පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛානුත් දූෂිතයෙක් ද?

imran

මෙයට මාස කිහිපයකට පෙර අගමැති ධුරයෙන් ඉවත් කෙරුණු පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට දැන් ඔහුගේ මන්ත්‍රී ධුරයත් අහිමි වන තත්ත්වයක් උදා වී ඇත. එපමණක් නොව ලබන වසරේ පැවැත්වීමට නියමිත එරට මහා මැතිවරණයට ද ඔහුට තරග කරන්නට නොහැකි වීමට ඉඩ තිබේ.

ඉම්රාන් මෙවැනි තත්ත්වයකට පත්ව සිටින්නේ පසුගිය දා එරට මැතිවරණ කොමිසම විසින් ලබා දෙන ලද තීන්දුවක් නිසාය. එම තීන්දුවෙන් ඔහු ඉදිරි වසර පහක කාලය තුළ රජයේ තනතුරු දැරීමට නුසුදුස්සකු බවට පත් කර ඇති බව වාර්තා වේ. මැතිවරණ කොමිසම මෙම තීන්දුව ලබා දී ඇත්තේ ඉම්රාන් අගමැති ධුරයේ සිටියදී ඔහුට විදේශ නායකයන්ගෙන් ලැබුණු ඇතැම් වටිනා තෑගි ඔහුගේ වත්කම් ප්‍රකාශවලට ඇතුළත් නොකිරීමේ සිද්ධියකට අදාළව ය. එකල ඉම්රාන් සහ ඔහුගේ බිරිඳ නිරත වූ විදේශ සංචාරවලදී ලැබුණු වටිනා අත් ඔරලෝසු, රන් ආභරණ, අත්බෑග, සුවඳ විලවුන් වැනි තෑගි ගැන පසුගිය කාලයේ මාධ්‍ය විශාල වශයෙන් වාර්තා කර තිබිණි.

පාකිස්තානයේ රජයේ නිලධාරීන්ට ලැබෙන මෙවැනි සියලුම තෑගි පිලිබඳව ඔවුන් ප්‍රකාශයට පත් කළ යුතුය. අඩු වටිනාකමෙන් යුතු තෑගි තමුන් සන්තකයේ තබා ගැනීමට අවසර ඇති අතර වැඩි වටිනාකමකින් යුතු ඒවා එරට දෙපාර්තමේන්තුවකට භාර දිය යුතු වේ. එවැනි තෑගි වුව ද ඒවායේ වටිනාකමෙන් අඩක් ගෙවා මිල දී ගැනීමට හැකියාව තිබේ. ඉම්රාන් මේ ආකාරයෙන් මිල දී ගත් ඉතා වටිනා තෑගිවලින් සමහර ඒවා ප්‍රකාශයට පත් කර නොමැති බවට චෝදනා එල්ල විය. එමෙන්ම මෙම ඇතැම් තෑගි විකිණීමෙන් උපයන ලද ලාභ පිලිබඳවද ඔහු නිසි ආකාරයෙන් ප්‍රකාශයට පත් කර නොමැති බවට චෝදනා එල්ල වී තිබිණි.

ඔහුට එරෙහිව මේ සම්බන්ධයෙන් මුලින්ම මැතිවරණ කොමිසමට පැමිණිලි ඉදිරිපත් වූයේ ඉම්රාන් අගමැති ධුරයේ සිටි කාලයේම ය. එම පැමිණිල්ල ඉදිරිපත් කළේ එවකට විපක්‍ෂයේ සිටි පාකිස්තාන මුස්ලිම් ලීගය- නවාස් පිල නැමැති පක්‍ෂයේ සාමාජිකයෙකි. මේ වනවිට පාකිස්තානයේ බලය හොබවන්නේ මෙම පක්‍ෂය නායකත්වය දරණ සන්ධානයකි.

තමාට ලැබුණු ඇතැම් තෑගි ප්‍රකාශයට පත් නොකළ බව වරක් ඉම්රාන් ද පිලිගෙන තිබිණි. ජාතික ආරක්‍ෂාවට අදාළ හේතුන් මත ඒවා ප්‍රකාශයට පත් නොකළ බවක් ඔහු සඳහන් කළේය. ඇතැම් තෑගි ඒවා මිල දී ගත් මුදල මෙන් දෙගුණයක පමණ මිලකට විකුණා ඇති බවට ද චෝදනා එල්ල වූ අතර ඉම්රාන් පවසා තිබුණේ මේවායේ මිල තක්සේරු කිරීමේ දී නිසි ක්‍රමවේද අනුගමනය කරන ලද බවයි.

කෙසේ හෝ වේවා, තමුන් රජයේ තනතුරු දැරීමට නුසුදුස්සකු කරමින් මැතිවරණ කොමිසම ලබා දී ඇති තීන්දුවට එරෙහිව මහාධිකරණය හමුවට යන බව ඉම්රාන් පවසා තිබේ. මෙවැනි තීන්දුවක් ලබා දීමට මැතිවරණ කොමිසමට වරමක් තිබේද යන්න සම්බන්ධයෙන් ද ඔහුගේ නීතිඥයන් ප්‍රශ්න කර ඇත.

යම් හෙයකින් මෙම තීන්දුව ක්‍රියාත්මක වුවහොත් ඉම්රාන් ගේ දේශපාලන අනාගතය යම් අභියෝගයකට ලක්වීමට බොහෝ දුරට ඉඩ තිබේ. පසුගිය අප්‍රේල් මාසයේ ඔහු අගමැති ධුරයෙන් ඉවත් කෙරුණේ පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාවක් හරහා යි. එම අවස්ථාවේ ඔහු ප්‍රකාශ කළේ මෙම විශ්වාසභංගය ඇමරිකාව සහ දේශීය බලවේග එක්ව දියත් කරන ලද කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවය. ඇමරිකාවේ විරුද්ධවාදීන් වන චීනය, රුසියාව වැනි රටවල් සමග තමා සමීප සබඳතා පැවැත්වීම නිසා තමුන් බලයෙන් පහ කිරීමට මෙම බලවේගවලට අවශ්‍යව ඇති බවට ඔහු චෝදනා නැගුවේය.

විශ්වාසභංග යෝජනාව හරහා ඉම්රාන් අගමැති ධුරයෙන් ඉවත් කෙරුණ ද තවමත් ඔහු පාකිස්තානයේ ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය බව පෙනේ. මෙය මේ වනවිට බලයේ සිටින පාලකයන්ට විශාල හිසරදයක් වී ඇතුවාට සැකයක් නැත. ඔහු රට පුරා රැස්වීම් පවත්වමින් වහාම මහා මැතිවරණයක් පවත්වන මෙන් මෙම පාලකයන්ගෙන් ඉල්ලා සිටියි. ඉම්රාන් සංවිධානය කරන මෙම රැස්වීම්වලට සහ විරෝධතාවලට දස දහස් ගණනින් ඔහුගේ ආධාරකරුවන් සහභාගි වන අන්දම ද දැකිය හැකි වේ. පසුගිය දා පැවැති අතුරු මැතිවරණ කිහිපයකින්ද ඉම්රාන් ගේ පක්‍ෂය විශාල ජයක් ලබන්නට සමත් විය. මේ මොහොතේ මහා මැතිවරණයක් පැවැත්වුවහොත් එම පක්‍ෂය එයින් ජය ගන්නට වැඩි ඉඩක් ඇති බව පෙනේ. මෙම පසුබිම තුළ මැතිවරණ කොමිසම ලබා දී ඇති තීන්දුව ඉම්රාන්ගේ ඉදිරි සැලසුම්වලට කෙසේ බලපානු ඇත්ද යන්න දැන් බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇති කාරණයක් වී තිබේ.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර