ජනාධිපතිවරයාට “ගෙදර යන” හෙවත් තනතුරින් ඉල්ලා අස්වන ලෙස බල කරමින් ආරම්භ කර ඇති උද්ඝෝෂණ මාලාව රට පුරා පැතිර යමින් තිබේ. ජනාධිපතිවරයාගේ නිවස අසලට ගිය පිරිස් මේ වන විට අගමැති වරයාගේ සේම ඇමතිවරුන්ගේ නිවෙස් කරා ද ගමන් කරමින් සිටිති. රට පුරා ජනතාව පක්ෂ පාට, ආගම්, ජාති බේදයකින් තොරව පාරට පැමිණ සිටියි.
උතුරේත් දකුණේත් තරුණ පිරිස් මෙයට නායකත්වය ගෙන ඇති අතර එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීමට දරදිය ඇද්ද තරුණ පිරිස් මෙයට එක්ව සිටීම සුවිශේශී කාරණයකි. එමෙන්ම ඔහු ජනාධිපති වූ පසු තාප්ප චිත්‍ර රැල්ලේ තරුණ තරුණියෝ ද මෙහි ඉදිරියෙන්ම සිටිති.
මොවුන්ගේ මූලික අරමුණ ජනාධිපතිවරයා ඇතුළු ඇමති මණ්ඩලය ගෙදර යා යුතු ය කියන කාරණය යි. නමුත් ජනාධිපති හා අගමැති ගෙදර ගිය පසු කුමක් කරන්නේ ද? යන මතයේ ඔවුන් නැත. මේ කාරණය විමසද්දී බොහෝ දෙනෙකු සමාජ මාධ්‍යයේ පළ කරන මතය වන්නේ පළමුව කළ යුතු දේ කළ පසු දෙවෙනි කාරණා ඉබේම විසඳෙනු ඇත කියා ය.මෙ මඟින් වත්මන් රජය සේම වත්මන් දේශපාලන ක්‍රමය සහ සංස්කෘතිය පිළිබඳව ඔවුන් තුළ ගොඩ නැඟී ඇති දැඩි වෛරය හා පිළිකුල ප්‍රකාශ වන බව අතිශය පැහැදිලි ය.
ජනාධිපති, අගමැති ඉල්ලා අස්වී ගිය පසු වෙනත් බලය ලබා ගන්නේ කවුරුන්ද? බලයට පත් කරන්නේ කවුරුන් ද? යන්න ඒ අවස්ථාවේදී තීරණය කරන බව මේ අයගේ මතය වේ. එය අවිනිශ්චිත අදහසකි. එසේම මෙලෙස නායකයන් බලයෙන් පහ කිරීමේ රැල්ලක් ඇතිවීම රටක් ලෙස ඉදිරියට යාමට අහිතකර තත්ත්වයක් ඇති කරන්නකි.ඊළගට බලයට පත්වන කණ්ඩායමට වුව ද මෙලෙස ඔවුන්ගේ කාලය නිමවීමට පෙර යන්නට කියා ජනතාව පාරට බැස්සොත් රට එක තැන නතර වෙනවා හැර වෙන දෙයක් නැත. වත්මන් ආණ්ඩුව රටේ ජනතාව දැඩි පීඩාවකට පත් කර ඇති බව සැබෑවකි. එම නිසා ඔවුහු දැඩි ආවේගයකින් සිටිති.ඒ අතරේ තවත් පිරිසක් ඉන් උපරිම ප්‍රයෝජන ගනිමින් සිටින බව පෙනෙන්නට ඇති කාරණයකි.
සමගි ජන බලවේගය මෙලෙස බොරදියේ මාළු බෑමට උත්සාහ ගන්නා තවත් කණ්ඩායමකැයි මතයක් තිබේ.. එසේම පෙරටුගාමි සමාජවාදී පක්ෂය තරුණ කණ්ඩායම් සංවිධානය කරමින් ඉදිරියට එවන බවක් ද කියති.පාර්ලිමේන්තුවේ 225 එපා කියන්නේ මේ කණ්ඩායම ය. ඔවුන් ඉන් කියා සිටිනුයේ මෙරට විධායකය සේම ව්‍යවස්ථාදායකය ද අනවශ්‍ය බවකි.
එමෙන්ම මෙම සටන් පාඨය නිර්මාණය වූයේ පෙරටුගාමින් අතින් බව මේ ලියුම් කරුගේ ද මතයයි.තරුණ පිරිස් පාරට බැස ඇත්තේ සැබෑ අවංක අදහසිනි. ඔවුනට අවශ්‍යව ඇත්තේ මේ රට දේශපාලනික වශයෙන් පිරිපහදු කිරීමට ය. ඒ වෙනුවෙන් අලුත් දේශපාලන ක්‍රමයක් සංස්කෘතියක් සකස් වී තරුණ කණ්ඩායමක් බලයට පැමිණිය යුතු බව මේ අයගේ අදහසයි.එය ඉතා යහපත් සංකල්පයකි. එසේ නම් ඔවුන් පවතින අසංවිධානාත්මක ගමන සංවිධානාත්මක ව්‍යුහයක් බවට පත් කර ගත යුතු ය.
දැනට මීළඟ නායකත්වයට ඉව අල්ලන වැඩවසම්වාදී දේශපාලන රූකඩ ඉවත් කොට ජනතාව අතරින් මතු වන සැබෑ තරුණ නායකයන් පිරිසක් පෙරට ආ යුතු ය. ඔවුන් වටා බාල මහළු තරුණ සියලු කණ්ඩායම් එකතු විය යුතු ය. ඉන් නොනැවතී වසර 20 ක්වත් එක දිගට යන පොදු ජාතික ප්‍රතිපත්තියකට ද යා යුතුම ය. එසේ නොමැතිව රට පුරා කණ්ඩායම් කණ්ඩායම් ලෙස යන මේ ගමන තවදුරටත් අසංවිධානාත්මක තත්වයයක් යටතේ පැවතියහොත් ඉන් ඉතා අහිතකර තත්ත්වයක් ඉස්මතු වනු ඇත.
රාජපක්ෂවරුන් ද බලය අතහැරීමේ සුදානමක් තිබෙන බවක් ඔවුන්ගේ හැසිරීමෙන් පෙනෙන්නේ නැත.රාජපක්ෂ පවුල් වෘක්ෂය තව බොහෝ කලක් ජාතියේ සරු බිම මත වැඩිය යුතුයැයි ඔව්හු සිතති.එහෙත්, එසේ දැවැන්ත පවුල් ගසක් වැඩීමෙන් ජාතියේ සරු පස නිසරු වන බව ඔවුහු නොසිතති.ඊයේ පාර්ලිමේන්තුවේ දී මෙම කරුණ සෘජුවම කී කුමාර වෙල්ගම මන්ත්‍රී වරයා එම තත්වයට මහින්ද රාජපක්ෂ මහතා වග කිව යුතු බව කීයේ”මහින්ද මහත්තයෝ තරහා වෙන්න එපා”යනුවෙන් ද කියමිනි.
ඇමතිවරුන් ඉල්ලා අස්වීම, අන්තර්කාලීන ආණ්ඩු ආදියෙන් පැහැදිලි වන්නේ ජනතාවට බොන්නට දෙන වතුර මාරු කරනු වෙනුවට වතුර බොන කෝප්ප හෝ වීදුරු මාරු කොට මැජික් පෙන්වීමට සැරසෙන බවකි.නමුත් නූතන පරපුර අද රාජපක්ෂ පවුලට වඩා මනැසින් දියුණු ය.කොටින්ම නූතන තරුණ පරපුරේ මානසිකත්වය යල් පැන ගිය සාටක කරෙන් ඉවත් කර ගැනීමට තරම් වත් මොළයක් නැති රාජපක්ෂ වරුන් ගේ දරුවන්ගේ මානසිකත්වයන්ට වඩා බොහෝ ඉදිරියෙන් සිටියි.නමුදු හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ ඊයේ මුල් වරට තම පරම්පරා සාටකය නොමැතිව පාර්ලිමේන්තුවේ හිඳිනු දක්නා ලදි.
මා පියන් තම කුඩා දරුවන්ට සෙල්ලම් බඩු අරන් දෙන්නාක් මෙන් තම දරුවන්ට නොගැලපෙන නතතුරු, ව්‍යාජ සුදුසුකම්, උපාධි පට්ටම් අරන් දීමෙන් ඒ යථාර්ථය වැසීමට රාජපක්ෂ වරුන්ට නොහැක.ඉන් සිදු වන්නේ නූතන පරපුර ඉදිරියේ රාජපක්ෂ වරුන් ඔවුන්ගේ දරුවන් තවත් හෑල්ලුවට ලක් වීම පමණි.මෙවන් නොමනා කටයුතු නිසා විරෝධතාකරුවන්ට වත්මන් රජයේ ඇමතිවරුන්ගේ නිවෙස් වට කොට පහර දෙන තැනට අද පැමිණ තිබේ.
ගාමිණි ලොකුගේ හිටපු අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිටට ගොස් ජනතාව උද්ඝෝෂණය කළ අතර එහි ගින්නක් ද හට ගෙන තිබේ.රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසට පහර දී වාහන ඇතුළු දේපල රාශියකට අලාභ හානි කර ඇත.හිටපු අමාත්‍ය කාංචන විජේසේකරගේ නිවසට ද ප්‍රහාරයක් එල්ල වී තිබේ.මෙය වර්ධනය නොවිය යුතු රැල්ලකි. ජනතා විරෝධය හමුවේ ඇතැම් පිරිස් තම පටු දේශපාලන අභිමථාර්ථ සේම පෞද්ගලික තරහා මරහා පිරිමසා ගන්නා තත්ත්වයක් ද දක්නට ලැබේ. තංගල්ල කාල්ටන් නිවස අසට ගිය පිරිසට මෙන්ම නුවර කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාගේ නිවස ඉදිරිපිටට ගිය පිරිස් කදුළු ගෑස් එල්ල කොට විසුරුවා හැර තිබුණි.
මෙම සැබෑ ජනතා ආවේගය තවත් පිරිස් විසින් “හයි ජැක්” කරන බවක් මේ වන විට පැහැදිලිව දර්ශනය වෙයි.මේ අතර තවත් පිරිස් තරුණයන්ට කියනුයේ සැබෑ දේශපාලන අරගල කරුවන් තමන් බැවින් සැබෑ දේශපාලන අරගලයක් කිරීමට අවශ්‍ය නම් තම නායකත්වය පිළිගන්නා ලෙස ය.එමෙන්ම නූතන තරුණ පරපුර දේශපාලනමය අරගල පිළිබඳව නිසි හැදෑරීමක් කොට නොමැති බව ද ඔව්හු කියති.එහෙත්, ඊට පිළිතුරු දෙන නූතන තරණ පරපුරේ පොදු ප්‍රකාශනය වනුයේ එම පැරණි අරගල කරුවන්ගේ අරගල ඉතිහාසය දෙස බලන විට ඔවුන්ගේ මඟ ගැනීමේ අවදානමක් ද තමන්ට පෙනෙන බවකි.
එමෙන්ම, ඒ ඇතැම් කොටස් තුළ නූතන ගෝලීයකරණය මත පදනම් වන නව සමාජ ප්‍රවණතා පිළිබඳ වැටහීමක් නොමැති බව පෙනී යන බවට නූතන තරුණ පෙළ ගෙන එන තර්කය ද ඉඳුරාම බැහැර කිරීමට අපට නොපුළුවන මෙවන් සියළු තත්වයන් යටතේ මේ අවස්ථාවේ මැතිවරණයකට යාමට අවශ්‍ය ආර්ථික පසුබිමක් රට තුළ නැත.
මැතිවරණයක් වෙනුවෙන් කෝටි ගණනක මුදලක් වැයවීම සාමාන්‍ය තත්ත්වයකි. උද්ධමනය ආදී කරුණු කාරණා හේතු කොට ගෙන මේ වන විට රුපියල් කෝටි 300 ක් පමණ මැතිවරණයක් වෙනුවෙන් වැය කිරීමට සිදුව තිබේ. එය කිසිසේත්ම මේ අවස්ථාවේ රටට දරා ගත නොහැකි තත්ත්වයකි.මේ අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වුවහොත් ඩොලරයේ අගය රුපියල් 750 දක්වා ඉහළ යනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර කියා තිබුණි. එසේ නම් මේ තත්ත්වය සුළුවෙන් තැකිය හැකි තත්ත්වයක් නොවේ. එහෙත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනුයේ මැතිවරණයක් පැවැත්විය යුතු බවකි.
පවතින ජනතා විරෝධය හමුවේ තමන්ගේ වාසි ලබා ගැනීමට විදෙස් රටවල් පවා උත්සාහයක නිතරව සිටින බවට කට කතා පැතිරේ. එලෙස ජාත්‍යන්තරය පවා රහසිගතව මේවාට සම්බන්ධ වන්නේ නම් එය ඉතා භයානක ය.මේ අතර විරෝධතා සැබෑ මාර්ගයෙන් ඉවතට ඇදගෙන යාමේ උපාය මාර්ග ක්‍රියාත්මක වන බව පෙනෙන්නට තිබේ.
එය රට ආරාජිකත්වයට ඇද දැමිමේ බාහිර බලවේගවල උවමනාවක් විය හැකි ය.එනිසා මෙම විරෝධතාකරුවන්ගෙන් අප ඉල්ලා සිටින්නේ මෙම ජන අරගලය ඉදිරි දැක්මක් සහිත සංවිධානාත්මක ව්‍යුහයක් තුළට පිවිසුවන ලෙස ය.එය පැරණි ජන පිරුළකට අනුව කිවහොත් කතරගම යා හැක්කේ දැන ගියොත් පමණි.නොදැන ගියොත් නතර වීමට සිදු වන්නේ අතරමඟය.
ලසන්ත වීරකුලසූරිය