නිවෙස් තුළින්ම කෝටි ප්‍රකෝටිපතියන් බිහි කරන්න ක්‍රිප්ටොකරන්සි වලට පුළුවන් ද?

මුදල් ඒකකයක් ලෙස අප සාමාන්‍යයෙන් හඳුන්වන්නේ භෞතිකව ස්පර්ශ කළ හැකි, භෞතිකව ගනුදෙනු කළ හැකි නිශ්චිත වටිනාකමක් සහිත කාසි සහ නෝට්ටුවලටය. නමුත් තාක්ෂණික වශයෙන් දියුණු ලෝකය තුළ මේ වන විට අප සාමාන්‍යයෙන් දන්නා මුදල් ඒකකවලට වඩා වෙනස් ඒවා ක්‍රියාත්මක වේ. ඒ අතරින් ප්‍රධානතම මුදල් ඒකකයක් වන්නේ ‘ක්‍රිප්ටෝකරන්සි’ (cryptocurrency) ය. සාම්ප්‍රදායික මූල්‍ය පද්ධතිවලට අභියෝග කරමින් සියලු ගනුදෙනු කාර්යක්ෂම ලෙස විමධ්‍යගත කරන්නට මෙයට හැකියාව ලැබී තිබේ. මෙයට ගෝලීය වශයෙන් උනන්දුවක් සේම මේ පිළිබඳ වාදවිවාදයන් ද ඇති වී තිබෙන බව සඳහන් කළ යුතුය.

ක්‍රිප්ටෝකරන්සි යනු ඩිජිටල් මුදල් ඒකකයක් ලෙස හැඳින්විය හැකිය. ක්‍රිප්ටොකරන්සි යන වදන නිර්මාණය කොට ඇත්තේ පද දෙකක එකතුවකිනි. එනම් Crypto සහ Currency යන ඒවාය. Crypto යන්න බිඳීවිත් ඇත්තේ ගුප්තලේඛන ක්‍රමවේද හැඳින්වීමට ඇති cryptography යන වදනෙනි. Currency යනු මුදල්ය. සුරක්ෂිතතාව පිණිස ගුප්තලේඛනගත කරන ලද මුදල් ඒකකය වැනි අදහසක් මෙයින් කියවෙයි.

යම්කිසි රජයක් මගින් නිකුත් කරන සාම්ප්‍රදායික මුදල් මෙන් නොව මේවා විමධ්‍යගත ජාල පද්ධති හරහා ක්‍රියාත්මක වේ. අන්තර්ජාලය තුළ පවතින ඩිිජිටල් ගිනුම් තැබීමේ පද්ධතියක් වන ‘බ්ලොක්චේන්’ (blockchain) තාක්ෂණය ඔස්සේ මෙය ක්‍රියාත්මක වේ. පසුගිය දශකය මුළුල්ලේ ගෝලීය මූල්‍ය භූමිදර්ශනය වෙනස් කරන්නට ක්‍රිප්ටෝකරන්සිවලට හැකියාව ලැබී තිබේ.

ක්‍රිප්ටෝකරන්සි 2009 වසරේ දී පුද්ගලික හෝ සඟවා ගත් නමකින් පෙනී සිටින සටෝෂි කනමාදෝ විසින් නිර්මාණය කරන ලදැයි සැලකේ. බැංකු වැනි අතරමැදි මූල්‍ය ආයතන කිසිවක් නොමැතිව ඉලෙක්ට්‍රොනික ආකාරයෙන් ගනුදෙනු කිරීමේ හැකියාව ක්‍රිප්ටෝකරන්සි නිසා ඇති වී තිබේ. මෙය බ්ලොක්චේන් තාක්ෂණ ඔස්සේ ක්‍රියාත්මක වන බැවින් ගනුදෙනුවල විනිවිදභාවය සහ සුරක්ෂිත බව තහවුරු වෙයි. වර්තමානයේ භාවිතයේ පවතින බිට්කොයින් (Bitcoins), ඇල්ට්කොයින්ස් (altcoins) ආදී සියල්ල හඳුන්වන පොදු නාමය වන්නේ ක්‍රිප්ටෝකරන්සිය. මේවා භෞතිකව පවතින දෙයක් නොවන බැවින් යමෙක් ක්‍රිප්ටොකරන්සි උපයා ගත් විට ඒවා තැන්පත් කරනු ලබන්නේ මාර්ගගතව ඇති ඩිජිටල් පසුම්බිවලය. ක්‍රිප්ටොකරන්සිවලට අයත් බිට්කොයින් ‘ඩිජිටල් රත්රන්’ (digital gold) යනුවෙන් හඳුන්වනු ලබයි. එයට හේතුව ඒවා යම්කිසි වටිනාකමක් තැන්පත් කර තැබීම සඳහා වත්කමක් ලෙස භාවිත වන බැවිනි.

ක්‍රිප්ටෝකරන්සි පිළිගන්නා මාර්ගගත වේදිකාවන් (platforms) තුළ දී භාණ්ඩ සහ සේවාවන් වෙනුවෙන් ගෙවීම් කිරීම සඳහා මෙය භාවිත කළ හැකිය. එමෙන්ම ඉතා ඉහළ ප්‍රතිලාභයක් ලබා ගත හැකි සුවිශේෂී ආයෝජන වත්කමක් ලෙස ද මෙය පිළිගැනීමට ලක්ව තිබේ. ඉක්මන් සහ අඩු පිරිවැයකින් ජාත්‍යන්තර මූල්‍ය සම්ප්‍රේෂණ ක්‍රමයක් ලෙස ද මෙය ප්‍රචලිතය. බැංකු වැනි සාම්ප්‍රදායික අතරමැදියන් නොමැතිව ණය දීම්, ණය ගැනීම් සහ වෙළෙඳ කටයුතු කිරීමට ක්‍රිප්ටෝකරන්සි නිසා හැකියාව ලැබී තිබේ.

ඉහත සඳහන් කළ වාසිදායක තත්ත්වයන් සේම ක්‍රිප්ටොකරන්සි තුළ අවාසිදායක තත්ත්වයන් ද දක්නට ලැබේ. ඉන් එකක් වන්නේ වාෂ්පශීලී ස්වභාවය (Volatility) හෙවත් වටිනාකම පුරෝකථනය කළ නොහැති අන්දමින් වේගයෙන් වෙනස් වීමය. මේ නිසා ආයෝජකයන් යම් කිසි අවදානමකට පත් වෙයි. යම් රටක් තුළ භාවිත කිරීම සඳහා රජයයන් මගින් අවසර නොදීම තවත් එක් අවාසියකි. බ්ලොක්චේන් වැනි අධි ආරක්ෂිත ඩිිජිටල් ලෙජර් පද්ධති හරහා මෙහි ක්‍රියාකාරීත්වය සිදුවුවද, හැක් (hacking) කිරීම්වලට ලක්වීමේ හැකියාව තිබේ. මුදල් විශුද්ධිකරණ සහ වංචා වැනි නීතිවිරෝධී කටයුතු සඳහා ක්‍රිප්ටොකරන්සි භාවිත වන බවට චෝදනා තිබේ. ක්‍රිප්ටෝකරන්සි උපයා ගැනීම සඳහා පවතින්නා වූ ක්‍රම (බිට්කොයින්ස් සඳහා ඇති ‘මයිනින්’ වැනි ක්‍රම) සඳහා සැලකිය යුතු වෙහෙසක් දරන්නට සිදු වේ.

ක්‍රිප්ටොකරන්සි ලොව පුරා භාවිත වීම වේගයෙන් ව්‍යාප්ත වී ගිය ද, බොහෝ රටවල් තවමත් මෙය නීත්‍යනුකූල ලෙස පිළිගෙන නැත. මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය, එල් සැල්වදෝරය, ජපානය වැනි රටවල මෙය පිළිගෙන තිබේ. විවිධ නීතිරීති මගින් දැඩිව මර්දනය සිදුවුව ද, ඉන්දියාව, චීනය, දකුණු කොරියාව සහ සිංගප්පූරුව වැනි ආසියාතික රටවල ක්‍රිප්ටොකරන්සි ක්‍රියාකාරී ලෙස පවතී. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් මෙය පිළිගෙන නොමැති නමුත් තාක්ෂණික වශයෙන් ඉතා දියුණු මට්ටමක සිටින ශ්‍රී ලාංකික ආයෝජකයන් ක්‍රිප්ටොකරන්සි භාවිත කරනු දක්නට ලැබේ.

සාම්ප්‍රදායික මූල්‍ය ප්‍රතිපත්තිවලට අභියෝග කිරීම, වංචා දුෂණයනට ඇති ඉඩකඩ සහ පාරිභෝගික ආරක්ෂාව අවම වීම, ක්‍රිප්ටොකරන්සි උපයා ගැනීම සඳහා ඇති ‘මයිනින්’ (mining) ක්‍රියාදාමය මහත් වෙහෙසකාරී දෙයක් වීම, නීතිවිරෝධී ක්‍රියාකාරකම් සඳහා භාවිත කළ හැකි බැවින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වීම වැනි කාරණා නිසා බොහෝ රටවල තවමත් ක්‍රිපටෝකරන්සි පිළිගෙන නොමැත.

අනාගත ලෝකය තුළ සාම්ප්‍රදායික මුදල් ඒකකවල භාවිතය අඩු වී යාම නිසා ක්‍රිප්ටොකරන්සි භාවිතය ඉහළ යා හැකි නමුත් මූල්‍ය විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මේ සඳහා නීතිරීති සම්පාදනය කිරීම අත්‍යවශ්‍ය බවය. මේ පිළිබඳ උනන්දුවක් දක්වන බොහෝ රජයයන් රජයේ පාලනය යටතේ ක්‍රිප්ටොකරන්සි කබා ගත හැකිදැයි සොයා බලමින් සිටියි.

ක්‍රිප්ටෝකරන්සි ඉතා ඉහළ වාෂ්පශීලී ස්වභාවයක්, එනම් ඉතා වේගයෙන් අගය වෙනස් වන ස්වභාවයක් පවතින නමුත් එවැනි අවදානම් සහගත තත්ත්වයන් යටතේ පවා කෝටිපතියන්, ප්‍රකෝටිපතියන් බවට පත් වූ පුද්ගලයෝ ඕනෑතරම් සිටිති. එවැනි එක් පුද්ගලයකු වන්නේ ‘බිට්කොයින් මිලියනපති දරුවා’ (Bitcoin Millionaire Kid) ලෙස ප්‍රකට එරික් ෆින්මන් ය. ඔහු 2011 වසරේ දී තමාට වයස අවුරු 11 වන විට බිට්කොයින්වල ඇමරිකානු ඩොලර් 1000ක් ආයෝජනය කළ අතර බිට්කොයින්වල අගය එකවර ඉහල යාමේ තත්ත්වයක් ඇති වී ඔහු ක්ෂණිකවම මිලියනපතියෙක් බවට පත්විය. ක්‍රිප්ටොකරන්සි හි මුදල් ආයෝජනය කොට ප්‍රකෝටිපතියන් බවට පත් වූ පුද්ගලයන් අතර එක අයෙකි ක්‍රිස් ලාසෙන්ය. මේ ලැයිස්තුවේ තවත් බොහෝ දෙනෙකු සිටිති. කෙසේ නමුත් සාමාන්‍ය ආයෝජකයකුට තරම් පහසුවෙන් ක්‍රිප්ටොකරන්සි තුළ මුදල් ආයෝජනය කොට ලාභ ලබන්නට හැකියාවක් නැත. ක්‍රිප්ටොකරන්සි වේගයෙන් වාෂ්පශීලී බවට පත්වන බැවින් මෙහි වටිකානම ඉතා වේගයෙන් වෙනස් වෙයි. එබැවින් මෙහි ආයෝජනය කරන්නට පෙර මේ පිළිබඳ පර්යේෂණ කරමින් තොරතුරු සොයා ගත යුතුය. ඒ වෙනුවෙන් කාලය ගත කළ යුතුය. නැතහොත් සැලකිය යුත් තරමේ පාඩු අත්විඳීමට ද ඉඩ තිබේ.

කෙසේ නමුත් අනාගත මූල්‍ය ලෝකය තුළ වඩාත්ම බලපැවැත්වෙන මූල්‍ය ඒකකයක් බවට ක්‍රිප්ටොකරන්සි පත්වීම නවතා දැමිය හැකි දෙයක් නොවේ. ක්‍රමවත් නීතිරීති යටතේ මෙය ලෝකයේ බොහෝ රටවල පිළිගැනීම දිනෙන් දිනම සිදුවෙමින් පවතී. මෙහි ක්‍රියාකාරීත්වය නියමිත පරිදි අවබෝධ කර ගත් විට නිවසේ සිටම වුව කෝටි ප්‍රකෝටිපතියකු වන්නට ක්‍රිප්ටොකරන්සි මග පෙන්වනු ඇත.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර