නිදහස් අධ්‍යාපනය විශිෂ්ට දායාදයක්; ඒත් එය නවීකරණය විය යුතුමයි

2022 නව පාසල් වාරයත් පටන් ගත්තා.දැනට අධ්‍යාපනය ලබන ලක්ෂ හතලිස් තුනක් විතර වන පාසල් ශිෂ්‍ය ප්‍රජාව භුක්ති විඳින්නේ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභයයි.

මෑත ඉතිහාසයේ ශ්‍රී ලාංකික ජන සමාජයේ ඇතිවුණු විප්ලවීයම වෙනස මොකක්ද කියලා කවුරුන් හෝ මගෙන් ඇහුවොත් මම දෙන උත්තරය තමයි නිදහස් අධ්‍යාපනය කියන එක.

එක්දහස් නවසිය හතළිස් අටේ අපේ රටට නිදහස ලැබෙන්නත් කලින් අපේ ජාතියට හිමිවුණු මේ සමාජමය දායාදය නිසා ඒ තාක් පැවතුණු සමාජ, ආර්ථික, සංස්කෘතික ක්‍රමය උඩු යටිකුරු වුණා.

කොටින්ම අපේ රටේ කරත්ත බැඳපු ජෙමයියාගේ ගමපුරා ඇවිද යමින් වට්ටි වෙළෙඳාම කරපු රොසලිනා අක්කාගේ පුතාට වෙද නලාව අරගෙන ඉස්පිරිතාලෙකට ගොඩ වඳින්න, කළු කෝට් එකක් ඇඳගෙන විනිශ්චය ආසනයකට නගින්න අවස්ථාව ලැබුණේ මේ නිදහස් අධ්‍යාපනය කියන ප්‍රාතිහාර්යය නිසයි.

නිදහස් අධ්‍යාපනයෙන් ජාතියට හිමිවුණු මේ සුවිශේෂ වරප්‍රසාදය නිදහස් අධ්‍යාපනය හිමිකර ගත්තු මුල්ම පරම්පරාවට එහෙම නැත්නම් දෙවැනි පරම්පරාවට ඒකාන්ත වශයෙන්ම ලැබුණා.

මම විශ්වාස කරන විදිහට අද සමාජයේ යම් යම් තරාතිරම් හිමි කරගත්තු අපි හැමෝම අපට ලැබුණු නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ දායාද කර ගත්තු අයයි. ඒක කෘතවේදීව සිහිපත් කරන එක අපි කාගේත් යුතුකමක්.එහෙම නොකළොත් අපි අසත් පුරුෂයන් වෙනවා.

එතකොට අපි කා තුළත් ප්‍රශ්නයක් පැන නගිනවා; එහෙම නම් මේතරම් හොඳ නිදහස් අධ්‍යාපනය ආරක්‍ෂා කරගන්නවා මිසක් මොකටද මේක විවේචනය කරන්නේ කියලා.මූලික වශයෙන් ඒක ඇත්තක්.නමුත් ඒ සම්බන්ධයෙන් අපි අලුතින් සිතා බැලිය යුතු දේකුත් තියනවා.

නිදහස් අධ්‍යාපනය ලංකාවට දායාද කරපු කාලේ අපේ රටේ ජීවත් වුණේ මිලියන හයක විතර ජනතාවක්. අද වෙනකොට ඒ ප්‍රමාණය මිලියන විස්සක් දක්වා ඉහළ නැගලා තියෙනවා.

ඒ වගේම පසුගිය කාලය පුරා සිද්ධ වුණු සමාජ පරිණාමයේ දී අධ්‍යාපනයේ වටිනාකම දවසින් දවස ඉහළ යාමක් සිද්ධ වුණා.

එක් දහස් නවසිය හතළිහේ දශකය විතර වෙනතුරු පිරිමි පක්‍ෂයට විතරක් හිමිවෙලා තිබුණු විද්වත් වෘත්තික මට්ටමේ රැකියාවන් සඳහා අපේ කාන්තා පක්‍ෂයත් හරි හරියට උනන්දුවීම මුල් කරගෙන අධ්‍යාපන ක්‍ෂේත්‍රය කියන එක තියුණු තරඟ බිමක් බවට පත් වුණා.

අද වෙන කොට අප රටේ බුද්ධිමය ශ්‍රම බලකායේ කාන්තා දායකත්වය වේගයෙන් ඉහළ ගොස් තිබෙනවා.ඒක හොඳ දෙයක්.

වයස අවුරුදු දහඅටේ, විස්සේ දී මඟුල් පෝරුවට නගින්න හිටපු තරුණිය ඒ ගමන කල් දාලා වෛද්‍ය විද්‍යාලයට, විශ්ව විද්‍යාලයට යන්න වෙර දැරුවා.

ඒ අනුව අතීතයේ තිබුණු ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර ඒ කියන්නේ එස්. එස්. සී. විභාගය, අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විදිහටත්, උසස් පාඨමාලා සහතික පත්‍ර විභාගය ඒ කියන්නේ එච්. එස්. සී. කියන විභාගය අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) හැටියටත් ව්‍යුහගත වුණාට පස්සේ මේ තරගය තවත් මුවහත් වැඩිවුණා.

ඒ හින්දා තමයි මීට අවුරුදු පනහකට, හැටකට කලින් ජීවත් වුණු දරුවන්, අතින් කඩාගෙන රස බලපු අධ්‍යාපනයේ සරුඵලය නෙලා ගන්න ද වෙනකොට දරුවන්ට අහස උසට කෙකි බඳින්න වෙලා තියෙන්නේ.

අද වෙනකොට අපේ රටේ අධ්‍යාපනික තරඟය අපේ ඉතිහාසයේ විතරක් නොවෙයි ලෝකයේ වෙනත් කිසිම රටක නැති තරමට වැඩිවෙලා. අද රැකියා වෙළෙඳපොළේ උසස් අධ්‍යාපනයෙන් හිමිකර ගන්න ලැබෙන සීමිත ප්‍රතිලාභ සඳහා අසීමාන්තික පිරිසක් එක් රොක්වීම හින්දා තමයි අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ අත්පත් කර ගන්න දරුවන්ට,මවුපියන්ට ගුරුවරුන්ට මේ තරම් “නහින්න” සිද්ධ වෙලා තියෙන්නේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගවල තරගකාරීත්වය ඉහළ යාම නිසා සිසුන් උසස් අධ්‍යාපනය සඳහා තෝරන තරඟ විභාගවල මට්ටම වෙනස් කරන්නත් ප්‍රශ්න පත්‍ර අසීරු කරන්නත් විෂය නිර්දේශ සංකීර්ණ කරන්නත් සිද්ධ වුණා. මේක එක දවසකින් එක රැයකින් සිද්ධ වුණු දෙයක් නොවෙයි.

අපි කාටත් නොදැනුවත්වම සිද්ධ වුණු දෙයක්. ඒ නිසා අද මේ අධ්‍යාපන තරඟය ලිස්සන ගහේ නැඟීමේ තරඟයක් බවට පත් වෙලා. මේක ඉතාම නරක තත්වයක්. අද වෙනකොට ලෝකයේ අධ්‍යාපනය පිළිබඳ නිර්වචන එදාට වඩා අතිශයින් දියුණුයි.

හොවාඩ් ගාඩ්නර් වගේ විද්වතුන් අනාවරණය කර ගත්තු මෙතෙක් හඳුනා නොගත්තු මිනිස් මොළයේ බහු විධ කුසලතා හඳුනා ගෙන ඒවා ලෝකයේ දියුණු රටවල අධ්‍යාපන ක්‍රම වලට ඇතුළු කරගෙන තිබෙනවා.

ඒ නව අධ‍‍යාපන ක්‍රම ඉතාම දියුණුයි; ඒ වගේම සරලයි. ඒවා තුළ දරුවාගේ මානසික පීඩනයට තුඩු දෙන සාධක මොකුත්ම නැහැ.උදාහරණයක් හැටියට ගත්තොත් ෆින්ලන්තයේ අද අද ක්‍රියාත්මක වන අධ්‍යාපනයෙන් දරුවාගේ මනැසේ සෑම කොටසක්ම සංවර්ධනය වන කරුණු සැකසී තිබෙනවා.

නමුත් ඒ අතින් තාමත් අපේ රට තියෙන්නේ නොදියුණු ප්‍රාථමික තත්වයක. හරියට ආදී මානවයා ගල්,වියළි දර එකින් එක පිරිමැදලා ගින්දර උපද්දවා ගත්තා වගේ තමයි අපේ නූතන අධ්‍යාපනයත්.

උදාහරණයක් විදිහට. අපි සාක්ෂරතාවය මනින නවීනතම මිනුම් දඬුවලට අනුව බලකොට ඒක නවීන සාක්ෂරතාවයෙන් එක කොටසක්;අළුක් කාලක් විතරයි.

ලිවීම, කියැවීමට අමතරව ගණිතමය, පරිගණක, මාධ්‍යමය සෞන්දර්යාත්මක ආදී වශයෙන් සාක්ෂරතාව කියන විෂය අද විවිධාංගීකරණය වෙලා. අද අපේ අධ්‍යාපන ක්‍රමය තුළ මේ සාක්ෂරත භාවිතය නැතුවා වගේම බොහෝ දෙනෙක් මේ ගැන දන්නේ වත් නැහැ.

ඒ වගේම අපේ වර්තමාන අධ්‍යාපන ක්‍රමයට මේ නවීන සාක්ෂරතා ඉලක්කයන් වෙත ළඟා වීමටත් නොහැකි වී තිබෙන බව කණගාටුවෙන් කිව යුතුයි.

මේකේ අහිතකර ප්‍රතිඵලය මොකක් ද? අපේ සමාජයේ බුද්ධි ශ්‍රම බලකායට එක් වීමට සැබෑ සුදුසුකම් තියන විශාල පිරිසකට ඒ සඳහා අවස්ථාව අහිමි වී ඒ අය සම්මත උගතුන් අතුරින් කොන් වීම.

පහේ ශිෂ්‍යත්වයෙන් සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාග වලින් අසමත් වෙන්නේ මෝඩයන්ය කියන ජන සම්මතය අතිශයින් වැරදි සහගතයි,එතන දී බොහෝ විට සිද්ධ වෙන්නේ ඒ අසමත් දරුවාගේ හැකියාවන්,ප්‍රතිභාවන් පිරුණු මොළ කොටසට පිවිසෙන්නට එය ස්පර්ශ කරන්නට මේ අධ්‍යාපන හා විභාග ක්‍රමය අසමත් වීමයි.

රටක් ජාතියක් හැටියට ඉදිරියට යන්නට නම් සේරටම කලින් අපි මේ අඩුපාඩුව තේරුම් ගත යුතුයි.

ඊ ළඟට මේ වරද අඩුපාඩුව සකසා ගත යුතුයි; නිවැරදි කර ගත යුතුයි.

හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

එතෙර - මෙතෙර