නැනෝ නයිට්‍රජන් දියර ඉන්දියාවේ වත් පිළිගත් පොහොරක් නොවේ

පසුගියදා මෙරටට ගෙන්වූ නැනෝ නයිට්‍රජන් දියර පොහොර ඉන්දියාවේ ව්‍යාප්ත පොහොරක් නොවන බවත් එය භාවිතා කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ගොවීන්ට පවා අත්දැකීම් අඩු බව ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා පිළිබඳ මහාචාර්ය එස්. ඩී. එම්. චින්තක මහතා පවසයි.ඒ මහතා සඳහන් කළේ, මෙම පොහොර වර්ගය සම්පූර්ණයෙන්ම රසායනික පොහොරක් බවත්, ඉන්දියාවේ භාවිතය සඳහා නිකුත් කර ඇත්තේ ද මීට මාස දෙකකට පෙර බවත්ය.පසුගිය කාලයේ රජය යූරියා පොහොර භාවිතය තහනම් කළද, මෙම නැනෝ නයිට්‍රජන් පොහොර වර්ගයද “නැනෝ යූරියා” පොහොරක් බව පෙන්වා දෙන මහාචාර්ය වරයා මෙවන් නව පොහොර විශේෂයන් භාවිත කිරීමට පෙර ක්ෂේත්‍ර පර්යේෂණ සිදුකළ යුතු බව අවධාරණය කරයි.එමෙන්ම ඉන්දියාව මෙම පොහොර තොගය ශ්‍රී ලංකාවට නිකුත් කර ඇත්තේ අත්හදා බැලීමක් වශයෙන් බවට කෘෂි ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන් පෙන්වා දෙන අතර විධිමත් ක්‍රියා පටිපාටියකින් තොරව ශ්‍රී ලංකාව එම පොහොර අතිරික්තයක් එක්වර ඇනවුම් කිරීමද සැක සහිත බව ඔව්හු කියති.මෙම පොහොර ආනයනය සම්බන්ධයෙන් අදහස් පළ කළ කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ මෙම පොහොර ආනයන කටයුතු සම්බන්ධ සම්පූර්ණ වගකීම ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සතු බවකි.

කාලීන පුවත්