ආයෙත් වෙසක් ඇවිත්!
හිතට ගතට අමුතුම සුන්දරත්වයක් දැනෙන ලස්සන කාලයක්! පන්සල් පරිසරය කවදත් කොහොමත් සුන්දරයි සාමකාමීයිනෙ. පන්සල් පරිසරයක ඇවිද්දත් හිතටත් ගතටත් දැනෙන්නේ හරි සුවදායක බවක්. බෝ කොළ අතරින් හමාගෙන එන සිහින් සුළඟත් ගතට විතරක් නෙමෙයි සිතටත් ගෙනත් දෙන්නේ හරිම අමුතුම සුවදායක බවක්.
අමුතුයි කියන්නේ ඇත්තටම ඒ සුවය හරි අමුතුම සුවයක්. කිසිදෙයකින්වත් සල්ලි දීලවත් කවදාවත් ගන්න බැරි සුවදායක බවක්.
ඒ දැනෙන සුවය, පන්සල් බිමට විතරක් සීමා නොවී , වෙසක් කාලෙට මුළු රටටම විහිදිලා යනවා වගේ… මුළු රටම හරිම අමුතු සුන්දරත්වයකින් පිරිල.
බුදු දහමේ කියාදෙන මෛත්‍රිය, කරුණාව, පින් කුසල් රැස් කිරීම යනාදී උතුම් ගුණාංග හිරු එළිය වගේ මුළු රට පුරාම විසිරුණු ලස්සන කාලසීමාවක් මේ වෙසක් කාලය.
වෙසක් තොරන්, වෙසක් කූඩු වලින් ගෙවල් දොරවල් , ගම නගරෙ ලස්සන වෙනවා වගේම මිනිසුන්ගේ සිත් සතන් සාමයෙන් ත්‍යාගශීලි බවින් පින්බරවුණු උත්සවයක් තමයි මේ වෙසක් උත්සවය කියන්නේ. එහෙම නේද?
වෙසක් කියන්නේ මිනිස්සු බලහත්කාරයෙන් පින් කුසල් කරගන්න කාලයක් කියලත් හිතෙන්නැද්ද? පාරෙ යන එන මිනිස්සුන්ට බලෙන් උනත් නතර කරලා කන්න බොන්න දෙන්න, දන්සල් දෙන්න පොරකන දවසක්…
විහිළුවට වගේ එහෙම කිව්වත් , ඇත්තටම ඒක හරිම පරිත්‍යාගශීලි හිතකින් එකමුතුකමකින් දයාබරකමින් බැඳිච්ච පිරිස් එකතු වෙලා තමයි කරන්නේ. ඒක කොච්චර ලස්සන දෙයක්ද!
මිනිස්සු පව් කරනවට වැඩිය පින් කුසල් කරගන්න පොරකනව නං කොච්චර හොඳද නේද ?? පාරෙ යන එන අයට පවා කන්න බොන්න දෙන්න පරිත්‍යාගශීලි සිතින් සාමූහික බවින් එකතු වෙන එක කොච්චර වටින දෙයක්ද රටක!
මේ වගේ පරිත්‍යාගශීලි ක්‍රියාකාරකම් වෙන කිසි රටක නැහැ.
වෙසක් වලට ආගම් භේදයක් නැති ගානයි. කිතුණු දේවස්ථානවලත් ගෙවල් දොරවල් වලත් ලස්සන වෙසක් පහන් කූඩු මේ කාලෙදි දකින්න පුළුවන්. වෙසක් දන්සල් වලට යන්නේ බෞද්ධයින් විතරක්ම නෙවෙයි. කතෝලිකයන් පවා දන්සල් වලදී ආදරයෙන් පිළිගන්නා හැටි පැහැදිලිව දකින්න ලැබෙනවා. විශේෂයෙන් පාස්කු ප්‍රහාරය එල්ල වෙච්ච දවස්වල බෞද්ධ භික්ෂූන් වහන්සේලා පවා කතෝලිකයන් සමඟ මොනතරම් ආදරයෙන් අත්වැල් බැඳගත්තද කියලා මුළු රටම දැක්කා. වෙසක් කූඩුවල කුරුස ලකුණු සටහන් කර තිබුණු හැටි විශේෂයෙන් මීගමු පුරවරයේ දකින්නට ලැබුණා.
මේ සහජීවනයම කොච්චර වටිනවද.!
ඇත්තෙන්ම මේක ආගමික උත්සවයකට වඩා ආගම් අතර මිනිසුන් අතර වෙනස්කම් බැහැර කරලා හැමෝම එක තලයක ඉඳගෙන සතුටු වෙන , දයාබරත්වය බෙදාහදා ගන්නා සංස්කෘතික උත්සවයක් කියලත් හැඳින්වීම වරදක් නෙමේ නේද?
නත්තල් උත්සවයත් ඒ වගේම තමයි. ආගමික හරයක් වෙනම තිබුණත් සංස්කෘතික වශයෙන් කිසිම ආගමකට සීමා නොවුනු ,හැමෝටම බෙදා හදාගෙන සතුටු විය හැකි ආදරය බෙදා ගත හැකි චමත්කාරජනක උත්සවයක්.
ආගම් අතර චාරිත්‍ර වාරිත්‍රවල, වත් පිළිවෙත් වල යම් වෙනස්කම් තියෙන්න පුළුවන් තමයි. ඒ උනාට ආගමක් කියන්නේ ධර්මයක් ආරක්ෂා කරන ආවරණයක් .ධර්මයක් සැබෑ ධර්මයක් නම් කවදාවත් කිසි කෙනෙකුට හිංසා කරන්න කියන්නේ නැහැ. කිසි කෙනෙකුගේ අයිතිවාසිකම් උදුර ගන්න කියන්නේ නැහැ . සණ්ඩු සරුවල් යුද කෝලහාල කරන්න කියන්නේ නැහැ. හැම යහපත් ආගමකින්කම උගන්වන්නේ අනිත් අයට ගරු කරන්න, ආදරේ කරන්න, උදව් කරන්න, ඒගොල්ලන්ගේ විශ්වාසයන්ට, සිරිත් විරිත් වලට, අදහස් උදහස් වලට නිදහසට, අයිතියට ගරු කරන්න කියන දේවල්.
ඒ ටික හොඳට අවබෝධ කරගත්ත නම් මොන ආගමක හිටියත් ඒක බාධාවක් කරගන්නෙ නැතුව රටේ පුරවැසියෝ හැමෝටම එක පවුලක් වගේ සමගියෙන් සහයෝගයෙන් ආදරෙන් ජීවත් වෙන්න බැරි කමක් නැහැ. ඒකට විරුද්ධව යමෙක් ක්‍රියා කරනවා නම් ඇත්තෙන්ම ඔහු , අපවිත්‍ර දුෂ්ඨ චේතනාවලින් හිත පුරවගත්තු, නොමග ගිය මන්දබුද්ධිකයෙක් මිසක් උතුම් ගුණවලින් සමන්විත උසස් මනුෂ්‍යයෙක් කියලා පිළිගන්න බැහැ.
අනුන්ගේ දේ කඩාවඩාගන්නම බලන, පික් පොකට් ගහන, අනුන්ට හදි හූනියම් කරන, තමුන්ගේ ජයග්‍රහණයට අනුන්ව පරාජය කරන්න සටන් වදින , වංචාවෙන් දූෂණයෙන් අපවිත්‍ර වුනු හිත් තියෙන මිනිස්සුත් නැත්තෙම නැති ජමාජයක …, වෙසක් උත්සවය කියන්නේ හිතත් ලස්සන කරගෙන, ජීවිතයත් ලස්සන කරගෙන .අවට ලෝකයත් ලස්සන කරගෙන හැමෝටම සතුටින් ඉන්න පුළුවන් කියන අදහස සුන්දර විදිහට දීප්තිමත් විදිහට කියන ලස්සන මංගල්‍යයක් නෙමේද?
වෙසක් දවසට, මිනිස්සු වෙසක් බලන්න වාහනවල නැගලා යද්දී අනිත් වාහන වල යන අයට සතුටින් සුභ පතන හැටි බලාගෙන ඉන්න ආසයි. සිරිපාද කරුණාකරද්දී දන්න නොදන්න හැමෝටම දෙවි පිහිට පතන ආශිර්දවාද කරන හැටි කොච්චර වටිනවද !.
ඒත් සාමාන්‍ය දවස්වල පාරෙ යනකොට බොහෝ දෙනෙක් කොච්චර ආත්මාර්ථකාමී විදිහටද යන්නෙ! වැරදිලා හරි වචනයක් වැරදුනොත් කුණුහරුප අසභ්‍ය වචන තමයි හුවමාරු කරගන්නේ.
විශේෂයෙන් බෞද්ධ සම්ප්‍රදායන්, බෞද්ධ ඉගැන්වීම්, බෞද්ධ පරිසරය තුළ හැදුනු වැඩුණු ශ්‍රී ලාංකික අපිට පරිත්‍යාගශීලී මිනිස් වටිනාකම් හඳුනාගෙන ඉතා සුහද ලෙස සහයෝගයෙන් සංයමයෙන් ජීවත් වෙන්න පුළුවන් කියන පණිවිඩය වෙසක් උත්සවයෙන් කියවෙන බවයි ඇත්තටම හැඟෙන්නේ.
මේ විශිෂ්ට මිනිසත් බව, අන්‍යෝන්‍ය සහජීවනය වෙසක් කාලෙට නත්තල් කාලයට විතරක් සීමා නොකර අවුරුද්දෙ හැම දවසකම පාර තොටෙත් ,ගෙදර දොරෙත්, ගමේ රටෙත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන්නම් මේ පුංචි ලස්සන රට තවත් කොච්චර ලස්සන, ‘ඉන්න හිතෙන’ රටක් වෙයිද! නේද?
උත්සාහ කරොත් ඒ ඉලක්කයට එන්න අපිට බැරි වෙන්නෙ නැහැ.
ඔබට ප්‍රීතිමත් අර්ථවත් වෙසක් මංගල්‍යයක්ම වේවා!
මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු