතනය මේ ආකාරයෙන් මෙවැනි නල මාර්ග පද්ධතියක් ඉදි කිරීමට සැරසෙන්නේ අනාගතයේ සඳ මත ජීවත් වීමට නියමිත අජටාකාශගාමීන් ගේ ප්‍රයෝජනය සඳහා ය.

ඇමරිකානු විද්‍යාඥයන් වසර 50 කට වැඩි කාලයකට පසු නැවතත් සඳ වෙත මිනිසුන් යැවීමට සැලසුම් කර ඇති බව මේ වනවිට රහසක් නොවේ. එරට නාසා ආයතනය නවසිය හැට සහ හැත්තෑව දශකවල ද සඳ වෙත මිනිසුන් යැව්වේය. එකල අජටාකාශගාමීන් සඳ වෙත යැවූ වැඩසටහන හැඳින්වුණේ ඇපලෝ වැඩසටහන යනුවෙනි. මිනිස් ඉතිහාසය තුළ සඳ මත පා තැබූ මුල්ම මිනිසුන් දෙදෙනා වන නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩි්‍රන් යන දෙදෙනා සඳ වෙත ගියේ ඇපලෝ 11 මෙහෙයුම හරහා ය. ඒ 1969 වසරේ යි. එයින් පසු තවත් ඇපලෝ මෙහෙයුම් කිහිපයක් හරහා අජටාකාශගාමීහු සඳ වෙත ගමන් කළහ. ඇපලෝ වැඩසටහන යටතේ අවසන් සඳ ගමන සිදු වූයේ 1972 වසරේ යි. ඒ ඇපලෝ 17 මෙහෙයුමයි.

දැන් නැවතත් නාසා ආයතනය මිනිසුන් සඳ වෙත යැවීමට සූදානම් වන්නේ ආටෙමිස් නැමැති අලුත් වැඩසටහනක් හරහා යි. 2026 වසරේ ආටෙමිස් 3 නැමැති මෙහෙයුම හරහා අජටාකාශාමීන් සඳ වෙත යනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

මෙම ගමනින් නැවතත් මිනිසුන් සඳ වෙත යාම ආරම්භ වූ පසු තවත් බොහෝ දේ සිදුවීමට නියමිත ය. ඉදිරියේ දී සඳ මත ස්ථාවර විද්‍යාගාර, ජනාවාස ආදිය ඉදි කිරීමට ද ඇමරිකාව බලාපොරොත්තු වෙයි. අනාගත අජටාකාශගාමීන් මේවායේ දීර්ඝ කාලයන් රැඳී සිටිමින් විවිධ පර්යේෂණ කටයුතු ආදියෙහි නිරත වනු ඇත.

මෙලෙස කල් ගෙවන අජාටාකාශගාමීන්ට එහි ජීවත් වීම සඳහා ඔක්සිජන් අවශ්‍ය වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙම ඔක්සිජන් පෘථිවියේ සිට ගෙන යාමට ගියහොත් එය විශාල වශයෙන් මුදල් වැය වන කටයුත්තකි. මෙම තත්ත්වය තුළ විද්‍යාඥයන් බලාපොරොත්තු වන්නේ සඳ මතම එම ඔක්සිජන් නිශ්පාදනය කිරීමට යි. මේ ආකාරයෙන් ඔවුන් ඔක්සිජන් නිපදවීමට සැලසුම් කර ඇත්තේ සඳ මත ඇති අයිස්වල තිබෙන ජලය භාවිතයෙනි. ජලය සෑදී ඇත්තේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් එක් වීමෙනි.

සඳ මත මෙම අයිස් තැන්පත්ව තිබෙන්නේ ප්‍රධාන වශයෙන්ම දක්‍ෂිණ ධ්‍රැවය ආශ්‍රීතව ය. අනාගතයේ ඉදි වන විද්‍යාගාර ආදිය තැනෙන්නේ මේ ආසන්නයේම නොවන බව සඳහන් වේ. ඒ නිසා දක්‍ෂිණ ධ්‍රැවය ආසන්නයේ නිපදවන ඔක්සිජන් ඉහත කී විද්‍යාගාර සහ ජනාවාස වෙත රැගෙන යාම සඳහා ක්‍රමයක් අවශ්‍ය ය. ඉහත කී නල මාර්ග පද්ධතිය ඉදි කිරීමට යන්නේ ඒ වෙනුවෙනි.

මෙම ඔක්සිජන් රැගෙන යාමට හැකි තවත් ක්‍රම දෙකක් ගැන ද සඳහන් වේ. එකක් නම් ඒවා ගෑස් ටැංකිවල පුරවා ප්‍රවාහනය කිරීම යි. අනෙක නම් ද්‍රව ඔක්සිජන් බවට හරවා විශාල බඳුන්වල පුරවා ප්‍රවාහනය කිරීම යි. නමුත් මෙම ක්‍රම දෙක ද වියදම් අධික ක්‍රම ලෙස සැලකේ. වඩාත්ම පිරිවැය අඩු ක්‍රමය වන්නේ නල මාර්ග ඔස්සේ ප්‍රවාහනය කිරීම ය.

නාසා ආයතනය මුලින්ම ඉදි කිරීමට සැලසුම් කරන නල මාර්ගය කි.මී. 5 ක් පමණ දිග එකක් බව ද සඳහන් ය. මෙම නල පද්ධතිය ඔවුන් හඳුන්වා ඇත්තේ Lunar South Pole Oxygen Pipeline යනුවෙනි. මෙහි ඉදි කිරීම් කටයුතු සඳහා යොදා ගැනීමට යන්නේ රොබෝවරුන් ය. එමෙන්ම මෙම නල පද්ධතිය ඉදි කිරීමේ දී භාවිත කිරීමට සැලසුම් කර ඇත්තේ සඳ මත ඇති අමු ද්‍රව්‍යම වීමද විශේෂත්වයකි. ඇලුමිනියම් වැනි දේ එහි දී යොදා ගනු ඇතැයි සඳහන් වේ.

ඇමරිකාව සඳ මත ස්ථාවර විද්‍යාගාර ආදිය පිහිටුවීමේ කටයුත්ත ඉහත සඳහන් කළ ආටෙමිස් වැඩසටහන තුළ සාක්‍ෂාත් කරගනු ඇතැයි සඳහන් වේ. ආටෙමිස් 10 සහ 11 වැනි මෙහෙයුම් හරහා සඳට යන අජටාකාශගාමීන් දිගු කාලයක් එහි ගත කරනු ඇති බව පැවසේ.

ආටෙමිස් වැඩසටහනේ මේ වනවිට අවසන් කර ඇත්තේ ආටෙමිස් 1 මෙහෙයුම පමණි. නමුත් එම මෙහෙයුම හරහා සඳ මත ගොඩ බැසීමක් සිදු වූයේ නැත.

ඇමරිකාවේ නාසා ආයතනය මෙන්ම ඉන්දියාව, චීනය වැනි රටවල අභ්‍යවකාශ ආයතන ද මේ වනවිට සඳ ගවේෂණ කටයුතු පිලිබඳ විශාල උනන්දුවක් දක්වන බව රහසක් නොවේ. ඔවුන් ද ඉදිරියේ දී එහි විද්‍යාගාර සහ ජනාවාස ආදිය ඉදි කිරීමට සැලසුම් කර තිබේ. චීනය මෙහි මූලික කටයුතු තව වසර කිහිපයක් තුළ ආරම්භ කරනු ඇතැයි සඳහන් ය. ඉන්දියාව ද 2050 වසරට පෙර සඳ මත ස්ථාවර මධ්‍යස්ථානයක් ඉදි කිරීමට අදහස් කරයි.

නිහාල් පීිරිස්

එතෙර - මෙතෙර