පළාත් පාලන ඡන්දය “නොකෙරෙන වෙදකමක්” කිරීම අතිශය බියකරු ය

ලබන මාර්තු 19 වන දිනට පෙර පැවැත්විය යුතු පළාත් පාලන මැතිවරණය මේ වන විට “නොකෙරෙන වෙදකමක්” බවට පත් වෙමින් තිබේ.ඒ එම කටයුත්ත සඳහා විවිධාකාර බාධක එල්ල වන පසුබිමක ය.එහෙත් ඒවා ස්වාභාවික ලෙස එල්ල වන බාධක ද නැතහොත් කෘත්‍රිම ලෙස නිර්මාණය කළ ඒවා ද යන කුකුස ජනතාව තුළ තිබේ.මේ අතර රජය මේ වන විට ප්‍රමුඛතාව ලබා දී ඇත්තේ රටේ වැටී ඇති ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා බවත්, එමෙන්ම රට අරාජිකත්වයට පත් වීමට ඉඩ නොතබා නීතිය හා සාමය ආරක්ෂා කිරීම ප්‍රමුඛ කාර්ය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.ජනාධිපතිවරයා එම අදහස් පළ කොට ඇත්තේ ඊයේ (18) පෙරවරුවේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ පැවති රොටරි සමාජයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින ඇතුළත්වන දිස්ත්‍රික් අංක 3220 විසින් සංවිධානය කරන ලද 32 වන රොටරි දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

රටේ ආර්ථිකය කඩිනමින් යථා තත්ත්වයට පත්වනු ඇති බවට මෙහිදී විශ්වාසය පළ කළ ජනාධිපතිවරයා මේ වසර අවසන් වීමට පෙර රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය සක්‍රියව ක්‍රියාත්මක වන සමාජයක් ගොඩනඟන බවට ද සහතික වී තිබේ.ඒ අනුව ඉන් අනියමින් පැවසෙනුයේ මේ වන විට රට තුළ ප්‍රජාතන්ත්‍රීය යාන්ත්‍රණයක් නොමැති බවකි.එහෙත්, ඔහුගේ එම විශ්වාසය කුමන පදනමක් මත නිර්මාණය වූවක් ද යන්න ජනතාව නොදන්නා අතර සමහරකු පවසනුයේ විධායකය නිසි පරිදි ස්ථාපිත නොවීම ඊට ප්‍රමුඛ හේතුව බව ය.නමුදු රටේ ආර්ථික ගැටලු විසඳා ගැනීමත් සමග තවදුරටත් ජනතාවට පීඩාවට පත්වීමට ඉඩ නොතබන බව අවධාරණය කළ ජනාධිපතිවරයා රජය සියලු තීන්දු තීරණ ගන්නේ ඒ වෙනුවෙන් බව ද කියා තිබේ.එහි දී තමන් ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන නායකයෙකු ලෙස හඳුන්වා ගත් ජනාධිපති වරයා රටකට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පළමුව මහජන සාමය අවශ්‍ය බවත්, ඒ සඳහා නීතිය හා සාමය පවත්වා ගැනීම අවශ්‍ය බවත් සඳහන් කොට ඇත.රටක නීතිය හා සාමය නොමැතිව ප්‍රජාතන්ත්‍රවාදය පැවතිය නොහැකි අතර ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ස්ථාවර ආර්ථිකයක් අවශ්‍ය බව ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.නීතිය, සාමය සහ ආර්ථික ප්‍රකෘතිය නොමැති රටක ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය නොව අරාජිකත්වය බව වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපති වරයා අරාජිකත්වයේ මාවතේ පහළට ගෙන යාමට තමා කිසිවිටක ඉඩ නොතබන බවත්, රටේ නීතිය හා සාමය සහතික කිරීමට කැපවන බවත් අවධාරණය කොට තිබේ. ආර්ථිකය යළි ප්‍රකෘති මත්වීමත් සමග ලබන වසරේ දී තම ඡන්දය භාවිතා කර, රටේ සිදු කළ යුතු වෙනස්කම් සහ තමන්ට අවශ්‍ය අනාගතය නිර්මාණය කර ගැනීමට අවැසි පසුබිම ජනතාවට සකස් වනු ඇති බවට ද ජනාධිපතිවරයා පවසා ඇති මුත් ඉදිරි පළාත් පාලන මැතිවරණය ගැන වදනකුදු පවසා නොමැති වීම ද විශේෂත්වයකි.මෙය හරියට යමකු මිය ගිය බව නොපවසා හොඳින් එම්බාම් කරන බවට දෙන ප්‍රතිඥාවක් මෙනි.

එහෙත් නිසි ජන වරමක් නොමැති අයකුට රටේ නීතිය හා සාමය සහතික කිරීමට ඉඩ දීම ජනතා පරමාධිපත්‍යයට පටහැනි වූවක් බව තවත් පිරිසකගේ මතය වී තිබේ.ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවා පවසන්නේ, 2023 මාර්තු 19 වැනි දිනට පෙර පැවැත්වීමට නීතියෙන් නියම කර ඇති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කඩාකප්පල් කිරීමට රාජ්‍ය බලධාරීන් විසින් මෑතදී ගත් උත්සාහයන් පිළිබඳව තමන් දැඩි කණස්සල්ල පළ කරන බවයි.මැතිවරණ ක්‍රියාවලියට බාධා කිරීම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (සී) වගන්තියත් 104 බී (2)‍ වගන්තියත්, 104 ජීජී (1) වගන්තියත් ව්‍යවස්ථාදායකය සේම විධායකය ද උල්ලංඝනය කර ඇතැයි ද, ඡන්ද බලයට බාධා කිරීමේ ඕනෑම පියවරක් දුරදිග යන ප්‍රතිවිපාක ගෙන දෙන අතර අතීතයේ කළ එවැනි උත්සාහයන් රටට සහ එහි ජනතාවට විනාශකාරී ප්‍රතිවිපාක ඇති කළ බවද එබැවින් මැතිවරණ ක්‍රියාවලියට බාධා කිරීමේ සියලු උත්සාහයන් පරාජය කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කරයි. අප විශ්වාස කරනුයේ රටේ බහුතර ජනතා මතය ද ඊට සමපාත බවකි.

මේ අතර රටේ පවත්නා සියලුම මැතිවරණ ඉතා වැදගත් බව අවධාරණය කරන ශ්‍රී ලංකා නීතීඥ සංගමය රාජ්‍ය මුදල් කළමනාකරණය කිරීම අරමුණු කරගත් බව කියමින් රජය මෑත සතිවල ගත් තීරණ කිහිපයක් මැතිවරණ කොමිසමට මැතිවරණ පැවැත්වීම වැළැක්වීමේ බලපෑමක් ඇති කර ඇති බව කියා සිටියි.ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට පෙර මුදල් නිදහස් කරන ලෙස රජයේ මුද්‍රණාලය විසින් කරන ලද ඉල්ලීම සහ මැතිවරණය සඳහා මුදල් නොමැති බව පවසමින් භාණ්ඩාගාර ලේකම්වරයා විසින් කරන ලද ඉල්ලීම ද ඊට ඇතුළත් ය. මැතිවරණ කටයුතු සඳහා අයවැයෙන් රුපියල් බිලියන 10ක් වෙන්කර තිබියදී පවා පසුගිය සති කිහිපය තුළ භාණ්ඩාගාර ලේකම්වරයා, රජයේ මුද්‍රණාලයාධිපතිනිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහ ආයතනවල ක්‍රියාකලාපය මැතිවරණ නතර කිරීමට දැඩි උත්සාහයක් ගත් ආකාරය පැහැදිලිවම පෙන්නුම් කරන බවත් එමඟින් සර්ව ජන ඡන්ද බලය හෑල්ලූවට ලක්වන බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.එම සංගමය වැඩිදුරටත් පවසනුයේ රටේ ජනතාවගේ පරමාධිපත්‍යයට බලපාන නීතියෙන් නියම කර ඇති මැතිවරණ වැළැක්වීමේ එවැනි උත්සාහයන් මින් පෙර රට තුළ දක්නට නොවූ විරූ බවකි.

එමෙන්ම එවැනි ක්‍රියා ජනසම්මත නොවන විධායකයකට හෝ ව්‍යවස්ථාදායකයකට භයානක පූර්වාදර්ශයක් විය හැකි බවට ශ්‍රී ලංකා නීතීඥ සංගමය අනතුරු අඟවා තිබේ. සියලුම රාජ්‍ය බලධාරීන් මැතිවරණ කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බැඳී සිටින බවත් එය ප්‍රතික්ෂේප කිරීම හෝ අපොහොසත් වීම දඬුවම් ලැබිය හැකි අපරාධමය වරදක් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිවම සඳහන් වන බව ද නීතීඥ සංගමය පෙන්වා දෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා නිසි කොන්දේසි නිර්මාණය කිරීම සහතික කිරීමට ජනාධිපතිවරයාට ද බලය පවරා ඇති බව ද නීතීඥ සංගමය පෙන්වා දෙයි. සර්වජන ඡන්ද බලය යනු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිළිගත් මූලික අයිතිවාසිකමක් වන අතර , නියමිත දිනට මැතිවරණ නොපැවැත්වීම හෝ කල්දැමීම එම අතියිය උල්ලංඝනය කිරීමක් බවද නීතීඥ සංගමයේ අදහස වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශිත සහ පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම් රජයේ සියලුම ආයතන විසින් ගරු කරනු ලැබිය යුතු, සුරක්ෂිත කළ යුතු අතර, ඒවා සීමා කිරීම, හෝ ප්‍රතික්ෂේප කිරීම නොකළ යුතු බවද අදාළ නිවේදනයේ සඳහන් ය.

මේ අවස්ථාවේ දී ව්‍යවස්ථාදායකය මෙන්ම විධායකය ද මෙම වගන්තිය උල්ලංඝණය කර ඇති බව අවධාරණය කොට ඇති ශ්‍රී ලංකා නීතිඥ සංගමය අනතුරු අඟවන්නේ ඡන්ද බලයට බාධා කිරීමේ ඕනෑම පියවරක් දුරදිග යන ප්‍රතිවිපාක ගෙන දෙන බවට ය..ජනතාවගේ ඡන්ද බලයට බාධා කිරීමට වසර ගණනාවක් පුරා විවිධ පාලන ආයතන විසින් දරන ලද උත්සාහයන් රටට සහ එහි ජනතාවට විනාශකාරී ප්‍රතිවිපාක ඇති කළ බව ද ශ්‍රී ලංකා නීතීඥ සංගමය පෙන්වා දෙයි.මෙහි දී එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රටේ අත්‍යවශ්‍ය කටයුත්තක් වන මැතිවරණ පැවැත්වීම සඳහා මුදල් ලබාදීම සහතික කිරීම රජයේ පරිශුද්ධ යුතුකමක් බවකි. තවදුරටත් ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමේ හෝ බාධා කිරීමේ කිසිදු උත්සාහයකින් තොරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට ගරු කරන ලෙසත්, නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට වග බලා ගන්නා ලෙසත්, ශ්‍රී ලංකා නීතීඥ සංගමය රජයෙන් සහ සියලුම රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා තිබේ. මැතිවරණ ක්‍රියාවලියට බාධා කිරීමේ සියලු උත්සාහයන් පරාජය කළ යුතු බව අවධාරණය කරන ශ්‍රී ලංකා නීතීඥ සංගමය එවැනි මැදිහත්වීම් සඳහා වගකිව යුතු සියලු දෙනා නීතියට අනුකූලව කටයුතු කළ යුතු බවද, අවධාරණය කරයි. ඒ අනුව මෙම පළාත් පාලන මැතිවරණය කල් දැමීම ස්වාභාවික මරණයක් සේ ගැඟවෙන මනුෂ්‍ය ඝාතනයක් සේ ජන මනැසේ ස්ථාපිත වීම අතිශය බිහිසුණු ප්‍රතිඵල උදා කරවන්නකි.ඒ බිහිසුණු බව මහා රුධිර ගංගාවක් රට තුළින් මතු වීම දක්වා වර්ධනය වීම බවට මතු වන සමාජ මතය එක හෙළා ප්‍රතික්ෂේප කිරීමට අපට ද නොපුළුවන.

දමයන්ති ගමගේ

එතෙර - මෙතෙර