පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් හිරෙන් නිදහස් වෙයි ද?

vinivida

ඉම්රාන් ඛාන් මුලින්ම ලෝක ප‍්‍රසිද්ධියට පත් වූයේ අති දක්‍ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ය. එයින් පසු ඔහු දේශපාලනඥයකු ලෙස ද විශාල අවධානයක් දිනා ගත් අතර පසුව පකිස්තානයේ අගමැති පදවියට ද පත් වූයේය. මේ ආකාරයෙන් ක්‍ෂේත‍්‍ර කිහිපයක ඉහළටම ගිය ඔහු මේ වනවිට නම් සිටින්නේ සිර ගෙදරක යි. දැන් වසරකට වැඩි කාලයක සිට ඉම්රාන් බන්ධනාගාරගත කර සිටින අතර ඔහු රඳවා සිටින්නේ පකිස්තානයේ රාවල්පිණ්ඩි හි පිහිටි අදියාලා බන්ධනාගාරයේ යි.

2018 වසරේ සිට 2022 දක්වා පකිස්තානයේ අගමැති ධුරය දැරූ ඉම්රාන් තවමත් එරට ජනතාව අතර අතිශයින් ජනප්‍රිය නායකයෙකි. ඔහු බලයෙන් පහ කෙරුණේ මැතිවරණයක් හරහා නොව ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවක් හරහා ය. එහි දී පෙරමුණ ගත්තේ එරට ප‍්‍රසිද්ධ දේශපාලන පක්‍ෂයක් වන පකිස්තාන මුස්ලිම් ලීගය (නවාස් පිල) ඇතුළු විරුද්ධ පක්‍ෂ කිහිපයකි. එරට හමුදාව ද විශ්වාසභංගය පිටුපස සිටි බවට අදහස් පළ විය. පකිස්තාන හමුදාව කවදත් එ් රටේ දේශපාලන ක්‍ෂේත‍්‍රයට දැඩි බලපෑමක් කරන පාර්ශ්වයක් බව රහසක් නොවේ.

ඉම්රාන් අගමැති ධුරයෙන් පහ කෙරුණු කාලය වනවිට ඔහු හමුදා නායකත්වය සමග ද ගැටුම් ඇති කරගෙන සිටියේ ය. එමෙන්ම ඔහු ගේ ජනපි‍්‍රයත්වය විරුද්ධ පක්‍ෂවලට ද විශාල තර්ජනයක් බවට පත්ව තිබිණි.

විශ්වාසභංග යෝජනාව හරහා ඉම්රාන් බලයෙන් පහ කිරීමෙන් පසු රටේ බලයට පත් වූයේ එම විශ්වාසභංගය ගෙන ආ පක්‍ෂ යි. පසුගිය පෙබරවාරි මාසයේ පකිස්තානයේ මහා මැතිවරණයක් පැවැත්වුණු අතර ඒ වනවිටත් සිරගත කර සිටි ඉම්රාන්ට ඒ සඳහා තරග කිරීමට ඉඩ ලැබුණේ නැත.

විරෝධතාකරුවෝ

අගමැති ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු ඉම්රාන්ට විරුද්ධව විවිධ චෝදනා එල්ල කෙරුණු අතර ඒ යටතේ අත්අඩංගුවට ගෙන, නඩු විභාගවලින් පසු බන්ධනාගාරගත කරනු ලැබිණි. වංචා දූෂණ චෝදනා ද ඔහු වෙත එල්ල කරන ලදී. නමුත් ඉම්රාන් ද, ඔහුගේ පක්‍ෂය වන පකිස්තාන තෙහ්රික්-ඉ-ඉන්සාෆ් පක්‍ෂය ද පැවසුවේ මේවා දේශපාලන අරමුණු මත එල්ල කරන ලද චෝදනා බවයි. ඉම්රාන් දේශපාලන බිමෙන් අතු ගා දැමීම විරුද්ධවාදීන්ගේ අපේක්‍ෂාව බවට ද ඔවුහු චෝදනා කළහ.

මෙම පසුබිම තුළ සිය නායකයා නිදහස් කර ගැනීම සඳහා පසුගිය කාලය පුරාම ඉම්රාන්ගේ ආධාරකරුවෝ දැවැන්ත විරෝධතා ව්‍යාපාරවල නිරත වූහ. ඔහුගේ බිරිඳ වන බුෂ්රා බිබි ද මෙහි දී පෙරමුණ ගෙන කටයුතු කළාය. නමුත් ඔවුන් ගත් උත්සාහයන් සාර්ථක වන පාටක් දක්නට නොලැබිණි.

නමුත් මේ වනවිට තරමක් වෙනස් තත්වයක් ගැන වාර්තා වෙමින් ඇති අතර ඒ අනුව පෙනෙන්නේ වැඩි කල් නොගොස් ඉම්රාන් නිදහස් කිරීමට ඉඩ ඇති බව යි.

ඉම්රාන්

පසුගිය කාලය තුළ පකිස්තානයේ ආණ්ඩුවට සම්බන්ධ පක්‍ෂ සහ ඉම්රාන් පාර්ශවය අතර පැවතියේ දැඩි ආතතියක් සහ ගැටුම්කාරී තත්වයකි. ඉම්රාන් ගේ ආධාරකරුවන් නිතර රට පුරා විරෝධතා පැවැත්වූ අතර ආණ්ඩුව එම විරෝධතා මර්ධනය කිරීමටත්, විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීමටත් කටයුතු කළේය. මෙම ගැටුම්කාරී තත්වය නිසා රටේ දේශපාලන ක්‍ෂේත‍්‍රය තුළ යම් අස්ථාවර බවක් වර්ධනය වී තිබිණි. මෙය එරට ආර්ථික ස්ථාවරත්වයට ද බලපෑමක් එල්ල කළ අතර ඒ ගැන බොහෝ පාර්ශව වෙතින් අප‍්‍රසාදය පළවන්නට විය. පකිස්තානයේ ආර්ථිකය මේ වනවිට තිබෙන්නේ යහපත් තත්වයක නොවේ.

කෙසේ නමුත් මේ වනවිට ඉහත කී ආතතිමය තත්වය තරමක් සමනය වෙමින් ඇති ආකාරයක් දැකිය හැකි වේ. පකිස්තාන ආණ්ඩුව සහ ඉම්රාන්ගේ පක්‍ෂය අතර සාකච්ඡා මාලාවක් ආරම්භ වී ඇති බව පසුගිය දිනවල එරට මාධ්‍ය වාර්තා කළේය. මෙහි පළමු සාකච්ඡා වටය පැවැත්වී තිබුණේ 23 වැනි සඳුදායි. එම සාකච්ඡුා සඳහා සහභාගි වූ පකිස්තානයේ අභ්‍යන්තර කටයුතු පිලිබඳ ඇමැති මෝසීන් නක්වි ඉම්රාන්ගේ පක්‍ෂයේ නායක අලි අමීන් ගන්ධපූර් වැළඳ ගනිමින් පිලිගන්නා අන්දම දැක්වෙන ඡායාරූප ද මාධ්‍ය තුළ පළ වී තිබිණි. මෙම සාකච්ඡාවල දී දෙපාර්ශ්වයට බලපාන කාරණා කිහිපයක් ගැන සාකච්ඡා කිරීමට නියමිත බවත්, ඉම්රාන් නිදහස් කිරීම පිලිබඳ කාරණය ද ඊට ඇතුළත් බවත් මාධ්‍ය සඳහන් කර තිබිණි.

අදියාලා බන්ධනාගාරය

පළමු දින සාකච්ඡාවේ දී සිදුව තිබුණේ දෙපාර්ශ්වය අතර සුහදතාව වර්ධනය කර ගැනීමක් පමණක් බව සඳහන් වේ. දෙවැනි සාකච්ඡා වටය ජනවාරි 2 වැනි දින පැවැත්වෙනු ඇති බවත් එහි දී ඉහත කී කාරණා පිලිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡුා කරනු ඇති බවත් අනාවරණය වේ.

පසුගිය කාලයේ ආණ්ඩුවට දැඩි හිසරදයක් වී සිටි ඉම්රාන් පිලිබඳව යම් බුරුලක් දැක්වීමට ආණ්ඩුවේ පාර්ශ්වලට සිදුව ඇත්තේ ජාත්‍යන්තරයෙන් එල්ල වන බලපෑම් නිසා බවට අදහස් පළ වේ. ඉම්රාන් නිදහස් කිරීමට පියවර ගන්නා මෙන් ලෝකයේ විවිධ පාර්ශ්වවලින් පකිස්තාන බලධාරීන් වෙත ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබිණි. ජාත්‍යන්තර මානව හිමිකම් ආයතන ද ඒ අතර වේ. එමෙන්ම ඇමරිකාවේ ජනාධිපති ලෙස තේරී පත්ව සිටින ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට සමීප පාර්ශ්වයක් ද, බ්‍රිතාන්‍යෙය් ප‍්‍රධාන පෙලේ දේශපාලන නායකයන් කිහිප දෙනෙක් ද මෙම ඉල්ලීම කර තිබිණි. ලබන ජනවාරි මාසයේ ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජනාධිපති ධුරයේ දිව්රුම් දීමෙන් පසු ඔහු ද ඉම්රාන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීමට ඉඩ ඇති බවට පසුගිය දිනවල අදහස් පළ වී තිබෙනු දැකිය හැකි විය.

ඉම්රාන් අගමැති ධුරය දැරූ මුල් වසර කිහිපයේ ඇමරිකාවේ ජනාධිපති ධුරය දැරුවේ ට‍්‍රම්ප් ය. ඒ කාලයේ ඔවුන් අතර යම් සමීප සම්බන්ධයක් ගොඩ නැගී තිබිණි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර