නූපන් දරුවන්ට කේන්දර හැදීම හෙවත් මන්නාරම් තෙල් වලින් විදෙස් ණය ගෙවීම

ලංකාවේ තෙල් ගවේෂණවලින් මේ වන විට සොයාගෙන ඇති ඛනිජ තෙල් හා ස්වාභාවික ගෑස් අලෙවි කිරීමෙන් මෙරට සමස්ත විදේශ ණය පියවා ගත හැකි බවත් ණය පියවීමෙන් පසුවද ඩොලර් බිලියන 133.5 ක් රටට ඉතිරිවන බවත් බලශක්ති ඇමති උදය ගම්මන්පිල පසුගිය දා ප්‍රකාශ කළේය.මෙය ඉතා ආස්වාදනීය ප්‍රකාශයකි.

ශ්‍රී ලංකා මුහුදු තීරණයේ තෙල් තිබෙන බවට මුලින්ම ප්‍රකාශ වූවේ 1970 දශකයේ මැද භාගයේ සමගි පෙරමුණු රජය සමයේය.එවක එය ජනතාවට අතිශය ආශ්වාදනීය පුවතක් වූ අතර එය මුල් කොට ගුවන් විදුලි ගීත පවා නිර්මාණය විය. එම කාලයේදී ද තෙල් කැණිම් කටයුතු ආරම්භ කරනා බව ප්‍රකාශ වූ නමුත් පසුව එම ප්‍රදේශයේ තෙල් නොමැති බව ප්‍රකාශ විණි. පසුව කටකතා පැතිර ගියේ ඉන්දියාව එම තෙල් හොර රහසේ තෙල් රැගෙන ඇති බවය.

නැවත මෙරට තෙල් තිබෙන බවට ප්‍රකාශ වූවේ 2000 වසරේදී ය. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ කාලවකවානුවේදී මේ බව ප්‍රකාශ වුවද පසුව 2002 දී බලයට ආ එක්සත් ජාතික පක්ෂ රජය විසින් නෝර්වේ සමාගමකට ඛනිජ තෙල් ගවේෂණ කටයුතු බාර දුන්නේය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2005 දී බලයට පැමිණීමෙන් අනතුරුව නෝර්වේ සමාගමෙන් එම කටයුතු ඉවත් කර බ්‍රිතාන්‍ය සමාගමකට පැවරුවේය. මෙලෙස උඩ යමින් යට යමින් පැමිණි තෙල් ගවේෂණය දැන් තෙල් කැණිම් දක්වා වර්ධනය වී තිබේ.

උදය ගම්මන්පිල ඇමතිවරයා ප්‍රකාශ කළේ තෙල් කැණිම් කටයුතු සිදු කළ යුතු ප්‍රදේශ හදුනා ගැනීම සදහා බ්‍රිතාන්‍ය සමාගමකට බාරදුන් බව ය. ඔවුන් විශේෂිත ගුවන් යානයක් යොදවා එම ප්‍රදේශ හඳුනා ගෙන පසුව ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන බවද ඔහු කියා සිටියේය. තෙල් කැණිම් කළ හැකි ප්‍රදේශ හඳුනා ගත හැකි එම විශේෂ ගුවන් යානය ද ඔහු පරික්ෂා කොට බැලීය.

ලංකාවේ මන්නරාම් ද්‍රෝනියේ එම් – 2 ලෙස හඳුනාගත් ප්‍රදේශයේ බොර තෙල් බැරල් මිලියන 2,000 ක් පවතින බවත් එහි වටිනාකම් ඇමරිකානු ඩොලර් බිලියන 150 ක් බවත් ඇමතිවරයා පවසයි. එහි ඇති ගෑස් ඝන අඩි ට්‍රිලියන 09 ක වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 17 ක් බවද ඔහු කියා සිටියි. මේ අනුව මෙම ඛනිජ තෙල් සහ ගෑස් අලෙවියෙන් ඇමරිකානු ඩොලර් බිලියන 167 ක් උපයා ගත හැකි බවද ඔහු කියා සිටියි.

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සහ ගෑස් නිධි සම්බන්ධයෙන් කටයුතු කිරීමට නෛතික බලය ලබා ගැනීම උදෙස් ඛනිජ තෙල් සංවර්ධන අධිකාරි පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමෙන් පසු ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවන බවද ඇමතිවරයා මාධ්‍ය හමුවකට එක් වෙමින් පසුගිය දා කීවේය.

ඉන් පසුව ඛනිජ තලේ සහ ගෑස් ගවේෂණය මෙන්ම ඛනිජ සම්පත් උකහා ගැනීම සදහා ආයෝජනය කිරීමට, ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ සමාගම්වලට ආරාධනා කිරීමට බලාපොරොත්තු වන බවද ඇමතිවරයා කීවේ ය.

ඇමතිවරයාගේ ප්‍රකාශය බලන කළ තෙල් හා ගෑස් ඉක්මණින් ගොඩට ගෙන රටේ ණය ගෙවා සුරපුරයක් වන බවක් ජනතාව තුළ හැඟී යයි. නමුත් එය එසේ නොවේ. ලෝක වසංගතය හමුවේ ආයෝජන පවතින්නේ පසුගාමී මට්ටමක ය. එසේම තවම තෙල් කැණිම් කළ යුතු භූමිය නිරික්ෂණය කිරීමේ කටයුතු ආරම්භ වූවා පමණකි.

ඛනිජ සම්පත් තිබෙන බව පමණක් තහවුරුවී ඇත. නමුත් ඒවා ගොඩ ගන්නා අකාරය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගෙන එය ගොඩ ගන්නා විට තව වසර කිහිපයක් ගත විය හැකිය. නමුත් ඊට පෙර කිරීමට බොහෝ කාරණා ඛනිජ තෙල් සංස්ථාවට ඇත. පළමු කාරණය වන්නේ හිඟයකින් තොරව රටට තෙල් සැපයීමය. තෙල් සංස්ථාව මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයක සිරවී සිටියි. ඒ ඔවුන් ණයට ඉන්ධන ගෙන ඒමත් මෙරට රාජ්‍ය ආයතනවලට ණයට දුන් ඉන්ධන වෙනුවෙන් මුදල් නොලැබීමත් යන කාරණය මතය.

එම නිසා ඛනිජ තෙල් සංස්ථාව ඇමරිකානු ඩොලර් කෝටි 250 ක මුදලක් ජාත්‍යන්තර වෙළෙද පොලෙන් ණයක් ලෙස ලබාගැනීමට තීරණය කර තිබේ. එම ණය මුදල ඇමරිකාවේ “කන්සෙප්ට් ග්ලෝබල්” නැමැති මුල්‍ය ආයතනයෙන් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ද හිමිව තිබේ. සියයට 3 ක පොලියට මෙම ණය ලබා ගන්නා අතර වසර 12 ක් තුළ නැවත පියවිය යුතුය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තෙල් ආනායනය කිරීම වෙනුවෙන් ලබා ගත් මුදල් හේතුවෙන් ලංකා බැංකුවට හා මහජන බැංකුවට ගෙවීමට ඇති මුදල ඩොලර් කෝටි 330 කි. මේ නිසා තෙල් සංස්ථාවට මෙරට කිසිදු බැංකුවකින් මුදල් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත.

එවැනි වකවානුවක විදේශ ආයතන කිසිදු අවස්ථාවක ණය ලබා දෙන්නේ නැත. නමුත් ඛනිජ තෙල් සංස්ථාව ඒ වෙනුවෙන් යොදා ඇති උපක්‍රමය වනුයේ මන්නරාම් ද්‍රෝනියේ ඇති තෙල් හා ගෑස් නිධිය පෙන්වා සිටීමය. එය පෙන්වා මේ ණය ගැනීමට කටයුතු කරන බව තෙල් සංස්ථා සේවකයෝ පවසති. එසේම ජනාධිපතිවරයාගේ හා වත්මන් ආණ්ඩුවේ වාසනාවට මෙම ඛනිජ සම්පත් පහළ වී ඇති බව පෙන්වා දීමට උත්සාහ කරති.ගමේ ගොඩේ භාෂාවෙන්ම කිවහොත් මෙය “නූපන් දරුවන්ට කේන්දර හැදීමකි”.

රට හා ලෝකයා ගේ ඇස් බැඳ රජය තමන්ගේ වැඩ කටයුතු කරමින් සිටිති. ජනතාව ද හුරේ දමති.එහෙත් මේ සියළු ණය ගෙවන්නට වන්නේ තමනට බව ඔව්හු නොසිතති.ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර