නෙළුම් කුළුණ දෙස බලා ජනතාවට කුස ගිනි නිවා ගත නොහැක

“ශ්‍රී ලංකාව මේ වන විට දැඩි ආර්ථික අහේනියකට මුහුණ දී සිටින්නේය” යන්න දැන් ජාත්‍යන්තරය තුළ පවා ප්‍රකටව ඇති කාරණයකි. එම කාරණය තදින්ම දැනෙන්නේ සමාජයේ පහළම සහ මධ්‍යම ස්ථරයේ ජනතාවට ය. ඒ ආහාර අර්බුදය කොයි කාටත් පොදුවේ දැනෙන කාරණයක් වන බැවිනි. මිනිස්සු හැම දේම කරන්නේ ජිවත් වන්නටය යන මතයක් රට තුළ තිබේ.පසුගිය කාලයේ රට ගැන සිතා තම ඡන්දය පාවිච්චි කළ ජනතාවට දැන් ජිවිත පවත්වා ගෙන යාමට වෙනම යුද්ධයක් කිරීමට සිදු ව තිබේ.

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ සාමාන්‍ය ජනතාවට එක් වරම් ප්‍රතිලාභ හිමි නොවන මහා පරිමාන මුදල් ආයෝජන මුල් කර ගත් රජයේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති මත මුලින්ම හිඟවන්නට පටන් ගෙන ඇත්තේ ආහාර ද්‍රව්‍යයන් ය. ඒ අතර කෘෂි නිශ්පාදන ප්‍රමුඛස්ථානයක සිටියි. මීට වසරකට දෙකකට පෙර රටේ ආර්ථික මධ්‍යස්ථානවලින් අසන්නට දකින්නට ලැබුණු ප්‍රධාන ප්‍රවෘත්තියක් වූයේ එළවළු විකුණාගත නොහැකිව මහමඟ දමා යන ගොවීන් ය. අස්වන්නට නියමිත වටිනකාමක් නොලැබීම මත ඔවුන් ඒවා වීසි කර රජයට සාප කරමින් ගියහ.

එම නිසා ආර්ථික මධ්‍යස්ථාන අසල එළවළු කඳු ගොඩ නැගිණි. අස්වැන්න වැඩි කාලයට එළවළුවලට නිසි මිලක් ගොවියාට නොලැබුණ ද අස්වැන්න අඩු කාලයේ දී අතරමැදියන්ට විශාල මුදලක් ලැබුණි.මෙයට විසඳුමක් ලෙස යහපාලන රජය විසින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල එළවළු කල් තබා ගත හැකි ශිතාගාර පහසුකම් සහිත ගබඩා සංකිර්ණයක් ඉදිකිරීමට මුල්ගල තබා වැඩ ආරම්භ කළ ද මේ වන විට එම ව්‍යාපෘතිය ද මුදල් නොමැතිව අතරමඟ නතර වී තිබේ.

එම අතුරු කාරණය කෙසේ වෙතත් මේ වන විට වත්මන් රජය නිර්මාණය කොට ඇති පොහොර අර්බුදය නිසා ආර්ථික මධ්‍යස්ථානවල එලෙස අහක දමන එළවළු තොග දකින්නට නැත. දඹුල්ල, තඹුත්තේගම ආදී ආර්ථික මධ්‍යස්ථාන රැසක අද පවතින්නේ එළවළු හිඟ වී ඇති තත්ත්වයකි. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු අලෙවිකරන එක් ගොවි මහතෙකු කදිම කතාවක් අප සමඟ කීය.

“ඉස්සර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැන්ටිම කියන්නේ පුදුම සෙනඟක් ඉන්න ස්ථානයක්. ඒකේ තියෙන පුටුවලට කිසිම විවේකයක් නෑ. මොකද? එක්කෙනෙක් නැගිටින කොට දහ දෙනෙක් විතර වාඩි වෙන්න බලාගෙන ඉන්නවා. සමහරු හිටගෙන කන්නේ. හැබැයි පහුගිය දවසක මම එතනට ගියාම දහ දෙනෙක්වත් කැන්ටිමේ හිටියේ නෑ. එදා ඉස්පාසුවක් නැතිවූ පුටු අද මකුළුදැල් බැදෙන තැනට ඇවිල්ලා. මේ වෙනස හිතාගන්න බෑ.” මේ එම ගොවි මහතාගේ වචනම ය.

මිනිස්සු වගේම අහක දමන එළවළු කන්න තඹුත්තේගම වැනි ආර්ථික මධ්‍යස්ථානවලට අලි රංචු පවා පැමිණියහ. අද අලින්ට කන්න තබා මිනිස්සුන්ට කන්නත් එළවළු නැත. මැනින් වෙළෙද පොල වැනි උප වෙළෙද පොලවල අහක දමන එළවළුවල හොඳ කොටස් තෝරා අඩු මිලට අලෙවි කරන පිරිසක් ද සිටියහ. වෙළෙදුන් අහක දමන එළවළුවල නරක් වූ කොටස් ඉවත් කොට හොඳ කොටස් මිලට ගන්නා පාරිභෝගික පිරිසක් ද ඔවුන් වටා ගොනු වූහ.

අද එම තත්ත්වය සහමුලින්ම වෙනස් වී තිබේ. එනම් වෙළෙඳුන් එලෙස එළවළු අහක නොදමා ඔවුන්ම කුණු වූ කොටස් ඉවත් කොට පිරිසිදු කොට තැබීමට පටන් ගෙන ඇති නිසාය. කොටස් දෙකක් මෙයින් අසරණ වී සිටියි. එනම් අහක දමන එළවළු නැවත පිරිසිදු කොට විකුණු කණ්ඩායම හා එම එළවළු අඩු මිලට මිලදී ගත් කණ්ඩායම ය.

අද ඇතැම් සුපිරි වෙළෙද සැල්වල ද මෙම ක්‍රමය භාවිතා කරති. එනම් නරක් වන එළවළුවල නරක් වූ කොටස් ඉවත් කොට ඉතිරි කොටස් කෑලිවලට කපා වෙනම අසුරා අලෙවි කිරීම ය. එළවළු මිලට වඩා අඩු මිලකට ඒවා අලෙවි වෙයි. පසුගිය කාලය තුළ මේ ලියුම්කරුට දර්ශනය වූ කරුණක් වූයේ එලෙස වෙනම අසුරා අලෙවි කරන එළවළු වර්ග සුපිරි වෙළෙද සැල්වල නොමැති බව ය.

දින කිහිපයක් බලා එහි සේවිකාවකගෙන් ලියුම්කරු මේ ගැන විමසීය. ඇය කියා සිටියේ එළවළු මිලදී ගන්නවාට වඩා වෙනම අසුරා ඇති එළවළු මිලදී ගැනීමට ඇති ඉල්ලුම වැඩිවී ඇති බව ය. එහි ඉල්ලුම වැඩිව ඇත්තේ සුපිරි වෙළෙද සැල්වලට යන මධ්‍යම පාන්තිකයන් පවා මෙම එළවළු ඇසුරුම් මිලදී ගැනීමට උනන්දුව වැඩිවීම නිසා බව පැහැදිලි ය.

මේ සියල්ලගෙන්ම පැහැදිලි වන්නේ දරිද්‍රතාවය මධ්‍යම පාන්තිඅ ජන සමාජ කොටස්වලට එල්ල කර ඇති ආර්ථික පීඩනය ය. මේ සම්බන්ධයෙන් වන තවත් උදාහරණයක් වන්නේ හෝටල්වල ඉතිරිවන ආහාර මිලදී ගැනිමේ කණ්ඩායම ගැන ය.

ඌරන්, බල්ලන් වෙනුවෙන් හෝටල්වල ඉතිරිවන ආහාර රැගෙන යන කණ්ඩායමක් සිටිති. දැන් ඔවුන් ද අර්බුදයකට පත්ව ඇත්තේ අහක දමන තරමට ආහාර ඉතිරි නොවන බවට හෝටල්වලින් දැනුම් දීම නිසා ය. ඔවුන් කියා ඇත්තේ ආහාර ගැනීම පැමිණෙන පුද්ගලයන් පාන් භාගයක් ගත හොත් එහි වාටිය පවා ආහාරයට ගන්නා බවට ය. එම නිසා ආහාර ඉතිරි නොවන බව ඔවුන් කියා තිබේ.

රටේ ආර්ථිකය දිනෙන් දිනම කඩා වැටිමේ ආනිශංස වනුයේ මන්දපෝෂිත කණ්ඩායම් ප්‍රමාණය ඉහළයාම ය. ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් අදටත් වැඩපිළිවෙලක් ඇති බවක් පෙනේනට ද නැත.එසේ තිබිණි නම් ඔවුන් අප රටේ කෘෂි නිෂ්පාදන අති විශාල ප්‍රමාණයක් නැති නාස්ති වී යන පසුබිමක ණයට ගත් විදෙස් මුදල් වලින් නැව් නො එන වරාය වල් ගුවන් යානා නැති ගුවන් තොටු පළවල්,පාළුවට යන ජාත්‍යන්තර ක්‍රීඩාංගන,සම්මන්ත්‍රණ ශාලා තනා මෙවැනි සාගත සමයක් නිර්මාණය කරන්නේ නැත.එමෙන්ම මේ රටේ අන්ත දුකට පත් ජනතාවගේ කුස ගිනි නෙළුම් කුළුණ දෙස බැලීමෙන් දුරු නොවන බව තමන්ට මිස ජනතාවට ප්‍රතිලාභ අත් නොවන නිසරු ව්‍යපෘති දියත් කළ පාලකයන් දැන් වත් තේරුම් ගත යුතු ය.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර