නිවාස අහිමි සුනඛ ගැටලු‍වට නෙදර්ලන්තය දුන් ආදර්ශමත් විසඳුම මෙන්න!

ලෝකයේ සුනඛයන්ට වඩාත්ම ආදරය කරන රට කුමක්දැයි යමෙක් ඔබෙන් ඇසුවහොත් එයට දිය හැකි හොඳම පිළිතුර නෙදර්ලන්තය බව ඉඳූරාම පැවසිය හැකි ය. එයට හේතුව නම්, එහි කිසිදු නිවාස අහිමි සුනඛයෙක් නොසිටීම ය. නිවාස අහිමි සුනඛයන් නොමැති ලොව ප්‍රථම රට සහ එකම රට බවට ඇත්තේ එයයි.
අපේ රටේ ද කොළඹ නගරයේ නිවාස අහිමි සනඛයන් තුරන් කරන්නට ඔවුන් අල්ලා වෙනත් ප්‍රදේශවලට රැගෙන ගිය සිදුවීම් ඇතැම්වට ඔබේ මතකයේ තිබෙන්නට පුළුවන. මෙසේ රැගෙන ගිය සුනඛයන්ට ජීවිතයෙන් සමුගන්නට සිදු වූ බවට කතා ද ඔබ අසා තිබෙන්නට පුළුවන. නමුත් නෙදර්ලන්තය සිය සමස්ත දේශයම නිවාස අහිමි සුනඛයන්ගෙන් තොර කර ගත්තේ මෙවැනි අමානුෂික ක්‍රියාවන්ගෙන් තොරව බව සඳහන් කළ යුතු අතර එය ලෝකයේ සෙසු රටවල් ද ආදර්ශයට ගෙන ක්‍රියාවට නැංවිය යුත්තක් බව කිව යුතු ය.
ලොව පුරා නිවාස අහිමි සුනඛයන් මිලියන 200 ක් පමණ සිටිතැයි ගණන් බලා තිබේ. මිනිසුන් වශයෙන් අප තුළ යම් හෝ මානුෂික ගුණයක් ඉතිරිව තිබේ නම් මානව දයාවෙන් යුත් ලොවක් ලෙස බොහෝ දුරක් ඉදිරියට ගමන් කළ හැකි ය.

සියවස් ගණනාවක් මුළුල්ලේම නෙදර්ලන්ත සුනඛයෝ, සුරතලු‍ුන් ලෙස, ධනවත් බවේ සංකේතයක් ලෙස සහ දුප්පතුන් වෙනුවෙන් සේවය කරන සතුන් කොටසක් ලෙස එහි සංස්කෘතියේ අංගයක් බවට පත් ව සිටියහ. විශේෂයෙන් සුනඛයෙක් හිමිව තිබීම සමාජ තත්ත්වයක් ආරෝපණය කරන්නක් බවට පත්ව තිබිණි. ඉහළ සමාජ පන්තිවල ජනතාව සුරතලු‍න් සහ ක්‍රීඩා කටයුතු සඳහාද, දුප්පත් ජනතාව සිය වැඩකටයුතුවලට සහාය කරගැනීම සඳහාද සුනඛයන් ඇතිදැඩි කළ හ. නෙදර්ලන්තයේ පැරණි සිතුවම්වල ද සුනඛයන් බහුලව දක්නට ලැබේ. සුනඛයන් ඔවුන්ගේ සංස්කෘතියේ කොටසක් බවට පත් ව තිබුණේ ඒ ආකාරයට ය.

කෙසේ නමුත් 19 වැනි සියවසේ පැතිර ගිය ජලභීතිකා වසංගතය හේතුවෙන් බොහෝ සුනඛයන්ට නිවාස අහිමි තත්ත්වයක් ඇති විය. එම සමයේ එරට පැතිර ගිය මතය වූයේ සුනඛයන් සිය හිමිකරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර තත්ත්වයක් උදාකරන්නට බොහෝ ඉඩක් ඇති බව ය. මේ නිසා නෙදර්ලන්තයේ නිවාස අහිමි සුනඛ ගහණය වැඩිවන්නට පටන් ගැනුණි. නිවාස අහිමි සුනඛයන්ගේ බර ආර්ථිකයට දරාගැනීමට පහසුවක් වනු පිණිස එරට සුනඛ බද්දක් පනවනු ලැබිණි. මෙහි ප්‍රතිඵලය වූයේ මේ බද්ද ගෙවීමට නොහැකි සහ ගෙවන්නට අකමැති පිරිස සුනඛයන්ව රැගෙන විත් මහ මග දමා යාම ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස 1864 දී ලොව ප්‍රථම සත්ත්ව සුරැකුම් ආයතනය එරටින් බිහි විය. එතැන් පටන් නෙදර්ලන්ත සමාජයීය ගැටලු‍ අතර ප්‍රමුඛස්ථානයෙහි ලා සලකන්නට පටන් ගැනුණේ සත්ව හිමිකම් ය. සතුන් අපයෝජනය ලක් කිරීම සරල සිදුවීමක් ලෙස සලකා බැහැර කිරීමක් සිදුවූයේ නැත. එවැනි වරදකට චෝදනා ලබනවුන් වර්තමානයේ දී නම් ඇමරිකානු ඩොලර් 18,539 ක් (රු. මිලියන 5.7) දඩයක් සහ වසර තුනක සිර දඬුවමක් ලබන්නට තරම් හේතු විය!

එසේ නම් ඔවුන් මේ තත්ත්වය ළඟා කරගත්තේ කෙසේද?

නෙදර්ලන්ත රජය මේ සඳහා ක්‍රියාමාර්ග කිහිපයක්ම ගත්තේ ය. ඇතැම් නගරවල විශේෂිත සුනඛයන් අළෙවි කරන්නට ඇති ස්ථානවලින් සුනඛ පැටවුන් මිල දී ගැනීමක් සිදුවුවහොත් ඒ වෙනුවෙන් අධික බද්දක් ගෙවන්නට සිදු විය. ජනතාව උනන්දු කරවූයේ නිවාස ආශ්‍රිතවම සිටින සුනඛයන් රැගෙන ඇතිදැඩි කිරීමට ය. එහි ප්‍රතිඵලයක් ලෙස නිවාස අහිමි යම් සුනඛයෙක් වේ ද ඔවුන්ට නිවසක් හිමි තත්ත්වයක් ගොඩනැගිණි. ඊට අමතරව නෙදර්ලන්ත රජය තවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ අතර එය හදුන්වනු ලැබුවේ ‘CNVR’ නමිනි. එහි අර්ථය වූයේ,එකතු කිරීම, වන්ධ්‍යාකරණය කිරීම, එන්නත්කරණය කිරීම, නැවත රැගෙන ඒම’ (Collect “Neuter” Vaccinate and Return) යනුවෙනි. වීදි අහිමිි සුනඛයන්ව වන්ධ්‍යකරණය සහ එන්නත් කිරීම සඳහා පශු වෛද්‍ය සේවාවන් බිහිවන්නට පටන් ගැනුණි. නිවාස අහිමි සුනඛයන් නොමැති ලොව ප්‍රථම රට බවට පත්වීම සඳහා රජයේ අරමුදල් ලැබූ වැඩසටහන් බොහොමයක් ක්‍රියාත්මක වන්නට පටන් ගැනුණි.

මේ ක්‍රියාමාර්ග පමණක් ප්‍රමාණවත් නොවන බව සිතූ නෙදර්ලන්තය සතුන් සඳහා පමණක් වෙන් වූ පොලිසියක් ඇති කළේ ය. සතුන්ට එරෙහි අපරාධ සහ සතුන් ගලවාගැනීමේ කටයුතු සඳහා මැදිහත්වීම එම පොලිසියේ ප්‍රධාන කාර්යය විය. සතුන් වෙනුවෙන් දේශපාලන පක්ෂයක් ද නිර්මාණය වූ අතර ඔවුන් අවධානය යොමු කළේ සත්ත්ව හිමිකම් සහ සුබසාධනය පිළිබඳව ය.

නෙදර්ලන්තයේ නිවාස අහිමි සුනඛයන් ලෙස සැලකෙන්නේ කවුරුන් ද?

ඔවුන් නිවාස අහිමි සුනඛයා යන්න ආකාර කිහිපයකට නිර්වචනය කොට තිබේ.

1. හිමිකරුවෙක් සහිත නිදහස් සුනඛයන් : ඔවුන්ට හිමිකරුවෙක් සිටින නමුත් දවස මුළුල්ලේම සුනඛයාට නිදහසේ සැරිසරන්නට අවස්ථාව සලසා දී තිබේ.

2. හිමිකරුවෙක් නොමැති නිදහස් සුනඛයන් : හිමිකරුවන් විසින් අතහැර දමනු ලැබූ සුනඛයන්.

3. ප්‍රජා සුනඛයන් : ඔවුන්ට නිශ්චිත එක් හිමිකරුවෙක් නොමැති නමුත් ප්‍රජාව විසින් ඔවුන්ව රැක බලාගනු ලබයි.

4. අයාලේ යන : මෙවැනි සුනඛයන් කෙරෙහි කිසිවකුගේ සැලකිල්ලක් නොමැති අතර සිය ජීවිතය රැකගැනීමේ වගකීම ඇත්තේ තමාටම ය.

නිවාස අහිමි සුනඛයන්ගේ ගැටලු‍ව දෙස නෙදර්ලන්තය සිය අවධානය යොමු කළේ එය සෞඛ්‍යයට මෙන්ම මිනිසාගේ ආරක්ෂාවට ද හානිකර තත්ත්වයක් ලෙස වන අතර එවැනි තත්ත්වයක් සමාජයේ පවතින ආචාරධර්ම සහ සදාචාරාත්මක ගැටලු‍වක් ද වන ආකාරයෙනි. සුනඛයන්ට සිදුවන කෲර සැලකිලි සහ සුනඛයන් කුසගින්නෙන්, රිදවීමෙන් හෝ මිය යනු දැකීමෙන් මිනිසුන්ට දැනෙන චිත්තවේගීය හානිය රජයක් ලෙස පිළිගත්තේ ය.

නෙදර්ලන්තය තුළ සත්ව සුභසාධනය සම්බන්ධ ප්‍රයත්නයන් පුදුමාකාර ලෙස සාර්ථකත්වයට පත් විය. නෙදර්ලන්ත ජනගහනයෙන් 90% ක් පමණ සිය නිවසට සුනඛයෙන් කැන්දා ගත්හ. එහි අර්ථය නම් මේ වන විට එරට සුනඛ ගහනයෙන් මිලියනයකට පමණ මේ වන විට නිවසක් සහ පවුලක් තිබෙන බව ය. එරට සුනඛයන්ට කිසිම විටෙක ගෙලට පටි දැමීම තහනම් අතර එය දැමිය යුත්තේ ඉල ඇට සහිත ප්‍රදේශයට ය.

නිවාස අහිමි සුනඛයන්ගෙන් තොර දේශයක් බවට නෙදර්ලන්තය පත්කරගැනීම සඳහා එරට කාලයක් තිස්සේ පැවති සංස්කෘතිමය බැඳීම ද මහත් පිටිවහලක් විය. එමෙන්ම දයාව සහ කරුණාව යන ගුණය ( අප රටේ බණ පොත්වලට පමණක් සීමා වී ඇති – සතුන්ට අදාළ කරගන්නේ නැති) මෙයට මහත් අනුබලයක් ලබාදුන්නේ ය. ලෝකයේ සෙසු රටවල් නිවාස අහිමි සුනඛයන්ගේ ගැටලු‍ව සමග පොර බදින අතරේ නෙදර්ලන්තය ඒ සඳහා කදිම නිදසුනක් ලෝකයට සපයා දී තිබේ. රටක් සහ ජනතාවක් ලෙස එක් අරමුණක පිහිටන්නේ නම්, ළඟා කර ගත නොහැකි ඉලක්කයක් නොමැති බව ඔවුන් ලොකයට පවසා හමාරය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

සතුන්ටත් හිමි අපේ ලෝකය