නිදන් වදුලු වල විස්තර අනුව නිදන් ගොඩ ගන්න පුළුවන් ද?

“මීට අවුරුදු හතරකට පමණ පෙර මම වුවමනාවකට දඹුල්ලට ගියෙමි. එහි දී මම ගම් වැසියකුගෙන් පැරණි පුස්කොළ පොතක් රුපියල් පහක් දී මිලයට ගතිමි. එය පැරණි කඩයිම් පිළිබඳ පොතකැයි සිතීමි. මිලයට ගනිද්දී එය පෙරළා තැනින් තැන ටිකක් කියැවූ විට කඩයිම් පිළිබඳ තොරතුරු එහි වන බව මට පෙනිණි. දොළොස් වන ශත වර්ෂයට පෙර ලංකාවේ සිටි රජවරුන් හා ප්‍රභූන් පිළිබඳ තොරතුරුත් ඇති බව පසුව සෙමින් කියවූ විට මට වැටහිණ”.
ඉහත සඳහන් ඡේදය උපුටා ගැනුණේ ජී. බී. සේනානායකයන් ලියූ සුප්‍රකට “නිධානය” කෙටි කතාවෙනි.පසුව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීහු එය සිනමාවට ද නැඟූහ. 1946 වසරේ මුල් වරට ප්‍රකාශිත ජී. බී. සේනානායකයන් ලියූ ‘පලිගැනීම’ කෙටි කතා සංග්‍රහයෙහි එන නිධානය කෙටි කතාවේ ඊළඟ ජේදය මෙලෙසිනි.

’‘පෙර සිටි එක්තරා රජකු කහවනු කෝටි ගණනක් වටිනා මුතු, මැණික් ද ස්වර්ණාභරණ ද කැලයක පිහිටි විශාල ගලක් බිඳුවා එහි නිධන් කළ බව ද එය රැකීමට නළලෙහි හා නැහැයෙහි අග ද නිකටෙහි ද ක්‍රමයෙන් කුඩා වන උපන් ලප ඇති තරුණියක බිලි කළ බව ද පොතෙහි කියා තිබිණ. බහිරවයාට පූජාවක් පවත්වා මන්ත්‍ර වගයක් කියා යට සඳහන් කළ උපන් ලප ඇති තරුණ ස්ත්‍රියක බිලි කළොත්, නිධානය ඇති ගල් ගෙයි දොර ඇරෙන බව ද එහි වැඩිදුරටත් කියා තිබිණ. පොතෙහි ආ මේ පුවත මගේ සිත තරයේ අල්ලා ගත්තේ ය.”

ඉහත සඳහන් විස්තරයට අනුව ඒ නිධානය කෙටි කතාවේ කතා නායකයා යම් නිධානයක් පිළිබඳව සුල මුල ගොනු කර ගනුයේ පැරණි පුස්කොළ පොතක් කියැවීමෙනි. අතීතයේ අප රටේ පැවැති විවිධ ආපදා අවස්ථාවන් හිදී තමන් සතු ධනය සොර සතුරන් අතට පත් නොවන අයුරින් නිකම් හෝ ආරක්ෂිත ස්ථානයක නිධන් කොට තැබීමට පෙර විසූ ඇතැම් රජ දරුවන් ක්‍රියා කළ බව සිතීම අතිශය සාධාරණ ය. එහෙත්, වර්තමානයේ ඒවා සොයාගත හැකි නිශ්චිත ක්‍රමවේදයක් තිබේද? නමුදු එවන් අවස්ථාවල ඔවුන් විසින් වස්තුව සඟවා ඇති බවට ඉඟි කෙරෙන සාහිත්‍යමය මූලාශ්‍රයන් කිහිපයක් නම් අද ද දැකිය හැකිය. ඒවා හැඳින්වෙනුයේ නිධන් වදුලු යනුවෙනි. ඉහත සඳහන් ‘නිධානය’කතා නායකයාට හමු වූ පුස්කොළ පොත ද එවැන්නක් බව පෙනේ. නමුත් ගැටලුව පවතිනුයේ මේවායේ අඩංගු කරුණුවල සත්‍යතාවය පිළිබඳව ය. ද හතුන්වන සියවසේ දී පමණ සිංහල සාහිත්‍යයට එක් වූ ‘විත්ති පොත්’ නම් මනඃකල්පිත ඉතිහාස කෘතීන් ගෙන් ද මෙසේ මිහිතලය තුළ සඟවා ඇති මහාර්ඝ වස්තුන් පිළිබඳව අභාව්‍යාත්මක විස්තර ඉදිරිපත් කෙරේ. මහනුවර යුගයේ ලියැවෙන්නට ඇතැයි සැලකෙන ‘කුරුණෑගල විස්තරය’ නම් කෘතියට අනුව කුරුණෑගල යනු ශක්‍ර දේවේන්ද්‍රයන් විසින් විජය කුමරුන් සඳහා නිමවා දෙන දිව්‍යමය නගරයකි. ඒ සම්බන්ධයෙන් ඉතා අසිරිමත් විස්තරයක් ඉදිරිපත් කරන කතුවරයා කුරුණෑගල පුරවරයේ පර්වතාශ්‍රීතව තැන්පත් කොට ඇති මහා
ධන නිධාන පිළිබඳව විස්මිත විස්තරයක් කරයි. මීට අමතරව කඩඉම් පොත් නමින් හැඳින්වෙන පැරණි භූමි සීමා පිළිබඳ කෘතීන් මගින් ද ඒ ප්‍රදේශවල භෞමික සම්පත් වලට අධි ආරෝපණයක් ලබා දී ඇති අවස්ථා බොහොමයකි.

නිධන් වදුලු යනු අතීතයේ විවිධ යුගවල රජ දරුවන් නිධන්කොට ඇතැයි සැළකෙන ධන නිධානයන් පිහිටි ස්ථාන මෙන්ම ඒවා හඳුනාගත හැකි අයුරු සහ ලබාගත හැකි ක්‍රම පිළිබඳව සඳහන් වන පැරණි ලේඛන කිහිපයකි.විශේෂයෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල පර්වතාශ්‍රීතව දක්නට ලැබෙන විවිධ රූප සහ ලක්‍ෂණ මුල් කොට ඒවාට ඓතිහාසික ආරෝපණයන් ලබා දෙමින් ලියැවී ඇති මෙම ලේඛන මහනුවර යුගයට වඩා පැරණි නොවන බව ඒවායේ භාෂා ව්‍යවහාරයන් අනුව පවා ඉතා පැහැදිලි ය.

“….. පර්වතයේ නැගෙනහිරට අශ්ව රූපයකි. වලිගයේ සිට පියවර නවයක් දුරින් රන් සෙම්බුවයි රන් ඉලත්තට්ටුවයි. මැණික් ලාස් හතයි. බිලි දී ගල බිඳ ගනු” යහත සඳහන් ආකාරයේ මිනිසුන්ගේ වස්තු තණ්හාව කුළු ගන්වන විස්තර සමග ඉහත කී නිධන් ගැනීමේ දී රැකිය යුතු වත් පිළිවෙත් හා මන්ත්‍ර ද ඒවායේ දක්වා තිබේ. ‘කළු කොහිල කා…..’ ආදී වශයෙන් එක් එක් නිධානය ගැනීම සඳහා අනුගමනය කළ යුතු විශේෂ ආහාර රටාවන් පවා එහි දක්වා ඇත. එමෙන්ම මෙම වදුලු පොත්වල ඇති කරුණුවල සත්‍යතාවය ජනතාවට හුවා දැක්වීම පිණිස ඒවායේ කතුවරුන් අනුගමනය කොට ඇති සුවිශේෂී උපක්‍රම ද අප සැලකිල්ලට ගත යුතු ය. ලක් ඉතිහාසයේ විවිධ යුගවල රජ කළ නරපතියන්ගේ නම් සමගම ඔවුන් නිධන් කළ වස්තුව වශයෙන් යම් යම් දේ හුවා දැක්වීම ඉන් පළමු වැන්න ය. නිධන් ලකුණු වශයෙන් ගැමියන් හඳුන්වන විවිධ සත්ව සහ භාණ්ඩ රූප පිළිබඳ විස්තර ‘කඩුවක් කොටා ඇත. ගිරවෙක් කොටා ඇත. වංගෙඩියක් කොටා ඇත’ ආදී වශයෙන් එම පොත් මගින් දක්වා තිබේ. ගල බිඳ ගනු, ගල් දොර ඔසවා ගනු’ ආදී වශයෙන් වන නිධානයක් ගැනීම සම්බන්ධ ක්‍රමවේදයන් වෙන් වෙන් වශයෙන් දැක්වීම එම නිදන් වදුලුවල ඇති කරුණුවල සත්‍යතාවය තහවුරු කරවීමට ගත් තවත් සියුම් උපක්‍රමයකි. නියමිත වත් පිළිවෙත් අනුගමනය නොකොට නිධානය ගැනීමට යාමෙන් අත්විය හැකි ව්‍යසනයන් පිළිබඳව ද එම නිධන් වදුලුවල කරුණු සඳහන් වේ. එවිට ද ඒවා ඒකාන්ත සත්‍ය වශයෙන් කියවන්නවුනට හැඟී යනු ඇත.

දුටුගැමුණු රජතුමන්ගේ මඟුල් කඩුව නිධන් වස්තුවක් වශයෙන් කිසියම් තැනක අදත් රහසිගතව සඟවා ඇති බවට“හා හෝවක්”එවක අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වූ සිදුවීමක් මුල්කොට මහජනයා අතර විශාල කසුකුසුවක් පැවතිණි. එහෙත්, දුටුගැමුණු රජතුමාගේ මඟුල් කඩුව පිළිබඳව ඓතිහාසික පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක් සොයා ගැනීමට පසුගිය කාලය මුළුල්ලේ වෙහෙස වූ මුත් මට නොහැකි විය.
නමුත් සිංහල රාජාවලියේ තවත් සුවිශිෂ්ට රණ ශූරයකු වන සීතාවක රාජසිංහයන්ගේ රන් අසිපත,සිංහාසනය සේම රන් සයනය ද නිධන් කොට ඇති බවට සැලකෙන ප්‍රසිද්ධ ස්ථානයක් පිළිබඳ ‘රහසක්’ පසුගිය දිනවල මට අනාවරණය කර ගත හැකි විණි.

ඒ කුරුවිට බෝපත් ඇල්ල පාමුල ය. එම ප්‍රදේශයේ පැරණි ගැමියන් පවසන අන්දමට දිය ඇල්ල පතිත වන ස්ථානයේ ගැඹුරු ගල් කුහරයක් තුළ තැන්පත් කොට ඇති කෝටි ගණනක් වටිනා එම ධන නිධානය අදත් නිරුපද්‍රිතව තිබේ. ඒ බවට සලකුණක් ලෙස ඊට අරක් ගත් බහිරවයා රන් තෝඩු දැමූ ආඳකු මෙන් අදත් වරින් වර මෙම දියඇල්ල ආශ්‍රිතව ගැමියන් හමුවේ දර්ශනය වන බවක් පැවසෙයි. මීට බොහෝ කලකට පෙර ඇති වූ නියං සමයක දී එම නිධානය ගැනීමට පැමිණි විසි දෙදෙනකු ගෙන් යුත් පිරිසක් ඊට අත පොවත්ම ඔවුන් එක් වරම ඇල්ලේ ඉහළ සිට ගලාගෙන ආ මහා ජලස්කන්ධයකට හසුවී ගසා ගෙන ගොස් ඇත. පසුව ඇල්ල පාමුල ඇති ඔරු වළ නමින් හැඳින්වෙන ඔරුවක හැඩය ගත් ගල් වළක තිබී ඔවුන්ගේ මළ සිරුරු හමුවී තිබේ. ගැමියන් පවසන අන්දමට අදටත් බහිරවයා සතුව පවතින මෙම ධන නිධානය ලබාගත හැක්කේ මෙම බෝපත් ඇල්ලට මිනිසුන් එක් දහස් එකසිය දෙනකු බිලිවීමෙන් පසුව ය. බෝපත් ඇල්ල ආශ්‍රිත මෙම පුරාවෘත්තය ශ්‍රී ලංකා පාරිසරික ජනමාධ්‍යවේදී පර්ෂදය මගින් ප්‍රකාශිත ‘බෝපත් ඇල්ල සහ රත්නපුර දිස්ත්‍රික් දියඇලි නාමාවලිය’ ග්‍රන්ථයේ ද ලියැවී තිබේ.
මෙම දියඇල්ල පාමුල මෙබඳු නිධානයක් ඇති බවට ඇති සාක්‍ෂි මොනවාදැයි මෙම විමසුමේ දී මම එම දිය ඇල්ල ආශ්‍රිත එක්නැලිගොඩ ගැමියකු ගෙන් විමසා සිටියෙමි. එවිට ඔහු කීවේ එම දියඇල්ල ආරම්භ වන පර්වතය මත මතුපිට දරුවකුගේ, ඇත් හිසක සහ කඩුවක සලකුණු සටහන් කොට ඇති බවකි.

එමෙන්ම දැඩි නියං සමයක එම නිධානය සහිත ගල් කුහරයට එබී බැලූ ගැමියන් කිහිප දෙනෙකුම ඉන් පසු උණ ගැනී මරණයට පත්වූ බව ද හෙතෙම කීය. ගල්පර්වත වල කොටා ඇති විවිධ සත්ව රූප සහ භාණ්ඩවල සලකුණු බොහොමයක් ඒ පර්වත ආශ්‍රිතව ඇති මහ ධන නිධාන පිළිබඳ ඉඟි බවට අප ජන සමාජය තුළ ප්‍රබල විශ්වාසයක් පවතී. නිදන් වදුලු මගින් ද ඒ සඳහා සැපයෙන අනුබලය සුළුපටු නොවේ. ගල්තලා මත දක්නට ලැබෙන ඉර හඳ ලාංඡනයෙන් එය පෙර රජ දරුවකු ඉර හඳ පවතින තාක් යනුවෙන් සනිටුහන් කොට සිදු කළ ගම් වර ප්‍රදානයක මායිම් සලකුණක් සේ හඳුනා ගන්නා සාමාන්‍ය ගැමියා ගල්තලාවල දක්නට ලැබෙන හඳුනාගත නොහැකි වෙනයම් සළකුණු සියල්ල හුදෙක් නිධන් ලකුණු ගොඩට ඇද දමනු පෙනේ. රන්, රිදී, තඹ හෝ පුස්කොළ සන්නසක් මගින් යම් නරපතියකු විසින් මහා සංඝරත්නයට භික්ෂුවකට හෝ ප්‍රභූවරයෙකුට කරන ගම් බිම් ප්‍රදානයක දී අසවල් නුගරුක, අසවල් කුඹුර ආදී වශයෙන් එහි මායිම් දැක්වීම බහුලව සිදු වී තිබේ. එවන් විශේෂ ස්ථානීය සළකුණු නොමැති ඇතැම් අවස්ථාවන්හි දී එම ප්‍රදානයේ සීමාවන් වශයෙන් ගල් පර්වතවල විශේෂ ලකුණු කොටා ඒ පිළිබඳව සන්නස් පත්‍රවල සඳහන් කළ අවස්ථා ඇත.

…….බටහිරට වන්නට ගල් වංගෙඩියක් කොටා ඇති බව ලෙන්ගල විහාර සන්නසෙහි සඳහන් වීම ඊට එක් නිදසුනකි …..

පර්වතයේ ඉද්දමල්ගල දෙසින් කිඳුරු රුවක් කොටා ඇති බව පැවසෙනුයේ වඳුරාදෙණිය විහාර සන්නසෙහි ය. එමෙන්ම කොළඹ, නුවර ප්‍රධාන මාර්ගයට සමීපව කෑගල්ල ප්‍රදේශයේ පහනක් මුවින් ගත් සුනඛයකු ගේ රුවක් කොටා ඇත්තේ ද මෙබඳු යම් භෞමික සීමාවක් හැඟවීමට විය යුතු ය. ඒ සලකුණ නිසාම ද එම ප්‍රදේශය හැඳින්වෙනුයේ ‘බල්ලපාන’ නමිනි. නමුණුකුල කඳුවැටිය ප්‍රදේශයේ ද ගලක කොටා ඇති සුනඛ රුවක් නිසා නම් ලත් ගම් ප්‍රදේශයක් තිබේ. වත්මනෙහි ද එය හැඳින්වෙනුයේ ‘බල්ලකෙටුව’ යනුවෙනි. ඒ කෙසේ හෝ ඉන්පසුව එළැඹි යුග පරිණාමයන් හිදී එම සන්නස් ආදිය අස්ථානගතව ඒවායෙන් හිමිවන බලය නිෂේඨ වීමත් සමඟ ඉහත සඳහන් කඩඉම් ලකුණු අරුත් සුන් බවට පත් වේ. ඉන්පසුව ගැමියන් වෙතින් නිදන් ලකුණු බවට පත්වන්නේ ඒවාම ය. මෙසේ ගම් බිම් ප්‍රදානයනට අමතරව සඟ සතු වස්තුන් යන්න හැඟවීම පිණිස ද ලෙන් ආශ්‍රිතව වටාපත් සේම සුනඛ සහ කපුටු රූප කෙටීම ක්‍රි.පූ.හත්වන සියවසේ පමණ සිට දක්නට ලැබෙන්නකි. අන්සතු දේ පරිහරණය කිරීමෙන් මතු අත්භවයේ බලු කපුටන්ව උපදින බවට අනතුරු ඇඟවීමට මෙවැනි සලකුණු යොදා ගැනුණු බව පැහැදිලි ය.
අතීත වැඩවසම් යුගවල ලොව බොහෝ රටවල විසූ පාලකයන් මෙන් හෙළ රජදරුවන් අධිකාමභෝගී කුවේර දිවි පෙවෙත් ගත කළ බවට කිසිදු ඓතිහාසික හෝ පුරා විද්‍යාත්මක සාක්ෂියක් හමු වී නැත. රාජ්‍යාරක්‍ෂක ක්‍රමෝපායන් අනුගමනය කරනු හැරුණු කොට පෞද්ගලික සුඛ විහරණය කෙරෙහි දැඩිව ලොල් නොවූ ඔවුන් සෙසු රටවල පාලකයන්ට සාපේක්‍ෂව ගත කොට ඇත්තේ ඉතා සරල චාම් ජීවිත බව පෙනේ. ඒ සඳහා බුදු දහමේ බලපෑම බෙහෙවින් හේතුපාදක වූ බවට සැක නැත.

ඒ අනුව නිධන් වදුලුවල දැක්වෙන තොග ගණන් රන්, රිදී, මුතු මැණික් ආදිය තමන් සන්තකයේ තබා ගෙන සිටි ඔය කියන රජවරුන් කවුරුන් දැයි අප වෙතම විමසා දැන ගත යුතු වේ. කෙසේ හෝ පැරණි රජ දරුවන්ගේ නම් අවභාවිතා කරමින් සහ දිවයිනේ විවිධ ප්‍රදේශවල පර්වතාශ්‍රිතව කොටා ඇති ලාංජන කඩඉම් පොත් මගින් විමර්ශනය කරමින් ඒවාට අනුරූප වන සේ ඉතා සියුම් ලෙස මෙම නිදන් වදුලු සකස් කොට ඇති බව පෙනේ. එමෙන්ම ඕලන්ද යුගයේදී දකුණු පළාතේ වර්ධනය වූ සාක්ෂරතාව මුල් කොට මෙවන් නිදන් වදුලු පිටපත් යළි යළිත් ලියැවුණු බවටත් එවකට අප රටේ ජීවත් වූ ප්‍රභූන්ට ඒවා ‘බර ගණන් වලට’ විකුණනු ලැබූ බවටත් සමාජ ගත සාක්‍ෂි තිබේ.

රාජ්‍ය ලේඛනාගාරය, ජාතික කෞතුකාගාර පුස්තකාලය, පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පුස්තකාලය ඇතුළු ආයතන කිහිපයක් අදත් මෙම වදුලු පොත් වල පිටපත් කිහිපයක් ඇත. මේ අතර පෞද්ගලික සන්තක වදුලු පොත් කිහිපයක් ද මෙරට ප්‍රභූ පවුල් සහ මේ සම්බන්ධ පර්යේෂකයන් කිහිප දෙනකු සතුව ඇතැයි කියනු ලැබේ. අතීතයේ මෙම වදුලු පොත් වල හිමිකරුවන් ඒවා රහසිගතව තබා ගත් බවක් එච්. සී. පී. බෙල් සිය කෑගලු වාර්තාවේ සඳහන් කොට ඇත. නමුදු නිධන් සෙවීම උන්මාදයක්ව පවතින වර්තමානයේ පවා කිසිවකුත් නිධානයේ කතා නායකයා මෙන් එවන් පැරණි මූලාශ්‍ර ඔස්සේ නිධන් සෙවීමට උත්සුක නොවිය යුතු ය. යම් හෙයකින් කිසිවකු එසේ කළහොත් නිධානයක් ගැනීමට තම රූමත් බිරිඳ බහිරවයාට බිලි දී හිස් අතින් ගෙදර පැමිණ ගෙල වැළලා ගත් නිධානයේ කතානායකයාට අත් වූ ඛේදනීය ඉරණම බඳු වින්නැහියක් ඔවුන්ට ද අත්වනු ඇත.

තිලක් සේනාසිංහ

උරුමයක අසිරිය