නොබෙදෙන රටක් ගොඩනැඟීමේ වගකීම අපට තිබෙනවා – ජාජබ නායක අනුර කුමාර දිසානායක

නොබෙදෙන රටක් ගොඩනැඟීමේ වගකීම ජාතික ජන බලවේගයට තිබෙන බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ ජාතික ජන බලවේගයේ වවුනියා දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“මෙතෙක් අනෙක් පක්ෂවලට ඡන්දය දුන් විශාල පිරිසක් අපත් සමඟ එකතු වීම නිසයි ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන්නෙ. මීට පෙර විශාල ලෙස දේශපාලනය ගැන උනන්දුවක් නොදැක්වූ සහ වෙනත් පක්ෂවලට ඡන්දය දුන් අය අප වටා එක්වී සිටින්නේ ඇයි?

දැන් ගම් දනව් දක්වා මත්ද්‍රව්‍ය පැතිරී තිබෙනවා. එයින් දරුවන් මුදාගෙන මව්පියන්ට බයක්, සැකක් නැතිව දරුවන්ට අනාගතයක් නිර්මාණය කිරීමේ වගකීම අපි භාර ගන්නවා. මේ රටේ සෑම පවුලකටම නොතෙමී, හොඳ වාතාශ්‍රයක් සහිතව නිවාසයක් දීමේ වගකීම අපේ ආණ්ඩුවක් භාර ගන්නවා.

අපි මේ රට ගොඩනඟන බවට සහතිකයක් දෙනවා. රට ගොඩනඟන තෙක් අවශ්‍ය ජනතාවට සහනාධාර දෙනවා. අපේ ආණ්ඩුවක පළමු වැනි වගකීම ආහාර, සෞඛ්‍ය, අධ්‍යාපනය මූලික වගකීමක් ලෙස ගැනීමයි. මේ රට හිඟා කන්න ඕනෙ රටක් නොවෙයි. ස්වාභාවික සම්පත් සියල්ලෙන්ම අනූන රත්නදීපයක් මේක. හැම දෙනාම එකතුවී සැමට ජීවත්විය හැකි රටක් ගොඩ නඟමු. අපට තිබෙන ප්‍රධාන අරමුණ නැවත ගැටුම් ඇති නොවන සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර සමඟිය ගොඩ නඟන රටක් නිර්මාණය කිරීමයි. අපේ පරම්පරාව යුද්ධ කළත් අපේ දරුවන්ට යුද්ධ කරන්න ඉඩ දෙන්න බෑ.”

කාලීන පුවත්