පකිස්තාන මැතිවරණයෙන් ‘ඉම්රාන් ඛාන් ගේ කණ්ඩායම’ ඉදිරියෙන්

පසුගිය 8 වැනි දින පැවැත්වුණු පකිස්තාන මැතිවරණයේ අවසන් ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී ඇති අතර වැඩිම ආසන සංඛ්‍යාවක් හිමි කරගෙන සිටින්නේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ තෙහ්රීක්-ඉ-ඉන්සාෆ් පක්‍ෂයට සම්බන්ධ අපේක්‍ෂකයන් ය. ඔවුන් මෙම ජයග්‍රහණය හිමි කරගෙන සිටින්නේ පක්‍ෂයට එරෙහිව දැඩි මර්ධනයක් ක්‍රියාත්මක වෙමින් තිබූ බව පැවසුණු පසුබිමක ය. ඡන්ද විමසීම් පැවැත්වුණු ආසන 266 න් ආසන 97 ක් දිනා ගැනීමට එම අපේක්‍ෂකයෝ සමත්ව සිටිති.

මෙම අපේක්‍ෂකයන්ට පක්‍ෂයේ නම යටතේ මැතිවරණයට තරග කිරීමට පවා අවස්ථාවක් නොලැබිණි. ඔවුන් තරග කළේ ස්වාධීන අපේක්‍ෂකයන් වශයෙනි. මැතිවරණය ආසන්න කාලයේ ඔවුන්ගේ මැතිවරණ ලකුණ (ක්‍රිකට් පිත්ත) ඔවුන්ට අහිමි විය. ඒ එරට මැතිවරණ කොමිසමේ තීන්දුවක් නිසා ය. මේ නිසා එම පක්‍ෂයේ අපේක්‍ෂකයන්ට පක්‍ෂය යටතේ තරග කිරීමට හැකියාවක් නොවීය. මෙම තීන්දුව ද පක්‍ෂයට එරෙහිව ක්‍රියාත්මක වූ මර්ධනයේම කොටසක් බව ඉම්රාන් චෝදනා කර තිබිණි.

මැතිවරණයෙන් දෙවැනි තැන හිමි කරගෙන සිටින්නේ පකිස්තාන මුස්ලිම් ලීගය (නවාස් පිල) යි. එහි නායකයා හිටපු අගමැති නවාස් ෂරීෆ් ය. ඔවුන්ගේ පක්‍ෂ ආසන 76 ක් දිනාගෙන සිටියි. තුන්වැනි තැන දිනා සිටින පකිස්තාන ජනතා පක්‍ෂයට ආසන 54 ක් හිමිව තිබේ. මෙය හිටපු අගමැතිනි බෙනසීර් භූතෝ අයත් වූ පක්‍ෂය යි. දැන් එහි නායකත්වය දරන්නේ බෙනසීර්ගේ සැමියා අසිෆ් අලි සර්දාරි සහ පුත්‍රයා බිලාවල් භූතෝ සර්දාරි ය.

මෙවර ඉම්රාන් බලයට පැමිණීම වැලැක්වීමට දැඩි උත්සාහයක් පැවැති බවට දිගින් දිගටම චෝදනා එල්ල විය. එයට හේතුව ලෙස දැක්වුණේ ඔහු සහ හමුදාව අතර පැවැති ගැටුම යි. පකිස්තානයේ හමුදාව යනු එරට දේශපාලනය මත දැඩි ආධිපත්‍යයක් දරණ ආයතනයකි. එහි ආශීර්වාදය නොලබන්නකුට බලයේ සිටිය නොහැකි බවට ද පිලිගැනීමක් තිබේ. 2018 වසරේ ඉම්රාන් පළමු වරට අගමැති ධුරයට පත් වෙද්දී ඔහුට හමුදාවේ ආශිර්වාදය ලැබුණු බවක් පැවසිණි. නමුත් ටික කලෙකින් ඔවුන් අතර ගැටුම් ඇති වන්නට පටන් ගත්තේය. 2022 වසරේ ඉම්රාන් විශ්වාසභංග යෝජනාවක් හරහා බලයෙන් පහ කෙරුණේ එම පසුබිම තුළ ය. එම අවස්ථාවේ ඉම්රාන් පැවසුවේ ඇමරිකාව පකිස්තාන හමුදාව සහ තම විරුද්ධවාදීන් යොදා ගනිමින් තමාට එරෙහිව කුමන්ත්‍රණයක් දියත් කර ඇති බවයි. තමා චීනය සහ රුසියාව සමග සබඳතා තර කර ගැනීම මෙයට හේතුවක් බව ද ඔහු කීවේය. කෙසේ නමුත් ඉම්රාන්ගේ ප්‍රකාශ හමුදාව ප්‍රතික්‍ෂේප කළේය.

ඉම්රාන් බලයෙන් පහ කිරීමෙන් පසු ඔහුට එරෙහිව විවිධ චෝදනා යටතේ නඩු පැවරෙන්නට පටන් ගත් අතර අවසානයේ බන්ධනාගාර ගත කෙරිණි. මෙවර ඔහුට මැතිවරණයට තරග කිරීමට ද හැකියාවක් තිබුණේ නැත. ඔහුගේ කණ්ඩායම මැතිවරණයෙන් ජයගෙන ඇත්තේ මෙවැනි දැඩි අවාසි සහගත පසුබිමක් තුළ වීම විශේෂත්වයකි. කවර බාධක එල්ල වුවත් ඉම්රාන් දිගටම ජනතාව අතර ජනප්‍රිය නායකයෙකු විය.

තමුන්ට මීටත් වඩා වැඩි ආසන සංඛ්‍යාවක් හිමි වීමට තිබූ බවක් ඉම්රාන්ගේ කණ්ඩායම විශ්වාස කරන බව පෙනේ. ඔවුන් පවසන්නේ ඡන්ද දූෂණ සිදුව ඇති බවයි. මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමට දින ගණනක් ගත වීම ද එයට සාක්‍ෂියක් බව ඔවුහු පවසති. මෙම පසුබිම තුළ ඉම්රාන්ගේ ආධාරකරුවන් රට පුරා විරෝධතා පැවැත්වීමට සූදානම් වන බව ද මාධ්‍ය වාර්තා කර තිබිණි.

පකිස්තානයේ ඉදිරි අගමැතිවරයා වනු ඇත්තේ කව්රුන් ද යන්න පිළිබඳව දැන් කව්රුත් දැඩි කුතුහලයෙන් යුතුව බලා සිටිති. මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව කිසිදු පක්‍ෂයකට තනිව ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාවක් නැත. ඒ නිසා බිහිවීමට නියමිතව ඇත්තේ සන්ධාන ආණ්ඩුවකි. නවාස් ෂරීෆ්ගේ පකිස්තාන මුස්ලිම් ලීගය සහ පකිස්තාන ජනතා පක්‍ෂය මේ වෙනුවෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බවක් සඳහන් වේ. ඔවුන් අතර යම් එකගතාවක් ඇති වුවහොත් ඉම්රාන්ගේ පක්‍ෂයේ අපේක්‍ෂා බිඳ වැටෙනු ඇත.

පකිස්තාන මුස්ලිම් ලීගය සහ පකිස්තාන ජනතා පක්‍ෂය මෙයට පෙර ද සන්ධානගතව කටයුතු කර ඇති පක්‍ෂ දෙකකි. මේ නිසා මෙවර ද ඔවුන් අතර යම් එකගතාවක් ඇති වීමට ඉඩක් තිබේ.

මෙවර හමුදාවේ සහය ලැබෙන්නේ ද නවාස් ෂරීෆ්ට බවට මතයක් තිබේ. 2022 වසරේ ඉම්රාන් විශ්වාසභංගයෙන් පරාජය වීමෙන් පසු බලයට පත් වූ ආණ්ඩුවේ නායකත්වය දැරුවේ ද එම පක්‍ෂය යි. මෙවර මැතිවරණයෙන් තුන්වැනි තැන දිනා සිටින පකිස්තාන ජනතා පක්‍ෂය ද එම ආණ්ඩුවට අයත් විය.

කලක් විවිධ වංචා දූෂණ චෝදනාවලට ලක්ව සිටි නවාස් ෂරීෆ් පසුගිය කාලයේ ජීවත් වූයේ එංගලන්තයේ ය. නමුත් ඔහු පසුගිය ඔක්තෝබරයේ නැවත පකිස්තානයට පැමිණි අතර ඔහුට එරෙහිව දී තිබූ නඩු තීන්දු ද නිශ්ප්‍රභ කරනු ලැබිණි. එය ඔහුට හමුදාවේ සහය ලැබෙන බවට ඉඟියක් යයි දේශපාලන නිරීක්‍ෂකයෝ එම අවස්ථාවේ පැවසූහ.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර