නීතිඥවරයෙකුගේ නිවසේ සුරතලයට ඇතිකළ සුනඛයාට වස දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් නීතිඥවරියක කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත මුදාහරින ලෙස මහේස්ත්‍රාත් දමින්ද රාමනායක මහතා නියෝග කොට ඇත. මෙලෙස ඇප මත මුදාහැරියේ මත්තේගොඩ, ඇල්විටිගල මාවතේ පදිංචි නීතිඥ වරියක වන දිලිනි විජේසිංහ මහත්මියයි. නීතිඥ පත්මික මහානාම මහතා ඉකුත් 12 වැනි දින කහතුඩුව පොලීසියට කළ පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු මත සැකකාර නීතිඥවරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණය හමුවේ දැනුම් දී තිබේ.පැමිණිලිකාර නීතිඥ පත්මික මහානාම මහතාගේ නිවසේ සවි කර තිබූ සීසීටීවී දර්ශන අනුව පොලිස් මූලස්ථානයේ සමීප රූප ආවේක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් සිදු කළ විමර්ශනවල දී පැමිණිලිකාර නීතිඥවරයාගේ නිවසේ ප්‍රධාන ගේට්ටුව අසලට පැමිණි මෝටර් රථයක ලියාපදිංචි අංකය හඳුනාගෙන ඒ ඔස්සේ සිදුකළ විමර්ශන අනුව සැකකාර නීතිඥවරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා තිබේ.පසුගිය එකොළොස් වැනි දින රාත්‍රියේ දී මෝටර් රථය පැමිණිලිකාර නීතිඥවරයාගේ නිවස ඉදිරිපිට ප්‍රධාන ගේට්ටුව අසලට පැමිණ යම් දෙයක් වත්තට වීසි කරන අයුරු හා එම දේවල් සුරතල් සුනඛයා අනුභව කරන අයුරුත් සීසීටීවී කැමරාවේ සටහන් ඇතැයි පොලීසිය කියා සිටියි.හිටිහැටියේ රෝගාතුරව සිහිසුන් වූ සුනඛයා පශු වෛද්‍යවරයකුට යොමු කිරීමෙන් අනතුරුව වස වර්ගයක් ශරීරගත වී ඇති බවට අනාවරණය වී තිබේ. පසුව නීතිඥ නීතිඥ පත්මික මහානාම මහතා එම දර්ශන අනුව ඒ සම්බන්ධයෙන් කහතුඩුව පොලීසිය වෙත පැමිණිලි කොට තිබේ මෙම අත් අඩංගුවට ගැනීම සිදු කොට ඇත්තේ ඉන් අනතුරුව ය.
ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 412 වගන්තිය යටතේ හා 486 සාපරාධී බිය ගැන්වීම යන චෝදනා යටතේ සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණු අතර. නඩුව ජූලි 6 වැනි දින නැවත කැඳවීමට නියමිත ය.
එම අධිකරණ කටයුත්ත පසෙක තිබිය දී කිසියම් සමාජමය පිළිගැනීමක් ඇති වෘත්තියක යෙදෙන්නකු හෝ යෙදෙන්නියක සතකුට වස දීම යනු ඒ වෘත්තියට පමණක් නොව සමස්ත මනුෂ්‍යත්වයටම නිඟා දෙවන්නක් බව බැලූ බැල්මට වුව කිව හැක.මෙවැනි සිදුවීම් සම්බන්ධ පොදු විග්‍රහයක් කළ හොත් යමකු තුළ පැවතිය යුතු සහකම්පනය(Empathy ) නොමැති වීම මීට මුල් විය හැකි බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසයි.ඇතැම් විට මෙය සමාජ විරෝධී පෞරුෂ ආබාධ(Antisocial personality disorder ) ලක්ෂණයක් ලෙස ද ඉස්මතු විය හැකි බව වෛද්‍ය විද්‍යාත්මකව පැහැදිලි කළ හැකි බව ඔහු කියයි.”සමහර විට මේවා ළමා කාලයේ හට ගත් මානසික ව්‍යාකූලතා වල ප්‍රතිඵල වෙන්නත් පුළුවන්.ඒ වගේම මේ පෞරුෂ ආබාධය සහිත පුද්ගලයන් පලිගැනීම් වගේ දේවල් සඳහා සියුම් උපක්‍රම භාවිතා කරන්නත් පුළුවන්.ඒ වගේම සමහරුන් සෘජුවම සමාජය සමඟ ගැටුම් ඇති කර ගන්නා අතරේ තවත් පුද්ගලයන් ප්‍රබලයන් කෙරෙන් තමන්ගේ ද්වේෂය පිට කර ගන්න ඔවුන් සතු තමන්ට පහසුවෙන් නතු කර ගත හැකි සාධක වලට හානි කරන්නත් පුළුවන්.නමුත් අපගේ ඒ විස්තරය පොදුවේ මේ තත්වය හැඳින්වීමක් බවත් විශේෂයෙන් කිව යුතුයි” විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසයි.
ඒ කෙසේ හෝ මෙවන් වැරදි සම්බන්ධයෙන් දණ්ඩනීති සංග්‍රහයේ 411 සහ 412 වගන්ති වල අදාල ප්‍රතිපාදන දක්වා තිබේ.දණ්ඩනීති සංග්‍රහයේ 411 වගන්තියේ දැක්වෙන්නේ “රුපියල් දහයක හෝ ඊට වැඩි ගණනක වටිනාකම ඇති සතෙකු හෝ සතුන් මැරීමෙන් හෝ වස දීමෙන් හෝ අංග විකල කිරීමෙන් හෝ අප්‍රයෝජනවත් කිරීමෙන් අනර්ථය සිදුකරන තැනැත්තෙකුට අවුරුදු දෙක දක්වා වූ කාලයක දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගතකිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකින්ම දඬුවම් කළ යුතුය” යනුවෙනි.එහි 412 වගන්තියේ දැක්වෙන්නේ “වටිනාකම කුමක් වුව ද, යම් ඇතකු ඔටුවකු, අශ්වයකු, බූරුවෙකු, කොටළුවකු, මීහරකකු, ගොනෙකු, එළදෙනක හෝ ගවයෙකු හෝ රුපියල් පනහක හෝ ඊට වැඩි ගණනක වටිනාකම ඇති වෙනත් සතෙකු මැරීමෙන් හෝ වස දීමෙන් හෝ අංග විකල කිරීමෙන් හෝ අප්‍රයෝජනවත් කිරීමෙන් යමෙකු අනර්ථයක් කළහොත් ඔහුට අවුරුදු පහ දක්වා කාලයක,දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකින්ම දඬුවම් කළ යුතුය” යනුවෙනි.මේ අනුව චෝදනා එල්ලකරන පනතේ ප්‍රතිපාදන අනුව දඬුවම වෙනස් වන බව පෙනී යනු ඇත. යම් හෙයකින් පොලීසිය විසින් සුළු දඬුවමක් සහිත පනතක ප්‍රතිපාදන ඔස්සේ පමණක් එවන් චූදිතයෙකුට චෝදනා එල්ලකොට තිබේ නම් නඩු විභාගයේ දී ඒ සම්බන්ධව අධිකරණයට කරුණු දැක්වීමේ හැකියාව අගතියට පත්වූ පාර්ශවය සතුව පවතී. අප මෙය විශේෂයෙන් සඳහන් කරනුයේ. මෙය අප රටේ සත්ව ලෝලීන්, අවිහිංසාවාදීන්, සත්ත්ව හිමිකම් ක්‍රියාධරයන්, විශේෂයෙන් සිහිතබා ගත යුත්තක් බැවිනි. ඒ අනුව හැකි හැම විටම මෙවන් කරුණු අධිකරණය වෙත යොමු කොට අදාළ වරදකරුවන්ට නිසි දඬුවම් ලබා දීමට ක්‍රියා කිරීම අවශ්‍ය වෙයි.ඒ මෙවැනි ක්‍රියා සමාජයෙන් පිටු දැකීමට එවැනි ක්‍රියා මාර්ග අතිශය වැදගත් වන බැවිනි.
දිගින් දිගටම සිදුවන සත්ව ඝාතනයන්ට එරෙහිව සත්ව අවිහිංසා පනත පාර්ලිමේන්තුවේ සම්මත කොට ඉක්මනින්ම බලාත්මක කිරීමට මෙම මැතිවරණ කාල වලදී දී ඡන්ද අපේක්ෂකයන්ගෙන් ප්‍රසිද්ධියේ ලිඛිත පොරොන්දු ලබා ගැනීමට කටයුතු කිරීම සත්ව හිමිකම් සංවිධාන කටයුතු කිරීම ද වැදගත් ය,මෙවන් ම්ලේච්ඡ ක්‍රියාවන් පිළිබඳව සමාජයේ මනා කතිකාවක් ඇති කොට ඒ සඳහා නිශ්චිත නීති පැනවීමේ අවශ්‍යතාව රජයට පෙන්වා දීමටත් ඒ සඳහා බල කිරීමක් සිදු කිරීමට සේම මෙවන් සත්ව ඝාතන සම්බන්ධයෙන් අප රටේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් සංවිභාගශීලී වීම ද වැදගත් සමාජමය යුතු කමක් හා වගකීමක් ව පවතී.
දමයන්ති ගමගේ