“නොතිර වුව මිනිස් ලොව, නොනිවෙයි නැණසිළුව !” 「人の世は儚いが、知の火は消えず。」 (Hito no yo wa hakanai ga, chi no hi wa kiezu).

මෑත යුගයේ මෙරට විසූ අග්‍රගන්‍ය පඬි රුවනක් වූ මහාචාර්ය ආරිය රාජකරුණා සූරීහු ඉකුත් 05 වන දා අභාවප්‍රාප්ත වූහ. දශක හතකට ආසන්න කාලයක් සාහිත්‍ය විචාරයෙහි සහ සාහිත්‍ය පරිවර්තන කාර්යයෙහි නොකඩවා නියැලී විශිෂ්ටයෙකු වූ එතුමෝ ජපන් සාහිත්‍ය කෘතීන් සිංහල භාෂාවට පරිවර්තනය කරමින් මෙරට පාඨකයන්ට ජපන් සාහිත්‍ය නිර්මාණ හඳුන්වා දීමට වූහ.පුරෝගාමී වූහ . ජපන් සිනමා කෘතීන් ශ්‍රී ලාංකිකයනට හඳුන්වා දීමට ද මූලික වූ ලේඛකයින් අතරේ මහාචාර්‍ය ආරිය රාජකරුණා ඉදිරියෙන් ම වැජඹුණි. විශ්‍රාම ගන්නා තෙක්ම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්‍ය වරයෙකු ලෙස කටයුතු කළ එතුමෝ ඊයේ අභාවප්‍රාප්ත වන විට අනූ දෙවැනි වියේ පසු වූහ. පේරාදෙණි විශ්ව විද්‍යාලයීය සිංහල අධ්‍යයනාංශයේ සිංහල සංගමය විසින් එතුමන් ගේ අභාවය මුල් කොට තබන ලද සටහනකි මේ;

1959 දී තරුණ ආචාර්යවරයෙකු ලෙස පේරාදෙණි විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ සේවයට එක් වූ ආරිය රාජකරුණා සූරීන්, සිය පශ්චාත් උපාධි අධ්‍යයන සඳහා “නාට්‍ය” ක්ෂේත්‍රය තෝරා ගනිමින් ජපානයට ගිය අතර පෙරදිග සම්භාව්‍ය නාට්‍ය කලාව පිළිබඳ ව ගවේෂණයේ යෙදුණු හෙතෙම, 1965 දී ජපානයේ වසේඩා (Waseda) විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධිය හිමි කොට ගත්තේ ය.

පේරාදෙණි විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මුල් ම යුගය නියෝජනය කළ විද්වතෙකු වූ මහාචාර්ය ආරිය රාජකරුණා මහතා නූතන සිංහල ගද්‍ය සාහිත්‍යය, නූතන සිංහල පද්‍ය සාහිත්‍යය සහ සිංහල නවකතාවේ ප්‍රභවය සහ විකාශනය පිළිබඳ ව ගවේෂණය කළ, ඒ පිළිබඳ ව විශේෂඥ ඥානයකින් හෙබි සුළවතෙකි. එතුමන් පේරාදෙණි විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයෙහි අංශාධිපතිවරයෙකු ලෙස ද කටයුතු කර ඇත.

මහාචාර්ය රාජකරුණා ශාස්ත්‍රීය ලෝකයෙහි වඩාත් ප්‍රකට වන්නේ ජපන් භාෂාවෙහි සහ ජපන් සාහිත්‍යයෙහි ප්‍රවීණයෙකු ලෙස යි. ජපන් නාට්‍ය, නවකතා, කවි, කෙටිකතා රැසක් සිංහල භාෂාවට පරිවර්තනය කිරීම ඔස්සේ ජපන් සාහිත්‍යය විශ්වවිද්‍යාල අධ්‍යයන ප්‍රජාවට මෙන් ම සිංහල පාඨකයාට ද සමීප කිරීමට මහාචාර්ය ආරිය රාජකරුණා පුරෝගාමී වූ විද්වතෙකි. ජපන් නාට්‍ය කලාව පිළිබඳ ව එතුමා සතු ව මනා පරිචයක් පැවතිණි. ජපන් චිත්‍රපට සහ තිර නාටක පවා මහාචාර්ය රාජකරුණා අතින් සිංහලයට පරිවර්තනය වී ඇත. ජපන් බසින් ඉංග්‍රීසි බසට පවා එතුමන් අතින් පරිවර්තන සිදු ව ඇත.
සිංහල සාහිත්‍යය වෙත එතුමන් අතින් දායාද වූ කෘති රැසකි.

සාහිත්‍ය විචාර

සිංහල කාව්‍ය සංග්‍රහය
නූතන සිංහල කාව්‍යය 01
නූතන සිංහල කාව්‍යය 02
සම්ප්‍රදාය හා සිහින ලෝකය
සාහිත්‍ය රුචිය සහ නවකථා විචාරය
සිංහල නවකථාවේ ආරම්භය
19 වන සියවසේ සිංහල ගද්‍ය සාහිත්‍යය
විචාරාත්මක සිංහල සාහිත්‍ය ලිපි
විවාදාත්මක පුවත්පත් ලිපි

පරිවර්තන

ජපන් නාට්‍ය තුනක්
සම්භාව්‍ය ජපන් නාට්‍ය සංග්‍රහය
කවබත යසුනරිගේ කෙටිකතා
ශ්‍රේෂ්ඨ ජපන් චිත්‍රපට කථා
අසලියා මල්
රෂෝමොන්
විවාහය
අපායේ දොරටුව
ඉෂ්ටාර්ථසිද්ධිය
ගැහැනියකගේ චරිතාපදානය
හොල්මන් කතා වස්තුවක්
අපූරු ඉරිදා දවසක්

ස්වාභාවික හා විකාරරූපී ජපන් නාට්‍ය එකතුව
ජපන් හයිකු කාව්‍යය
Ozu Yasujiro: Early Summer
Kinugasa Teinosuke’s A Crazy Page and Crossroads
ළමා සාහිත්‍යය (පරිවර්තන)
උරෂිමතරෝ
කෙකින්නකගේ කතන්දරය

සාහිත්‍ය අවකාශයට මෙවන් සේවයක් කර අප අතරින් නික්ම ගිය මහාචාර්ය ආරිය රාජකරුණා ඇදුරුතුමන්ට නිවන් සුව ලැබේවා !

“නොතිර වුව මිනිස් ලොව,
නොනිවෙයි නැණසිළුව !”

~ සිංහල අධ්‍යයනාංශය – සිංහල සංගමය, පේරාදෙණි විශ්වවිද්‍යාලය | 2025.04.06

පහන් ටැඹ