ප්‍රජාතන්ත්‍රවාදී අරගලවලට පෙනී සිටින්නවුන් වෙනුවෙන් පෙනී සිටින්න 600ක නීතිඥ මණ්ඩලයක් සූදානම්

ප්‍රජාතන්ත්‍රවාදී අරගලවලට පෙනී සිටින්නවුන් වෙනුවෙන් පෙනී සිටින්න 600ක නීතිඥ මණ්ඩලයක් සූදානම් රාජ්‍ය මර්ධනයට ලක්වන ජනතාව වෙනුවෙන් තමන් කොන්දේසි විරහිතව පෙනී සිටින බවත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට 600ට අධික නීතිඥ මණ්ඩලයක් සූදානම් කර ඇති බවත් සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි

.ප්‍රජාතන්ත්‍රවාදී අරගලවලට පෙනී සිටින අතරේ රාජ්‍ය මර්ධනයට හසුවන සියලු පුරවැසියන්ට පක්ෂ පාට නොසලකා නීතිඥ සහාය නොමිලේ ලබා දීමටත් ඔවුන් සූදානම්ව සිටින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියි.

මේ අතර ඉකුත් 31 වන දා රාත්‍රියේ ජනාධිපති වරයාගේ නිවස ඉදිරියේ උද්ඝෝෂණය කරමින් සිටිය දී අත් අඩංගුවට පත් පිරිසෙන් 21 දෙනකු ඊයේ(01)ගංගොඩවිල මහේස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන් වෙනුවෙන් ස්වේඡාවෙන් පෙනී සිටීම පිණිස පන්සියයකටත් අධික නීතිඥ පිරිසක් නිර්පාක්ෂික ව ඉදිරිපත් ව සිටියහ.

එක් නඩු නිමිත්තක් වෙනුවෙන් මෙතරම් විශාල නීතිඥ වරුන් සංඛ්‍යාවක් පෙනී සිටීම ඓතිහාසික සිදුවීමක් වන අතර එසේ අත් අඩංගුවට පත් පිරිස් අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවේ එම නීතිඥ වරුන් අත් පොලසන් දෙමින් එම අත් අඩංගුවට පත් වූවන් පිළිගැනීම ද රැස් ව සිටියවුන් ගේ දෙනෙත් වලට සතුටු කඳුළු එක් කළ සංවේදී දර්ශනයක් විය.කෙසේ හෝ එම පිරිස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස රජයේ පාර්ශවයෙන් අධිකරණයෙන් ඉල්ලා සිටිය ද ඒ සියළු දෙනා පෞද්ගලික ඇප මත නිදහස් කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් වරයා නියෝග කළේය.

සජිත් ප්‍රේමදාස මහතා සමගි ජනවේගය සතු හය සියයක නීතිඥ මණ්ඩලයක් පිළිබඳව මුල් වරට අදහස් ප්‍රකාශ කොට ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලවලට පෙනී සිටින පුරවැසියන් සම්බන්ධයෙන් ස්වේච්ඡාවෙන් පෙනී සිටින නීතිඥ ප්‍රජාවක් මෙරට ස්ථාපිත වෙමින් පවතින පසුබිමක ය.

එහෙත්,සමගි ජන බලවේගය සතු බව කියන ඒ නීතිඥයන්ගේ නාම ලේඛනයක් වත් සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය වෙත ඉදිරිපත් නොකිරීම ද විශේෂත්වයකි.

දමයන්ති ගමගේ

එතෙර - මෙතෙර