නිවාස සංවර්ධන අධිකාරියේ මුල් පුටුවෙන් යළි “මහ උළු ගෙදර”ට යන දුමින්ද සිල්වා

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පුද්ගලයන් සිව් දෙනකු ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට 2021 ජූනි 24 වන දා ජනාධිපතිවරයා විසින් ප්‍රදානය කළ සමාව අත්හිටුවන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ(31) අතුරු තහනම් නියෝගයක් නිකුත් කොට ඇත.

කොට ඇත.ඒ අනුව දුමින්ද සිල්වා මහතා යළි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයා භාරයට පමුණුවන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගය කළ බව ද සඳහන් වෙයි.මෙම නියෝගය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වෙත නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට අවශ්‍ය උපදෙස් හා සහාය ලබාදෙන ලෙස නීතිපතිවරයාට දන්වා ඇත්තේ ඒ සම්බන්ධ වාර්තා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලෙස ද දන්වා සිටිමිනි.

මේ අතර දුමින්ද සිල්වා මහතාගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද අධිකරණය නිකුත් කොට තිබේ.ජනාධිපති වරයකු විසින් දෙන ලද සමාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි විමසා බැලෙන ප්‍රථම අවස්ථාව මෙය වන අතර ඒ අනුව මෙම අතුරු තහනම් නියෝගය ශ්‍රී ලංකා දේශපාලන සහ අධිකරණ ඉතිහාසයේ නොමැකෙන සන්ධිස්ථානයක් වනු ඇත.

duminda

අදාළ ජනාධිපති සමාව අභියෝගයට ලක්කරමින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ ඇයගේ මව සහ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ භාර්යාව වන සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයකු වන ජනාධිපති නීතිඥ ගසාලි හුසේන් ඇතුළු පිරිසක් එම මූලික අයිතිවාසිකම් පෙත්සම් තුන ගොනුකර ඇත. එම මූලික අයිතිවාසිකම් පෙත්සම් තුන විභාගයට ගැනීමට අවසර දෙමින් ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

ඊයේ පෙරවරුවේ මෙම පෙත්සම් සලකාබැලීම ආරම්භ වූ අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අවධාරණය කොට සිටියේ දුමින්ද සිල්වා මහතාට පොදු සමාව ප්‍රදානය කිරීමේ දී ජනාධිපතිවරයා නිසි නීතිමය පටිපාටිය ක්‍රියාපටිපාටිය අනුගමනය කර නොමැති බවකි.මරණීය දණ්ඩනය නියමවුවන් 9,000කට ආසන්න පිරිසක් බන්ධනාගාර තුළ සිටියදී ඔවුන් අතුරින් පොදු සමාව ප්‍රදානය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් දුමින්ද සිල්වා මහතා පමණක් තෝරා ගත්තේ කුමන පදනම යටතේ ද ගැටලුව මතුවන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාපටිපාටිය පිළිබඳව පරීක්ෂා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අධිකරණයට බලය පැවරෙන බව ද පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති වරයකු අධිකරණය හමුවට පැමිණවිය නොහැකි වුව ද ජනාධිපති වරයකුගේ ක්‍රියා පටිපාටි අභියෝගයට ලක් කිරීමට අධිකරණයට ඇති බලය ඉන් නිෂේධ නොවන බව ද ඔහු වැඩි දුරටත් කීය.ඒ අනුව දුමින්ද සිල්වා මහතාට පොදු සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ද ජනාධිපති නීතිඥවරයා තර්ක කළේය.පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි සෙසු නීතිඥවරු ද මෙම කරුණු අනුමත කරමින් දේශන ඉදිරිපත් කළහ.නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කියා සිටියේ ජනාධිපතිවරයා විසින් පොදු සමාව ප්‍රදානය කිරීමේ ක්‍රියාපටිපාටිය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බවකි.

මෙම නඩුකරයට පාදක වන පොදු සමාව ප්‍රදානය කිරීමේ දී ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කොට තිබෙන ප්‍රතිපාදන අනුගමනය කර තිබෙන බවත් එබැවින් එය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කීය.මෙම පෙත්සම්වල වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කියා සිටියේ තම සේවාදායකයාට පොදු සමාව ප්‍රදානය කිරීමේ ජනාධිපතිවරයාගේ තීරණය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බවය.මෙම පොදු සමාව ප්‍රදානය කිරීම නීත්‍යානුකූලව සිදුවී ඇති බවත් මෙම ඉල්ලීම සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණයට වුව අධිකරණමය බලයක් නොමැති බවට ජනාධිපති නීතිඥවරයා තර්ක ඉදිරිපත් කළේය.

ඉදිරිපත්වූ සියලු කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් විභාගයට ගැනීම සඳහා අවසර ලබාදෙමින් ඉහත අතුරු තහනම් නියෝග නිකුත් කළ අතර.

පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 01 වනදා පැවැත්වීමට ද දින නියම කෙරුණි.ජනාධිපති වරයාගේ පොදු සමාව යටතේ සමාව ලැබීමෙන් නොනැවතී ජාතික නිවාස අධිකාරියේ සභාපති තනතුරින් ද පිදුම් ලැබූ දුමින්ද සිල්වා ට යළි මහ උළු ගෙදරට යෑමේ පසුබිම සැකසෙනුයේ එලෙසිනි.

ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ දී කරුණු ගොනු කළ අන්දමට මරණීය දණ්ඩනය නියමවුවන් 9,000කට ආසන්න පිරිසක් බන්ධනාගාර තුළ සිටියදී ඔවුන් අතුරින් පොදු සමාව ප්‍රදානය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් දුමින්ද සිල්වා මහතා පමණක් තෝරා ගත්තේ කුමන පදනම යටතේ ද ගැටලුව මතුවන අතරේ දුමින්ද සිල්වා මහතා සමඟම මරණ දඬුවම නියම වූ සෙසු තිදෙනා අත හැර දුමින්ද සිල්වා මහතාට පමණක් විශේෂ සමාවක් ප්‍රදානය කිරීම මඟින් ද ජනාධිපති වරයා තම බලතල සහ වරප්‍රසාද අවභාවිතයට ගෙන ඇතැයි යන සමාජමය චෝදනා මේ වන විටත් ජනාධිපති වරයා වෙත එල්ල වී හමාරය.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ භාර්යාව වන සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටිනුයේ මිනී මැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරද කරුවකු කොට මිනී මරණීය දණ්ඩනය නියම වී සිටින අයකුට ජනාධිපති වරයකු දුන් සමාව යළි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි විමසා බැලෙන ප්‍රථම අවස්ථාව වන මෙය මෙරට අධිකරණයේ ස්වාධීනත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තවමත් ශේෂ වී ඇති බව තහවුරු වන කදිම අවස්ථාවක් බවය.

දමයන්ති ගමගේ

එතෙර - මෙතෙර