නිවාස අහිමි සුනඛ ඛේදවාචකය ගැන හඬක් නංවමින් අහිංසා දෙවන කලාපය එළි දකී

අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් සහ සුබ සාධක සංවිධානය මඟින් ප්‍රකාශයට පත් කරන ‘අහිංසා’ අර්ධ වාර්ෂික ප්‍රකාශනයේ දෙවන කලාපය(2023 ජූනි-දෙසැම්බර්) අද(26) ගල්ගමුව,කුරුන්දන්කුලමේ ඉද්දමල්පිටිය වැව අද්දර පැවැති පරිසර සංරක්ෂණය පිළිබඳ සමාරම්භක වැඩසටහනක දී එළිදක්වන ලදී.නිවාස අහිමි සුනඛ ඛේදවාචකය කවරයේ කතාව ලෙස ඉදිරිපත් කොට ඇති මෙම දෙවන කලාපයේ මංගල පිටපත පිළිගන්වන ලද්දේ රෝගී සහ වියපත් බවට පත් වීමෙන් සහ අනතුරු වලට ලක් වීමෙන් අසරණ බවට පත් නිවාස අහිමි සුනඛයන් සියයකටත් වැඩි ප්‍රමාණයකට නිති රැකවරණ සැලසීම උදෙසා තම මුළු කාලයම කැප කොට සිටින හිටපු ප්‍රවීණ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යවේදියකු වන උදය විජේසිංහ මහතා ටය.

ලොව පැරණිතම මිනිස් සුනඛ ගිවිසුම ඉරා දමමුද?,මහ මඟ අසරණ වන සුනඛයන්ට නව පරපුරවත් පිහිට වේද?, නිවාස අහිමි ඛේදවාචකය මානව විද්‍යාත්මක නෙතින්,නිවාස අහිමි සුනඛ ගහනය පාලනයට ජල භීතිකා එන්නත සහ වන්ධ්‍යාකරණය එක සේම වැදගත්,නිවාස අහිමි සුනඛ ගැටලුවට නෙදර්ලන්තය දුන් ආදර්ශමත් විසඳුම මෙන්න ආදී වශයෙන් නිවාස අහිමි සුනඛ ඛේදවාචකය ඇතුලු සත්ව හිමිකම් සහ සුබසාධනයට අදාල වැදගත් ලිපි රචනා වලින් සමන්විත මෙම කලාපයක මිල රුපියල් පන්සියයකි.එමෙන්ම මෙම කලාපය රුපියල් සියයක තැපැල් ගාස්තුවක් ද සමඟ රුපියල් හයසියයක මුදලක් ගෙවා නිවසේ දීම ලබා ගැනීමට තැපැල් මඟින් (COD ) ද එවිය හැකි අතර 0773596107 දුරකතන අංකයට ඇමතුමක් ලබා දීමෙන් හෝ වට්සැප් පණිවිඩයක් ලබා දීමෙන් ඔබට ද ඒ සඳහා ඇනවුම් කළ හැකිය. මෙම කලාපය එළි දැක්වීමේ අවස්ථාවට ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති එච්.කේ විමලරත්න මහතා සහ අහිංසා ශ්‍රී ලංකා අධ්‍යක්ෂ වරුන් වන තිලක් සේනාසිංහ සහ වෛද්‍ය දිනුෂා අබේවික්‍රම යන මහත්ම මහත්මීන් සේම ගල්ගමුව ශ්‍රී ලංකාවේ මුල්ම සත්ව අහිංසා ස්මාරකයේ නිර්මාණ ශිල්පී ජේ රත්නායක මහතා සහ රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසී ආරාධිත පිරිසක් ද එක්ව සිටියහ.මෙහි දී මාධ්‍යවේදී උදය විජේසිංහ මහතාට ‘අහිංසා’ අර්ධ වාර්ෂික ප්‍රකාශනයේ දෙවන කලාපයේ මංගල පිටපත පිළිගන්වන ලද්දේ අහිංසා ශ්‍රී ලංකා ව්‍යාපෘති හා මෙහෙයුම් අධ්‍යක්ෂ හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ මහතා විසිනි.

එමෙන්ම මෙහි තවත් පිටපත් කිහිපයක් ගල්ගමුව ප්‍රාදේශීය හිටපු සභාපති එච්. කේ. විමලරත්න මහතා ඇතුලු  සෙසු ආරාධිතයන් හටද පිළිගන්වන ලදී.

ඡායාරූප – චන්ද්‍රරත්න ඉලංගකෝන්

එතෙර - මෙතෙර