පළාත් පාලන මැතිවරණය කල්දැම්මේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කරන්නයි

පළාත් පාලන මැතිවරණය කල් දැමීම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බව පෙන්වා දුන්න ද, ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් එම කාලය කැප කිරීම හේතුවෙන් මැතිවරණ පැවැත්වීමට නොහැකි වීම පිළිබඳ මා කනගාටු නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.ඔහුමේ බව සඳහන් කළේ මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී ඊයේ (22) පස්වරුවේ පැවැති නව ජනතා පෙරමුණ පක්ෂයේ ජාතික සම්මේලනය අමතමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය.

“ජනතාවගේ ඡන්ද අයිතියට මෙන්ම ජීවත්වීමේ අයිතියට ද මා ගරු කරනවා.පසුගිය කලයේ දියත් කළ රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමේ වැඩපිළිවෙළේ දී සෑම පැයකටම වටිනාකමක් හිමි වුණා. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් එම කාලය වැය කළා නම් අද රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට නොහැකියි.
ගෑස්, ඖෂධ, ආහාර හා ඉන්ධන නොමැතිව ජනතාවට දෛනික ජීවිතය ඉදිරියට ගෙන යා නොහැකියි. ජනතාවගේ එම මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පසුගිය දෙවසර තුළ තමා කැප වුණා. ඉදිරියට ද අවශ්‍ය වුවහොත් ඒ වෙනුවෙන් ඕනෑම තීරණයක් ගන්නවා. ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසු මහ මැතිවරණය පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය මුදල් දැනටමත් සොයා ගෙන තිබෙනවා. ඉන් පසුව පළාත් සභා මැතිවරණයත්, අනතුරුව පළාත් පාලන මැතිවරණයත් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අඩුම තරමින් මාස දෙකහමාරකවත් කාලයක් ගත කිරීමට සිදු වෙනවා. එම මාස දෙකහමාර අහිමි වූවානම් අද අපට ඩොලර් බිලියන 84 ක දළ දේශීය නිෂ්පාදනයක් ලබාගත හැකිද?. අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කළා, ලෝකයේ විවිධ රටවලට ගොස් නායකයන් මුණ ගැසී සාකච්ඡා කළා. මෙම කාලය පළාත් පාලන මැතිවරණය සඳහා යෙදවූවානම් මේ රටේ ආර්ථිකය ගොඩගැනීමට හැකි වනවා ද කියා ඇසිය යුතුයි. අපට රට මෙම තත්ත්වයට ගෙන ඒමේ දී හැම මාසයක්ම, හැම සතියක්ම, හැම දිනයක්ම හා හැම පැයක්ම වැදගත් වුණා. ලෝකයේ කිසිම රටක් වසර දෙකකින් මෙවන් සාර්ථකත්වයකට පැමිණ නැහැ. ජාත්‍යන්තරය අපට ප්‍රශංසා කරනවා. අප මෙම පියවර නොගත්තානම් මේ රට කඩා වැටෙනවා. නමුත් විපක්ෂය කළේ ගිහින් නඩු දාන එක. ආර්ථිකය නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වෙන්න කියලා 2022 ඔවුන්ට ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් නඩු දාන්න බැරි වුණේ ඇයි?ඒ නිසා මෙම මැතිවරණය කල් දැමීම පිළිබඳ මගේ කිසිම කනගාටුවක් නැහැ. මේ රටේ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය කල් දැමිය නොහැකියි. එය ජනතාවගේ අයිතිවාසිකමක්. ඒ ඡන්ද අයිතියට මම ගරු කරනවා. ඒ වගේම ජනතාවගේ ජීවත්වීමේ අයිතියට මම ගරු කරනවා. ගෑස් නැත්නම්, ඖෂධ, ඉන්ධන නැත්නම් ජනතාවට ජීවත් වෙන්න බැහැ. එම මූලික අයිතිවාසිකම් මම ආරක්ෂා කළා. නැවත අවශ්‍ය නම් මම ඒ වැඩකටයුතු ඉටු කරනවා. මෙම මැතිවරණය පැවැත්විය යුතු කාලය කුමක් ද කියා මැතිවරණ කොමිසම තීරණය කළයුතු බව අද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නා. ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසු මහ මැතිවරණය පැවැත්වීමට අප සියලු දෙනා තීරණය කර තිබෙනවා. ඒ සඳහා මේ වනවිට මුදල් සොයා ගෙන තිබෙනවා.

කාලීන පුවත්