ප්‍රියන්ත කුමාර ඝාතනය පිළිබඳ පන්ජාබ් ප්‍රාන්ත වාර්තාව පාකිස්ථානු අගමැතිට

පාකිස්ථානයේ දී අන්තවාදීන්ගේ ප්‍රහාරයකට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය පිළිබඳ මූලික පරීක්ෂණ වාර්තාව පන්ජාබ් ප්‍රාන්ත රජය විසින් පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙත යොමු කර තිබේ.එම වාර්තාව උපුටා දක්වමින් පාකිස්ථානයේ ජියෝ ටීවී නාලිකාව පවසන්නේ, ප්‍රියන්ත කුමාර මහතා දැඩි ලෙස ආයතනික විනය සම්බන්ධයෙන් කටයුතු කළ කළමනාකරුවෙකු බවකි.පසුගිය සිකුරාදා උදෑසන කර්මාන්ත ශාලාව පරීක්ෂා කිරීමෙන් අනතුරුව පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලයේ අකාර්යක්ෂමතාව ගැන ඔහු දෝෂාරෝපණය කර තිබේ.අදාළ වාර්තාවට අනුව පිරිසිදු කිරීමේ ක්‍රියාවලියේ සැලසුම් සකස් කිරීමෙන් පසු කර්මාන්ත ශාලාවේ බිත්තිවල අලවා තිබූ පෝස්ටර් ගැළවීමට ද ප්‍රියන්ත කුමාර මහතා කටයුතු කර ඇත.ඒ අතර එහි තිබූ ආගමික උත්සවයකට ආරාධනා කළ පෝස්ටරයක් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඔහු එහි පිරිසක් සමඟ බහින් බස්වීමක් ඇති වූ බව පන්ජාබ් ප්‍රාන්ත රජය ඉදිරිපත් කළ පරීක්ෂණ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ය.
පසුව කර්මාන්ත ශාලාවේ හිමිකරු මේ ස්ථානයට පැමිණ තත්ත්වය සමථයට පත් කළ බවත්,එම පෝස්ටරය සම්බන්ධයෙන් තමන් තුළ පැවැති අනවබෝධය නිසා එවැන්නක් සිදු වූ බවට ප්‍රියන්ත කුමාර මහතා සමාව අයැද සිටි බවත් පාකිස්ථානයේ ජියෝ ටී වී නාලිකාව සඳහන් කරයි. නමුදු ඉන් අනතුරුව 800කට වැඩි පිරිසක් ඔහුට පහරදීම සඳහා පැමිණි ඇති බව වාර්තා වේ.ප්‍රියන්ත කුමාර මහතා මිය ගියේ, එරට වේලාවෙන් 11.28 ට වන අතර දේහයට ගිනි තබා තිබෙන්නේ ඉන් අනතුරුව බව ද එම පරීක්ෂණ වාර්තාව ඇසුරින් ජියෝ ටීවී නාලිකාව වාර්තා කොට තිබේ.
.

කාලීන පුවත්