නිවාඩු දුන්නත් ගන්නෙ නැති ජපන් පිරිමි

රජයෙන් නිවාඩු දෙද්දීත් ඒ නිවාඩු “එපා” කියන කොට්ඨාශයක් ගැන ජපානයෙන් වාර්තා වෙයි.

ඊට පසුබිම් වන්නේ මෙවැනි කතාවකි.

ජපානය යනු මේ වනවිට ජනගහණය සම්බන්ධයෙන් විශාල අර්බුදයකට මුහුණ දී සිටින රටකි. එරට වාර්ෂික දරු උපත් ප්‍රමාණය කෙමෙන් පහත වැටෙමින් ඇති අතර මහළු ජනගහණය වේගයෙන් වැඩි වෙමින් ඇත. මේ නිසා ඉදිරියේ දී ජපානයේ වැඩ කිරීමට සිටින තරුණ පිරිස අඩු වීමේත්, ඔවුන්ගෙන් යැපෙන්නට සිටින මහළු පිරිස වැඩි වීමේත් අවදානමක් මතුව තිබේ. එය එරට ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල කරන කාරණයක් නිසා මේ වනවිට ජපාන බලධාරීහු මෙම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා දැඩි වෙහෙසක් ගනිමින් සිටිති.

2022 වසරේ ජපානයේ උපත් සංඛ්‍යාව 800,000 කටත් වඩා අඩු වී තිබූ බැව් සඳහන් ය. මෙවැනි අඩුවීමක් වාර්තා වී තිබුණේ උපත් පිලිබඳ වාර්තා තබා ගැනීමට පටන්ගත් 1899 වසරෙන් පසු පළමු වතාවට වීම විශේෂත්වයකි. මේ ආකාරයෙන් එරට උපත් සංඛ්‍යාව අඩු වීමට බලපා ඇති කාරණා කිහිපයක් වේ. දරුවන් හැදීම සඳහා දැරිය යුතු වියදම ජපානයේ අඹුසැමියන් බොහෝ දෙනෙකුට දරන්නට අපහසු වීම ප්‍රධානම හේතුවකි. තවත් හේතුවක් වන්නේ එරට කාන්තාවන් ද වඩ වඩාත් රැකියාවල සහ අධ්‍යාපන කටයුතුවල නිරත වීමට පටන් ගැනීමයි. බොහෝ රටවල මෙන්ම ජපානයේ ද දරුවන් ලොකු මහත් කිරීමේ දී වැඩි මහන්සියක් දරන්නට සිදුවන්නේ කාන්තාවන්ට ය. නමුත් මේ වනවිට ඔවුන් ගත කරන කාර්යබහුල ජීවිත තුළ මෙවැනි මහන්සියක් දැරීමට අපහසු නිසා කාන්තාවන් දරුවන් හැදීමට මැළිවන බවක් ද වාර්තා වේ.

මෙම දෙවැනි කාරණය ජය ගැනීම සඳහා ජපාන රජය ක්‍රියාමාර්ගයක් ගෙන තිබේ. එනම් දරු ප්‍රසූතියෙන් පසු මව්වරුන්ට ලබා දෙන මාතෘ නිවාඩු හා සමානව පියවරුන්ට ද පීතෘ නිවාඩු ලබා දීමයි. ජපානයේ පමණක් නොව තවත් රටවල් රැසක මෙවැනි පීතෘ නිවාඩු ලබා දීමක් සිදු වේ. ජපානයේ පියවරුන්ට සති හතරක කාලයක් පිතෘ නිවාඩු ගැනීමට හැකියාව තිබේ. නමුත් ප්‍රශ්නය වී ඇත්තේ ජපාන තාත්තලා මෙම නිවාඩු ලබා නොගැනීමය. මෙය එරට රජයට මේ වනවිට ලොකු ප්‍රශ්නයක් වී තිබේ.

ජපානයේ පිරිමින් මෙම පීතෘ නිවාඩු නොගන්නේ රැකියා ස්ථානවල කැපිලිවලට ලක් වේවි ද යන බිය නිසා බව සඳහන් වේ. මෙම නිවාඩු ගත් විට උසස් වීම්වලට එයින් බලපෑමක් විය හැකි බවට බියක් ඔවුන් බොහෝ දෙනෙකු තුළ පවතියි. එසේ නැතිනම් වගකීම් අඩු වෙනත් තනතුරුවලට මාරු කිරීමට හැකිය යන බියක් ද ඇතැමුන් තුළ ඇති බව සඳහන් ය. මෙම නිවාඩු ලබා ගන්නා අයට විෂම ආකාරයෙන් සැලකීම නීති විරෝධී වුවත් ඇතැම් ආයතනවල ගැටලු පවතින බව පැවසේ. විශාල සමාගම් මෙම නිවාඩු ලබා දුන්නත් සීමිත සේවක පිරිසක් සිටින කුඩා ආයතන මේ ආකාරයෙන් නිවාඩු දීමට මැලිකමක් දක්වන බව හෙලි වී ඇත. මෙම තත්ත්වය තුළ ඉහත කී පීතෘ නිවාඩු ලබා ගන්නේ පියවරුන්ගෙන් සියයට 14 ක් වැනි අඩු ප්‍රතිශතයක් බව අනාවරණය වී තිබේ. මෙය ජපාන බලධාරීන් තුළ යම් කණස්සල්ලක් ඇති කර තිබෙනු දැකිය හැකි වේ.

මෙම පසුබිම තුළ ඉහත කී ප්‍රතිශතය ඉහළ දැමීම සඳහා යම් වැඩපිලිවෙලක් දියත් කිරීමට ජපාන අගමැති ෆුමියෝ කිෂිදා සූදානම් වෙයි. 2025 වනවිට මෙම ප්‍රතිශතය සියයට 50 දක්වාත්, 2030 වනවිට සියයට 85 ක් දක්වාත් ඉහළ දැමීම ඔහුගේ අපේක්‍ෂාවයි. සේවකයන් පීතෘ නිවාඩු ගැනීම නිසා වැඩි බලපෑමක් ඇතිවන සුළු පරිමාණ සහ මධ්‍ය පරිමාණ ආයතනවලට යම් සහනයක් සැලසීමට අගමැතිවරයා බලාපොරොත්තු වෙයි. පසුගිය දිනෙක ඔහු පවසා තිබුණේ ඉදිරි වසර හයක හතක කාලය තුළ උපත් අනුපාතය ඉහළ දැමීමට නොහැකි වුවහොත් යළි කිසි දිනෙක මෙම ගැටලුව ජයගැනීමට නොහැකි වනු ඇති බවයි.

මේ අතර දරුවන් වෙනුවෙන් ලබා දෙන ආධාර වැඩි කිරීමටත්, තරුණ තරුණියන්ට වැඩි වැටුප් ලැබෙන ආකාරයෙන් යම් ප්‍රතිසංස්කරණ සිදු කිරීමටත් තමා බලාපොරොත්තු වන බැව් අගමැති කිෂිදා පවසා ඇත.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර