මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමි පසුගිය දිනයෙක මාධ්‍ය වෙත සමස්ත බෞද්ධ සමාජයේම අති මහත් ආන්දෝලනයට ලක් විය යුතු ප්‍රකාශයක් කොට තිබිණ.එනම් මිහින්තලයේ ආලෝක පූජාවට විදුලිය දීමට ආණ්ඩුවට නොහැකි වීම මත ජනතාවගෙන් රුපියල් ලක්ෂ 60ක් ඉල්ලූ බවත් නමුත් ජනතාව එක්ව කෝටියක මුදලක් ඒ වන විට ලබා දී ඇති බවත් ය. රජය මෙවර මිහින්තලා පොසොන් ආලෝක පූජාව නොසලකා හැරියත් ජනතාවගෙන් ලද සහයෝගයෙන් ආලෝක පූජාව සාර්ථක කරගැනීමට හැකි වූ බව උන්වහන්සේ සඳහන් කොට තිබේ. නමුදු ඒ හිමියන් ගේ ප්‍රකාශයේ සාතිශය බරපතලම කොටස වනුයේ එම මුදල පාත්‍රය යොදා ගෙන පිණ්ඩපාතයෙන් ලබා ගත් බවක් ප්‍රකාශ කිරීම ය. එම මාධ්‍ය හමුවේ දී ඒ හිමියන් බෞද්ධ ගිහි සදාචාර පද්ධතිය වන සිඟාලෝවාද සූත්‍රය පිළිබඳව පවසා ඇතත් එය පාත්‍රයෙන් මුදල් ඉපැයීමේ සංසිද්ධිය හා ගලපා නැත.
මිහින්තලා පුදබිම වෙත රජය මගින් විදුලිය ලබා නොදීමේ සංසිද්ධිය සහ පසුබිම කුමක්ද?යන්න පිළිබඳව අපි නොදනිමු. නමුදු එය ශාසනික වශයෙන් බලපාන කිනම් හෝ තත්වයකැයි සමාජයේ ඇතැමෙක් සිතති. එහෙත්, ඒ සම්බන්ධ ධර්ම ශාස්ත්‍රීය විශ්ලේෂණයක දී පෙනී යනුයේ එය සමාජ, සංස්කෘතික තත්වයක් මිස ශාසනික යන සැබෑ අර්ථ නිරූපණයට කෙසේවත් සම්බන්ධ නොවන බවකි. අප මෙසේ සඳහන් කරනුයේ රජය විසින් ඒ සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය සාධාරණීකරණය කිරීමට නොවේ. එවැන්නක් කිරීමට තබා ඒ සම්බන්ධයෙන් රජය ක්‍රියා කළ ආකාරය කුමක්ද? යන්න ගැන වැඩිදුර විමසීමට අපට අවශ්‍ය නැත. ඒ හුදෙක් ගිහි සමාජයේ කාර්ය භාරයක් ම බැවිනි.
විනයො තාම සාසනස්ස ආයු (ශාසනයේ ආයුෂ වනුයේ විනයයි) යන බෞද්ධ ගිහි පැවිදි බොහෝ දෙනකු දන්නා පාඨයකි. මෙහි විනය යනුවෙන් සඳහන් වනුයේ පාරාජිකා, පාචිත්තිය, චූල්ලවග්ග, පරිවාර යන විනය ග්රන්ථ පහ ය.
යම් රටක පැවැත්මට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඉවහල් වනුයේ කෙසේද? භික්ෂු සමාජයේ පැවැත්ම උදෙසා බුදුන් විසින් ප්රඥප්ති ගත කොට ඇති විනය ශික්ෂාවන් එපරිද්දෙන්ම ඉවහල් වේ. නමුදු ඒ සම්බන්ධයෙන් වර්තමාන භික්ෂු සමාජය තුළ පවත්නා දැනුම් අබෝධයන් නිරන්තරයෙන් ලඝු වෙමින් පවතින තත්වයක් ඉතා පැහැදිලිව විද්‍යාමාන වේ.ඉහත නා හිමියන්ගේ ප්‍රකාශය ඒ සඳහා වන එක් නිදසුනක් පමණි.
වර්තමානයේ ඇතැම් විට ගිහියන්ටත් වඩා බහු භාණ්ඩිකත්වයට,කාමභෝගීත්වයට පත්ව ඇති භික්ෂු සමාජය සඳහා බුදුන් වහන්සේ විසින් නිර්දේශ කොට ඇත්තේ තනිපට සිවුර, දෙපට සිවුර සහ අඳනය යන තුන් සිවුර හා පාත්‍රය යන පරිහාරික භාණ්ඩ පමණි. සිවුරු දැරීම සේම පාත්‍ර පරිහරණය සම්බන්ධයෙන් ද විනය ග්රන්ථ වල දීර්ඝ වශයෙන් විස්තර දක්වා තිබේ.භික්ෂුවක ගේ ජීවන පැවැත්මට පාත්‍රය කෙතෙක් වැදගත් වේද? යත් පාත්‍රයක් නොමැති භික්ෂුවක් උපසම්පදා නොකරන මෙන් මහාවන්ග පාලියෙහි දක්වා තිබේ. එසේ කිරීමෙන් දුක්ඛාටාපත්ති නම් වන විනය විරෝධී ක්‍රියාව සිදුවන බව ද එහි සඳහන් වේ.
බෞද්ධ විනය පිටකයට අනුව තුන් සිවුර, පාත්‍රය ආදී වශයෙන් පරිහාරක භාණ්ඩ භික්ෂුන් හට තම පෞද්ගලික සන්තයක් ලෙස තම අභිමතය පරිදි භාවිතා කිරීමට අවසර නැත. ඒ එය බුද්ධාදී මහෝත්මයන්ගේ සිට අෂ්ඨාර්ය පුද්ගල මහා සංඝ රත්නය සතු වූවක් බැවිනි.. එනිසාම පාත්‍ර පරිහරණය සම්බන්ධ වැදගත් කරුණු රාශියක් විනය පිටකයේ දක්වා තිබේ. රත්රන්, රිදී, මැණික්, පළිඟු, ලෝකඩ, වීදුරු, සුදු ඊයම්,කළු ඊයම්, තඹ ආදී මූල ද්‍රව්‍යයන් ගෙන් යුතු පාත්‍ර භික්ෂුන් හට අකැප වන අතර මිනී හිස් කබල්, ලබු කබල් සහ වලං කැබලි පාත්‍ර වශයෙන් භාවිතා කිරීම ද විනය විරෝධී බව සඳහන් වෙයි. බුදුන් වහන්සේ අනු දැන වදාළ පරිදි භික්ෂුන් සඳහා වඩාත් උචිත වනුයේ මැටි හෝ යකඩ පාත්‍රයන් පමණි. නමුදු කිනම් හෝ හේතුවක් මත භික්ෂුවකට තමන් පරිහරණය කරන පාත්‍රය අහිමි වී නම් ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ග විනය දක්වා තිබේ.
එවන් අවස්ථාවක භික්ෂුව දස දිනක් (තුළ පමණක්) අතිරේක පාත්‍රයක් දැරිය යුතුය. ඒ කාලය ඉක්මවන්නා වූ භික්ෂුවට නිසඟි පචිති නම් විනය විරෝධී ක්‍රියාවට අයත් වේ.යම් කිසි භික්ෂුවක් හානි වීම් පහකට වඩා අඩු පාත්‍රයක් තිබියදී අනෙක් අළුත් පාත්‍රයක් ඉල්ලා ගනී නම් නිසඟි පචිති වේ. ඒ භික්ෂුව විසින් එම පාත්‍රය භික්ෂු පිරිසට නිස්සජ්ජනය කළ යුතුය. එකිනෙක භික්ෂුව තම තමන් ගේ පාත්‍ර පිළිවෙළින් මාරු කොට ගැන්මෙන් අවසානයේ ඉතිරි වන යම් පාත්‍රයක් වේද එම පාත්‍රය භික්ෂුවට දී “මෙම පාත්‍රය බිඳී යන තෙක් ඔබ විසින් දැරිය යුතුය“යි එම භික්ෂුවට දිය යුතුය, ඒ අනුව කිසියම් භික්ෂුවකට අලුතින් පාත්‍රයක් අපේක්ෂා කළ හැක්කේ පස් තැනකින් පිළියම් හෙවත් අණ්ඩ දැමූ පාත්‍රයක් ඇත්නම් පමණි. නැතහොත් එහි නැවත පිළිසකර කළ නොහැකි අන්දමේ සිදුරක් තිබිය යුතු ය. මේ ඒ පිළිබඳ විනයානුකූල පිළිවෙතයි.එමෙන්ම භික්ෂූන් ගේ චීවර පරිහරණයේ ද මීට සමාන පිළිවෙතක් දක්වා තිබේ.ඒ අනුව ද සිවුරු සේම පාත්‍ර ද පෞද්ගලික පරිභෝජන භාණ්ඩ නොවන බව අතිශයින් පැහැදිලි ය.
ඒ හැරුණු කොට පාත්‍රය දැරීම, පාත්‍රය රැගෙන පිණ්ඩපාතයේ වැඩීම, පාත්‍රය සේදීම, වියැළීම, තැන්පත් කිරීම ආදී මේ සෑම කරුණක් සම්බන්ධයෙන් ම විනය නීති පනවා තිබීම ද විශේෂත්වයකි.
ඉහත සඳහන් කරුණු වලින් මනාව පැහැදිලි වනුයේ භික්ෂු සංඝයා හට බුදුන් වහන්සේ ගෙන් උරුම වූ ප්‍රධානතම පාරිභෝගික වස්තුන් දෙක තුන් සිවුර හා පාත්‍රය බව ය. අද වන විට ශ්‍රී ලාංකේය භික්ෂු සමාජයෙන් පාත්‍ර භාවිතය මුලුමනින්ම පාහේ ඉවත් වෙමින් පවතින පසුබිමක එය මුදල් ඉපැයීමේ භාණ්ඩයක් ලෙස යොදා ගැනීම බුදුන්ගේ නියමය උල්ලංඝනය කිරීමක්; අතිශය බරපතල ශාසනික ඛේදවාචකයක් බව කිව යුතුම ය.එය හරියට බුද්ධ චීවරය කපා කොටා තමනට කැමති ඇඳුමක් මසා ගැනීමක් මෙනි.
නමුදු වත්මන් ඇතැම් නාහිමි වරුන් ඇතුළු නූතන භික්ෂු පරපුර ධර්ම විනය නොදැනීම හා ඉන් ඈත් වන විට නූතන සමාජයෙන් සද්ධර්ම ප්රතිරූපකයන් ඉස්මතු වීමත් ඔවුන්ගේ ගහණය ශීඝ්‍රයෙන් ඉහළ නැගීමත් බරපතල ශාසනික ඛේදවාචකයක් බවට පත්ව තිබේ.
අද වන විට බහුල වශයෙන් වැරදි සහගත අර්ථ නිරූපණ ඉදිරිපත්ව ඇතත් උපසම්පදා භික්ෂුන්ට සේම සාමණේර භික්ෂුන්ට ද මුදල් පරිහරණය තහනම් කරවන ශික්ෂාපද විනය පිටකයේ දැක්වෙයි.
යො පන භික්ඛු ජාතරූපරජතං උග්ගණ්හෙය්ය වා උග්ගණ්හාපෙය්ය වා, උපනික්බිත්තං වා සාදියෙය්ය,
නිස්සග්ගියං පාචිත්තියං.
යො පන භික්ඛු නානප්පකාරකං රූපිය සංවොහාරං සමාපජ්ජෙය්ය, නිස්සග්ගියං පාචිත්තියං.
ඉහත සඳහන් ගාථා පාඨයන්ට අනුව භික්ෂුන් හට මූල්‍ය පරිහරණය සපුරා තහනම් ය. මුදල් ගැනීම, තමන් උදෙසා අන්‍යයන් වෙත මුදල් බැර කරවා ගැනීම සේම ඒ අවස්ථාවේ දී පිළිනොගෙන තමන් වෙනුවෙන් මුදල් තැන්පත් කර ගැනීම(වර්තමානයේ නම් බැංකු ගිනුම් වලට බැර කරවා ගැනීම) යන මේ කරුණු තුනම භික්ෂුන්ට අකැප ය. එමෙන්ම කිසියම් භික්ෂුවක් මිල මුදල් ගනු දෙනුවල යෙදීම ද අකැප ය. එය විනයේ නිසඟ පචිති (නිස්සග්ගියං පාචිත්තියං) ගණයෙහි ලා දක්වා තිබේ.විනය පිටකයට අයත් පාරාජිකා පාලියේ භික්ෂුන් හට මුදල් පරිහරණය අකැප බවට ශික්ෂාවක් පැනවීමට සිදුවීම් දෙකක් බල පෑ බව පෙනී යයි.
ඉන් පළමු වැන්න ශාක්‍ය කුලයෙන් පැවිදි බිමට පත් උපනන්ද හිමියන් ගේ කතා ප්රවෘත්තියයි. ඒ හිමියන් තමන්ට හිතවත් කුලගෙයකින් පිණ්ඩපාතයට ලැබීමට නියමිත මස් ව්‍යංජනයක් නොලැබීම මත එය කහවනු වලින් හිලව් කර ගැනීමේ පුවතයි.ඒ සම්බන්ධ දෙවන නිමිත්ත වනුයේ ජබ්බග්ගීය (ෂඩ් වර්ගීය) භික්ෂුන් සය නම ගිහියන් ගෙන් මුදල් භාර ගැනීමය.නමුත් අද සමාජයේ මේ සම්බන්ධයෙන් පවත්නා බරපතල දුර්මතයක් වනුයේ “හාමුදුරුවරුන්ට සල්ලි අල්ලන්න හොඳ නෑ” යන ගිහි සමාජයේ පවතින අන්ධ විශ්වාසයයි.එහි දී “එහෙම නම් ඔය කනප්පුව උඩින් තියලා යන්න” ආදී වශයෙන් වැදි බණ දෙසන යති වරුන් ගෙන් ද අපට කිසි අඩුවක් නැත.වත්මන් සමාජයට අනුරූපව භික්ෂුවක සන්තකයේ බස් ගාස්තුවකට සරිලන මුදලක් තිබේ අරුමයක් නැත.එහෙත් අද බොහෝ භික්ෂූන් බස් කොම්පැනි ගණනාවක් ගැනීමට තරම් මුදල් පොදි ගසන බව ප්‍රකට රහසකි.
එමෙන්ම අපගේ පාසල් සහ දහම් පාසල් දරුවන් පවා දන්නා පරිදි දෙවන ධර්ම සංඝ සභාවට හේතු වූ ප්‍රධානතම කරුණු වලින් එකක් වනුයේ ද විසාලා මහනුවර භික්ෂුන් මුදල් පිණ්ඩපාතයේ යෑම ය. එමෙන්ම වජ්ජි පුත්තක භික්ෂුන් විසින් භික්ෂුන්ට මුදල් පරිහරණය කැප බවට ගෙනා දස අකැප වස්තුන් හි දස වන යෝජනාව ද එවක මහා සංඝරත්නය විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේ එය බුද්ධ ශාසනයේ චිරස්ථිතියයට අතිශය අන්තරායකාරී සංසිද්ධියක් වන බැවිනි.
එවන් තත්වයක් යටතේ පසුගිය දා ජනමාධ්‍ය මගින් ප්‍රකාශ වූ පරිදි මහින්තලා නාහිමියන් බුද්ධාදී මහෝත්මයන්ගේ සිට අෂ්ඨාර්ය පුද්ගල මහා සංඝ රත්නය සතු පොදු ශාසනික දේපලක් වන පාත්‍රය අවභාවිතා රුපියල් කෝටියක සම්මාදම් ලබා ගත් බවට කළ ප්‍රකාශය බෞද්ධ ධර්ම විනයානුකූල විනිශ්චයකදී කිසිදු ආකාරයකින් සාධාරණීකරණය කළ නොහැක්කක් බව කිව යුතුම ය.
මේ අතර රුපියල් ලක්ෂ, කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ලබා ගන්නා භික්ෂුන් ඒ සම්බන්ධයෙන් නිදහසට ඉදිරිපත් කරන පොදු කරුණක් තිබේ. එනම් තමන් ලබාගන්නා සහ පරිහරණය කරන මුදල් හුදෙක් බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය සඳහා යොදන බැවින් එහි විනයානුකූල දෝෂයක් නොමැති බව ය. එහෙත් ඒ මතයට එරෙහිව ද ධර්ම විනයානුකූල විනිශ්චයක් දීමට වත් නාහිමි නමක් වත් ඉදිරිපත් ව නැත. එවන් පසුබිමක් යටතේ ඒ සම්බන්ධයෙන් නැගීමට එකම ප්‍රශ්නයක් අප තුළින් අද මතු වේ.
එනම්, භික්ෂුන්ට පාත්‍රය යොදා හෝ වෙනයක් ක්‍රමයකින් මුදල් ලබා ගනිමින් හා ඒවා පරිහරණය කරමින් බුදු සසුන රකින ලෙස ප්‍රකාශ වූ බුද්ධ භාෂිතයක් තබා අටුවා ටීකා මතයක් වත් මුලු ත්‍රිපිටක සාහිත්‍යය පීරමින් බැලුවත් සොයා ගත හැකිද? එවැන්නක් නැත;ඇත්තේම නැත.
කදුරුපොකුණේ සුමංගල හිමි