අද වන විට පළාත් පාලන ඡන්දය පිළිබඳ ගැටළුවත් ආර්ථික අර්බුදයත් පීඩනය පිළිබඳ ගැටළුවත් තවත් බොහෝ කාලීන ගැටළුත් අභිබවමින් ගුරු වරියන්ගේ සාරිය පිළිබඳ ගැටලුව ඉදිරියට පැමිණ ඇත.නමුත්, මේ සා දරුණු ගැටළුවක් පැන නැගුණේ ඉතා සුළු කරුණක් නිසාවෙනි. සාමාන්‍යයෙන් ඉතිහාසයෙහි මහා පරිවර්තනයන්ට පාදක වන්නේ ඉතා සුළු නොවැදගත් වූ සිද්ධීන් බව ප්‍රකට කරුණකි. මේ සඳහා හොඳම උදාහරණයක් වන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ගොඩනැගීමට පදනම් වූ සිලිං පහකින් ගම්මිරිස් රාත්තලක මිල වැඩි කිරීමට එදා ඕලන්ද වෙළඳුන් ගත් තීරණයයි. ඒ තීරණයට එරෙහිව බ්‍රිතාන්‍ය වෙළෙන්ඳන් කීප දෙනෙකු එක් වී පෙරදිගින් ගම්මිරිස් ඇතුලු කුළුබඩු මිලදී ගැනීමට ආරම්භ කළ පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම පසුව බ්‍රිතාන්‍යයේ හිරු නොබසින අධිරාජ්‍යය බවට පත් වීමෙන් ඒ කතාව ඔප්පුකර පෙන්වා ඇත. ඒ පරිද්දෙන්ම කවුරුන් හෝ ගුරුවරියන් කීප දෙනෙකුට පාසැල් යාමේ දී අඳින සාරිය ඔසරිය ඇඳීමට අකමැත්තක් ඇතිවී වෙනත් ඇඳුමක් ඇඳීමට තිබූ ඕනෑකම රට කළඹන මහා ගැටළුවක් බවට අද පත්වී තිබීම පුදුම සහගත ය. මේ නිසාම රාජ්‍ය නිලධාරීන් ගේ නිල ඇඳුම පිළිබඳව අවධානය යොමු කිරීම ඉතාම සුදුසු බව පෙනී ගොස් ඇත.
රාජ්‍ය නිලධාරීන්ට නිල ඇඳුමක් ලිඛිතව නියම කිරීමේ ඉතිහාසය ආරම්භ වන්නේ බ්‍රිතාන්‍ය පාලනයෙනි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අධිරාජයා විසින් නියම කරනු ලැබූ රෙගුලාසි වලට අනුව යටත් විජිත පාලනය කල යුතු විය. යටත් විජිත පාලනයට අදාල රෙගුලාසි සංග්‍රහය හැඳින් වූයේ “යටත් විජිත රෙගුලාසි” (Colonial Regulations ) යනුවෙනි. මේ රෙගුලාසි ප්‍රකාරව ආණ්ඩුකාරයා ගේ සිට පහළට සියලු නිලධාරීන් ක්‍රියා කළ යුතු විය. බ්‍රිතාන්‍ය යටත් විජිත රෙගුලාසි වල xvi වගන්තිය අදාල වූයේ නිල ඇඳුම් පිළිබඳ රෙගුලාසි වලට ය. ඒ අනුව සිවිල් නිල ඇඳුම් මට්ටම් පහකින් යුතු විය. ලංකාව ඇතුලු යටත් විජිත 23ක ආණ්ඩුකාර වරුන් හා තවත් යටත් විජිත දෙකක් පාලනය කළ මහ කොමසාරිස් වරු පළමු පන්තියේ සිවිල් නිල ඇඳුම ඇඳීමට අවසර ලද්දෝ වූහ. දෙවන පංතියේ සිවිල් නිල ඇඳුම ඇඳීමට අවසර තිබුණේ පළමු පන්තියේ නිල ඇඳුම ඇඳීමට අවසර නොතිබුණු ආණ්ඩුකාරවරුන් උතුරු නයිජීරියාවේ මහ කොමසාරිස් වරයා සොමාලිලන්ත ආරක්ෂිතයේ කොමසාරිස් වරයා ලුතිනන් ආණ්ඩුකාරවරු, කැනඩාවේ සහ ඕස්ටේලියා පොදු රාජ්‍ය බල මණ්ඩලයේ කැබිනට් ඇමතිවරුන්ට ය. තුන්වන පන්තියේ සිවිල් නිල ඇඳුම නියමව තිබුණේ ලුතිනන් ආණ්ඩුකාර ධුරයක් නොමැතිව ආණ්ඩු පරිපාලනය කරන නිලධාරීන්, වගකීම් සහිත රජයන් ස්ථාපිත යටත් විජිත වල විජිත අමාත්‍යවරුන්, කැනඩාවේ ප්‍රිවි කවුන්සිල් සාමාජිකයින් අනෙකුත් විජිතයන් හි විධායක හා ප්‍රිවි කවුන්සිල්වල නිල සාමාජිකයින්ට ය.
ආණ්ඩුකාරවරයා ගේ නිර්දේශය සහිතව මහ රජුගෙන් ඉල්ලුම්කර හතර වන පංතියේ සිවිල් නිල ඇඳුම ඇඳීමට ප්‍රිවි හෝ විධායක කවුන්සිලයේ ආසනයක් නැති ප්‍රධාන දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට අවසර ලබාගත හැකිවිය. පස්වන පංතියේ සිවිල් නිල ඇඳුම ඇඳීමට යටත් දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට හා ප්‍රධාන දෙපාර්තමේන්තු වල ප්‍රධාන සහකරුවන්ට අවසර ගත හැකිවිය. හතරවන හා පස්වන මට්ටම්වල නිල ඇඳුම ඇඳීමට තවත් සමහර නිලධාරීන්ට මහරජුගේ අවසරය ලැබී තිබුණි. මේ විස්තර කළ නිල ඇඳුම් අධිරාජ්‍ය නිලධාරීන් අරභයා පැනවුණු ඒවා ය.මීට අතිරේකව දැවැන්ත දේශීය නිලධාරී පද්ධතියක් රට පාලනයට බ්‍රිතාන්‍යන්ට සහය වූහ. මේ සියලුම දේශීය නිලයන්ට ඔවුන් ගේ සම්ප්‍රදායන්ට ද අනුකූල වන පරිදි නිල ඇඳුම් හා නිල පදක්කම් නියම කිරීමට බ්‍රිතාන්‍යයන් කටයුතු කරන ලදී. මෙසේ නිල ඇඳුම් නියම කරනු ලැබුවේ 1876 නොවැම්බර් මස 16 වෙනි දිනැති යටත් විජිතය භාර ලේකම් බර්ච් මහතා ගේ අත්සන සහිතව ය. මහ මුදලිවරයා ගේ සිට ලැස්කරින් දක්වා පහතරට දේශීය තනතුරු සියල්ල මින් ආවරණය විය. දිසාව සිට හුලවාලියා හංගිඩියා විදානේ දක්වා උඩරට තනතුරු වලටත් වන්නියා වරු, මනි අගර්වරු, දිස්ත්‍රික් අධිකාරි වරු යන උතුරු නැගෙනහිර ප්රධානීන්ටත් ඒ ඒ සම්ප්‍රදායන්ට අදාලව නිල ඇඳුම් හා ආයිත්තන් නියම කර ඇත. මේ නිල ඇඳුම් මොනවා ද යන්න එකි`නෙක විස්තර කරන්නට මේ ලිපියේ ඉඩ නැතිවීම කණගාටුවකි. කෙසේ වුව ද එකල මේ කිසිදු නිලයක කාන්තාවන් සේවය නොකළ නිසා මේ නිල ඇඳුම් සියල්ල පිරිමි පාර්ශවයට අදාල ඒවා බව නම් සඳහන් කළ යුතුය.
නිදහස ලැබීමෙන් පසුව ද සිවිල් පරිපාලනයේ දේශීය නිලධාරි පරපුරෙන් පැවත ආ ග්‍රාමීය නිලධාරින් සඳහා නිල ඇඳුම් යම් වෙනස්කම් සහිතව පවත්වා ගෙන එන ලදී. 1964දී ගම්මුලාදෑනි ක්‍රමය අහෝසි කිරීම නිසා නිල ඇඳුම වෙනුවට නිල පළඳනාව පමණක් භාවිතා කිරීමට ඔවුන් ගේ අනුප්‍රාප්තික ග්‍රාම සේවකවරුන්ට සිදුවිය. රජයේ අනිකුත් නිලධාරීන් සඳහා නිල ඇඳුමක් නියම කළේ නැත. බ්‍රිතාන්‍ය පාලන සමයේ සිටි ඉහළ දේශීය මුලාදෑනීන් වූ රටේ මහත්තුරු මුදලිවරු ආදීන් ගේ තනතුරු අහෝසි කර පත් කළ ආදායම් පාලක නිලධාරී තනතුරු සඳහා ද නිල ඇඳුමක් හෝ සලකුණක් නියම නොකළෙන් එම මට්ටමේ තනතුරු සඳහා වූ නිල ඇඳුම් ද අහෝසි විය. ග්‍රාම නිලධාරීන් සඳහා නිල ඇඳුමක් යළි නියම කෙරුණේ අප ද රාජ්‍ය සේවයට පිවිසීමෙන් පසුව 1980 දශකයේ ද අග හරියේ ය. කාන්තා ග්‍රාම නිලධාරිනියන් ද ඒ වන විට කීප දෙනෙක් සිටි බැවින් ඔවුන් සඳහා සාරිය නිල ඇඳුම ලෙස පිළි ගැණුනි. රාජ්‍ය සේවාවේ අනෙකුත් කිසිදු නිලයකට (සන්නද්ධ හමුදා, පොලිස්, බන්ධනාගාර, සුරාබදු, සෞඛ්‍ය පරීක්ෂක හැර) නිදහසෙන් පසු නිල ඇඳුමක් නියමව නොතිබුණි. පළමු වතාවට මාණ්ඩලික නිලධාරීන්ට අනුමත නිල ඇඳුම ලෙස යමක් නියම කළේ ප්‍රේමදාස ජනාධිපති තුමන් විසිනි. ඊට හේතුව වූයේ එකල අහුන්ගල්ලේ සිදුවූ බස් රිය හා දුම්රිය ගැටුමෙන් පාසැල් ළමුන් පිරිසක් මිය යාම ගැන දැන ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය රැස්ව සිටි අමාත්‍ය මණ්ඩල කාමරයට කැඳවනු ලැබූ දුම්රිය සාමාන්‍යාධිකාරි වරයා සාමාන්‍ය කලිසම සහ කමිසයකින් පමණක් සැරසී සිටීම අනුචිත යැයි තීරණය කර ඒ රැස්වීමේදී ම රජයේ මාණ්ඩලික නිලධාරීන්ට ටයි පටියක් සහිත කලිසම හා කමිසය ජාතික ඇඳුම හෝ ටියුනික් කොලර් සහිත කමිසය සමඟ කලිසම යන ඇඳුම් වලින් එකක් අඳින ලෙස නියම කිරීමෙනි.
මෙසේ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේ අමාත්‍ය මණ්ඩලය නිල ඇඳුමක් නියම කළේ විධායක මට්ටමේ රාජ්‍ය නිලධාරීන්ට පමණි. සෙසු කාර්යාලයීය රාජ්‍ය නිලධාරීන් හා විධායක මට්ටමේ සිටි කාන්තා නිලධාරීන්ට නිල ඇඳුමක් නියම වූයේ නැත. විධායක නිලධාරීන්ට නිල ඇඳුමක් නියම කරන කාලයේ කාන්තා විධායක නිලධාරීන් වර්තමානයට සාපේක්ෂව ඉතා අඩු ය. ඒ කාලයේ සිටි ප්‍රකට විධායක මට්ටමේ කාන්තා නිලධාරිණියන් කීප දෙනෙක් ගේ නම් මේ අවස්ථාවේ සිහි වේ. සෝමා කොටකදෙණිය, රන්මැණිකේ ගුණතිලක, කුසුමා විලේගොඩ, කමලා වික්‍රමසිංහ, ජයන්තා බුලුමුල්ල, මැණිකේ අබේසිංහ,රාණි ජයවර්ධන, මේ කීප දෙනෙකි. ඒ අය කවුරුත් සාරියෙන් හෝ ඔසරියෙන් සැරසී රාජකාරි කළ ප්රතාපවත් නිලධාරිනියන් වූ බැවින් අමාත්‍ය මණ්ඩලය කාන්තා විධායක නිලධාරීන්ට නිල ඇඳුමක් නියම කිරීමේ අවශ්‍යතාවයක් ඇතැයි නොසිතන්නට ඇත.වෙනත් ලෙසකින් කිව්වොත් කාන්තාවන්ට රාජකාරිය සඳහා ඇඳීමට වෙනත් ඇඳුමක් ඇතැයි අමාත්‍ය මණ්ඩලය සිතන්නට නැත. මෙයින් පසුවත් ගුරුවරියන් ද ඇතුලු රාජ්‍ය සේවයේ කාන්තාවන් කවුරුත් සාරිය හෝ ඔසරිය ඇඳ සුපුරුදු ලෙස රාජකාරි කළේය. මේ අතර මුස්ලිම් කාන්තාවන් ගේ ඇඳුම වූ සාරිය ක්‍රමයෙන් වෙනස් වූයේ මුස්ලිම් සමාජය තුළින් මතු වූ ආගම්වාදී අදහස් නිසාවෙනි.
රාජ්‍ය සේවයේ මුස්ලිම් කාන්තාවෝ ඇඟ සම්පූර්ණයෙන් වැසෙන අබාය නම් වූ ඇඳුම ඇඳීමට යොමු විය. ඇතැම් මුස්ලිම් කාන්තාවෝ මුහුණ ද මුලුමනින්ම ආවරණය කරගත්හ. පොදු සමාජය තුළින් මේ සඳහා කිසියම් විරෝධයක් ද අභ්‍යන්තරිකව මතුව තිබුණේ පාස්කු ප්‍රහාරය සමඟ මුස්ලිම් කාන්තාවන් ගේ ඇඳුම කිසියම් ප්‍රශ්න කිරීමකට භාජනය විය.ඒ අතර රජයේ ආයතනවල ආරක්ෂාව සඳහා ඒවාට ඇතුලුවන්නන් හඳුනා ගැනීමට අවශ්‍ය වීම මත කාන්තා නිල ඇඳුමක් පිළිබඳ අදහස ඉස්මතුකර රාජ්‍ය සේවයේ නිරත කාන්තාවන් සඳහා සාරිය හා ඔසරිය පමණක් අඳින්නට නියම කරන ලද චක්‍රලේඛනයක් නිකුත් කෙරිණි. මේ උපදෙසින් මුස්ලිම් රාජ්‍ය
නිලධාරිනියන් අඳින මුහුණු ආවරණ නොමැතිව සම්පූර්ණයෙන් ඇඟ වැසුණු අබායා ඇඳුමටත් ගැටලු මතු වූ නිසා සාරිය හා ඔසරිය සමඟ වෙනත් උචිත ඇඳුමක් ඇඳීමට හැකි ලෙස චක්‍රලේඛනය සංශෝධනය කෙරිණි. මේ අන්දමින් රාජ්‍ය සේවයේ කාන්තාවන්ට හා විධායක මට්ටමේ පිරිමි නිලධාරීන් පමණක් නිල ඇඳුම් නියම වූවන් බවට පත්විය.
විධායක නොවන පිරිමි නිලධාරීන්ට නියමිත ඇඳුමක් අදටත් නියමව නැත. කොරෝනා අවදියේ සැහැල්ලු ඇඳුම ලෙස ලිහිල් කෙරුණේ පාස්කු ප්‍රහාරයෙන් පසු නිකුත් කළ කාන්තා රාජ්‍ය නිලධාරිණියන් ගේ ඇඳුමයි. ඉන්පසු දැනට මාස දෙකකට පමණ ඉහත ඒ කොරෝනා නිසා ඇති කළ තාවකාලික ලිහිල් භාවය ස්ථිර තත්වයට පත්කර නව චක්‍ර ලේඛනයක් නිකුත් කරන ලදී. එසේ කළේ ආර්ථික අර්බුදයෙන් පීඩාවිඳින රාජ්‍ය සේවකයාට සහනයක් සඳහා බවත් සාරි හා ඔසරි නැතුව සැහැල්ලු ඇඳුම් ඇඳීමට නියම කිරීම නිසා සෑම දවසේම සාරි මැදීමට වැයවෙන විදුලිය ද ඉතිරිවනු ඇතැයි ද කයිවාරු දෙසනු ද ඇසුණි.
මේ අන්දමට රාජ්‍ය නිලධාරී නිල ඇඳුමේ ප්‍රතිපත්තිය විකාශය වෙද්දී ගුරු ක්ෂේත්රයේ එබඳු අවුල් ඇති නොවීය. ගුරුවරු අතීතයේ සිටම ඇන්දේ බ්‍රිතාන්‍ය යුගයේදී සරම සහ කෝට් එක, යුරෝපීය ඇඳුම හෝ ජාතික ඇඳුම ය. කාන්තා ගුරුවරියන් ගේ ඇඳුම වූයේ සාරිය හෝ ඔසරිය ය. සාරිය ඉන්දීය සම්භවය සහිත ඇඳුමක් වන අතර ඔසරිය ශ්‍රී ලංකාවේ සංවර්ධනය කරගත් කාන්තා ඇඳුමක් බව කියති. නිදහසෙන් පසු යුගය වන විට පිරිමි ගුරුවරුන් ගේ සරම සහ කෝට් එක ඇඳීම අභාවයට ගියේය. පිරිමි ගුරුවරු කලිසම හා කමිසය හෝ ජාතික ඇඳුම ඇන්ඳෝ ය. කාන්තා ගුරුවරියන් සාරිය හා ඔසරිය ඇන්දෝය. මේ සඳහා කිසිදු නියමයක් කිරීමට රජයට අවශ්‍ය නොවුණේ ගුරුවර ගුරුවරියන් රාජකාරියට ඇඳි ඇඳුම කිසිදු ගැටලුවක් ඇති කළ එකක් නොවීම නිසා ය. ක්‍රමයෙන් ගුරුවර ගුරුවරියන් ගේ ඇඳුම් පොදු සම්මතයක් බවට පත් වූයේය. ඒ අනුව ගුරුවරියන් සාරිය හෝ ඔසරිය ඇඳීම සමාජ සම්මතයක් බවට පත්විය.
මේ සමාජ සම්මතයට අභියෝග කිරීමේ අදහස පහළ වීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ආර්ථික අර්බුදයට සහනයක් ලෙස හා විදුලිය ඉතිරි කිරීමේ උපක්‍රමයක් ලෙස හඳුන්වා දෙන බවට කයිවාරු ගසා දැනට මාස දෙකකට පෙර නිකුත් කළ සැහැල්ලු ඇඳුම ස්ථිර කළ චක්‍ර ලේඛනය හේතුවක් විය. අනෙකුත් රාජ්‍ය සේවකයින්ට උචිත ඇඳුමෙන් රාජකාරියට පැමිණිය හැකි නම් ගුරුවරියන්ට ද එසේ පැමිණීමට නොහැකි ඇයි යන අදහස ද පෙරදැරිව සාරි හෝ ඔසරිය ඇදීමෙන් යම් පීඩාවක සිටි ගුරුවරියන් කීපදෙනෙකු මේ විකල්ප ඇඳුමක අදහස ඉදිරිපත් කළ බව පෙනේ. ගුරුවරියන්ට නිල ඇඳුමක් රජයෙන් නියමව නොතිබුණු තත්වය තුළ වෙනත් ඇඳුමක් ඇඳගෙන රාජකාරියට ඒමේ හැකියාව තිබිණි. නමුත් ඒ ගැන නොදැන සිටීමත් සම්මතයට එරෙහි වීම තනි තනි උත්සාහයන් ලෙස කිරීමට අවශ්‍ය චිත්ත ධෛර්යය නොතිබීමත් මත මේ විකල්ප ඇඳුමේ අදහස වෘත්තීය සමිතියක් වන ලංකා ගුරු සංගමය හරහා ඉදිරිපත් කිරීම සිදුවිය. දැන් රටේ වෘත්තීය සමිති ප්‍රධානීන් බොහෝ දෙනා වෘත්තීය ඉල්ලීම් වලට වඩා වෙනත් රාජ්‍ය පාලන කටයුතු වලට මැදිහත් වීමට වැඩි කැමැත්තක් දක්වන ඉල්ලීම් වලට වඩා රජයට තර්ජන එල්ල කරන සංවිධාන බවට පත්ව ඇත.
තමන් රජයට ඉදිරිපත් කරන ඉල්ලීම් පිළිබඳව අධ්‍යනයක් කර බැලීමක් නැත. ඒ අනුව විකල්ප ගුරුවරියන් ගේ ඇඳුම ඉල්ලීම ද ගෙඩි පිටින්ම ඉදිරිපත් කෙරිණි. ඊට සහායට සමාජ මාධ්‍යයෙන් සාරි හා ඔසරි විරෝධී ව්‍යාපාරයක් ද ඇරඹිණි. ගුරුවරියන්ගේ ඇඳුම පිළිබඳව තිබූ සමාජ සම්මතයට අභියෝග කෙරෙන විට සමාජයේ විවිධ කොටස් ඒ ගැන අදහස් දක්වන්නට වූහ. ඇතැම් අය අදහස් දැක්වූයේ ගුරුවරියන් ගේ ඇඳුමේ ඇති සංස්කෘතිකමය වටිනා කම මතු කරමිනි. තව සමහර අය ගුරු පෞරුෂය සඳහා සාරිය, ඔසරිය වැදගත්ය යන අදහස පළ කළෝ ය.
සාරියට හා ඔසරියට ළමුන්ගේ ඇති බැඳීම පැත්තෙන් ද අදහස් ද පළවන්නට විය. මෙසේ සමාජයේ විවිධ කොටස් සාරියේ හා ඔසරිය වෙනුවෙන් පෙනී සිටිද්දී ඒ අයට ප්‍රහාර එල්ල කිරීමට ද කණ්ඩායම් ඇති විය. ඒ අය පෙන්වා දුන්නේ සාරිය දේශීය නොව ඉන්දීය ඇඳුමක් නිසා සංස්කෘතික වැදගත් කමක් නැති බව ය. ඇන්ඳාම බඩ පේන නිසා සංවරයක් ද නැති බව ය.බඩ වැසෙන්න පොට සැකසිය යුතු නිසා කරදර බවය. ඔසරියේදී හැට්ටය පාතට ඇඳීමට වීම කරදරයක් බව ය. යාර හයක් මැදීමට විදුලිය වැඩියෙන් වැයවන බව ය. යාර හයක් ඇඟවටේ ඔතාගෙන යටටත් ඇඳුම් ඇඳගෙන බස්වල යාමේ අපහසු බව ය . තව සමහරු මේ ඇඳුම් ඇඳගත් පසු ශරීර කෘත්‍ය කිරීමේ අපහසුතා ගැනත් කරුණු කීවෝය. ගුරුවරියන් ගේ සාරිය ඔසරිය වෙනස් කිරීමට එරෙහිව කතා කළ භික්ෂූන් වහන්සේලාට ද විනය පිටකය ද උපුටා දක්වමින් දොස් නැගූහ.
කොටින්ම මුලුමහත් සමාජයම ගුරුවරියන් ගේ ඇඳුමේ පැටලුණි. අධ්‍යාපන ඇමතිවරයා ගුරුවරියන් ගේ ඇඳුම කිසිසේත් වෙනස් නොකරන බවට පාර්ලිමේන්තුවේදී සහතික වූයේ එහෙම ඇඳුමක් ගුරුවරියන්ට රජයෙන් නියම කර නැති බව නොදැන ය. අවසානය වන විට ගම්මිරිස් රාත්තල සිලිං පහකින් වැඩිකිරීමෙන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය බලය ව්‍යාප්ත වූ අයුරින්ම මුලුමහත් සමාජයම ගුරුවරියන්ගේ සාරිය හා ඔසරිය වටේ පැටලී ගියේය. විකල්ප ඇඳුම් ඇඳගෙන පාසැලට ගිය ගුරුවරියන් සුලු පිරිසක් සමාජ මාධ්‍යයේ ඡායාරූප පළකරමින් තවත් අය පොලඹවා ගන්නට උත්සාහයන් ද ගෙන තිබුණි. ඒ විකල්පය ක්‍රියාත්මක කළ අය අගයන්නට ද පිරිසක් කටයුතු කළ අතර තවත් පිරිසක් ඔවුන්ට අපහාස කරන්නට ද ක්‍රියාකර තිබුණි. පොට බේරාගත නොහැකි වූ රජය අන්තිමේදී කළේ විකල්ප ඇඳුමට දිරිය දුන් රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛනය සංශෝධන ඉවත් කර සාරි ඔසරි අර්බුදයේ හුලං බැස්සවීම ය. ඒ හුලං බැස්සේ අර ආර්ථික අර්බුදයට හා විදුලි අර්බුදයට පිළියමක් ලෙස සැහැල්ලු ඇඳුම හඳුන්වා දෙනවයැයි කයිවාරු ගැසූ අයගේ හුලනුත් බස්සා ගෙන ය. අන්තිමට කුණු පොලය බිංදා වාගේ වුණේය. ඉතුරු වුණේ ගඳ විතරය. අදටත් ඕනෑ නම් විකල්ප ඇඳුමක් ඇඳගෙන පාසැල් වලට එන්නට ගුරුවරියන්ට නෛතික බාධාවක් නැත. එහෙත්, නීතියට වඩා සමාජ සම්මතය බලවත් ය. සමාජ සම්මතය වෙනස් කළ හැක්කේ නිර්භීත වීමෙන් හා චිත්ත ධෛර්යෙන් කටයුතු කිරීමෙන් මිස නීති පැනවීමෙන් නොවේ.
කොළඹ,රත්නපුර,අම්පාර හිටපු මහ දිසාපති සුනිල් කන්නන්ගර