ගංජා හෝ කංසා අප රටේ කාලාන්තරයක් තිස්සේ පැවති, මිනිසුන් අතර ප්‍රචලිත වූ ශාකයක් වුව ද මෑතක සිට මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ පවා කතාබහ කිරීමේ ප්‍රවණතාව වර්ධනය වී ඇති බව පෙනේ. ගංජා පිටරට යවා හෝ ආදායම් ලබාගැනීමේ ඒකායන ප්‍රතිපත්තියක් ඇති දේශපාලනඥයන් බලයේ සිටීම මෙයට ප්‍රධාන හේතුවක් වී තිබේ.
කලකට පෙර ගංජා භාවිතය සමාජයේ පිළිකුලකට බඳුන් වූ පුරුද්දක්ව තිබුණත් වර්තමානය වන විට එය යම් උත්කර්ෂයකට ලක්ව තිබීමත් මේ පිළිබඳ ඇති කතාබහ වැඩිවීමට හේතු වී තිබේ.අනාදිමත් කාලයක දිව්‍යමය සබැඳියාවක් ඇති ශාඛයක් සේ සැළකුණු ගංජා පසුව මත් කාරකයක් සේ විද්‍යාත්මකව හඳුනා ගැනුණි.
ඒ අනුව ලොව බොහෝ රට වල මෙන් අප රටේ ද ගංජා වැවීම, භාවිතය නීතියෙන් සපුරා තහනම් ය. සීමිත ලෙසින් වුව ඒවා සන්තකයේ තබාගත හැකි අවසරය ඇත්තේ ලියා පදිංචි ආයුර්වේද වෛද්‍යවරුන්ට පමණි.
එය ද ඖෂධයක් ලෙස එය භාවිත කිරීමේ සීමාව තුළ පමණි. ගංජා භාවිතය සමාජයේ කෙතරම් පිළිකුළකට ලක් වූ දෙයක්ව තිබුණේ ද කිවහොත් මේවා භාවිත කරන්නන් හට ‘ගංජා කරයා’ වැනි පහත් පෙළේ නම් පටබැඳීම දැක්විය හැකිය.
නමුත් මේ වන විට තත්ත්වය වෙනස් වෙමින් පවතී. සැබවින්ම මෙය උත්කර්ෂයට ලක් කළ යුතු, රජයේ අනුග්‍රහයෙන් අපනයනය කළ යුතු ශාකයක් ද? ඒ ගැටලුව අප කොයිකාගෙත් සිතේ පවත්නා දෙයකි.
ප්‍රධාන වශයෙන්ම ගංජා වර්ග දෙකකි. මේ දෙක විද්‍යාත්මකව ‘කැනබිස් සාටිවා’ සහ ‘කැනබිස් ඉන්ඩිකා’ යන නම්වලින් හඳුන්වනු ලබයි. මේ ප්‍රභේද දෙකෙහි පත්‍ර පැහැදිලිවම වෙන්කොට හඳුනාගත හැකිය.
මෙහි නිජබිම නිවර්තන කලාපය වුව ද මේ වන විට සෞම්‍ය කලාපවල ද සරුවට වවන ශාකයක් බවට පත්ව තිබේ. අප ගංජා යනුවෙන් හඳුන්වනු ලැබුව ද බටහිර රටවල මෙය ප්‍රචලිතව ඇත්තේ ‘මර්ජුවානා’ නමිනි. මර්ජුවානා යනු ගංජා ම බව ඇතැම්විට ඔබ නොදැන සිටියා වන්නට ද පුළුවන.
ගංජා ඖෂධයක් ලෙස භාවිත වුව ද එහි සාන්ද්‍රණය අධික වූ විට මත් ස්වභාවයක් ඇති වේ. මේ මත් ස්වභාවය ලොල්වන සුළු බැවින් මෙය මත්ද්‍රව්‍යයක් ලෙස ප්‍රචලිත විය. මෙය අප රට ඇතුළුව ලෝකයේ ඇතැම් රටවල තහනම් ශාකයක් වූයේ එබැවිනි. මර්ජුවානා නිපදවීම පිණිස වවනු ලබන ශාකවල යම් යම් වෙනස්කම්වලට බඳුන් කොට ඇති අතර එහි මත්වන ස්වභාවය සාමාන්‍ය ගංජා ශාකයක මෙන් දසදහස් ගුණයක් තරම් බැව් පර්යේෂණවලින් හෙළි වී තිබේ.
ගංජාවල ඍජු බලපෑම එල්ලවන්නේ මොළයට ය. මෙයින් ඇතිවන මත් ස්වභාවය නිසා යම් පුද්ගලයෙකුගේ හැසිරීම් රටාව සහමුලින්ම වෙනසකට ලක් වේ. එය මත්පැන්වලින් ඇතිවන මත් ස්වභාවයට වඩා වෙනස් ය. ගංජා භාවිතය නිසා අප රටේ වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වූ තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව වසරකට 300 ක් පමණ වන අන්තරායාකර ඖෂධ පාලන අධිකාරියේ වාර්තාවලින් හෙළි වී තිබේ.
වරක් දෙවරක් ගංජා භාවිත කළ පමණින් මොළය සහ ස්නායු පද්ධතිය හානි වන්නේ නැති බැවින් බොහෝ දෙනෙක් මෙය ඉඳ හිට ඖෂධයක් ලෙස භාවිත කිරීමේ වරදක් නැතැයි සිතති. නමුත් මෙය ඇබ්බැහි වන සුළු බැවින් මෙයින් කිසිවකුට ගැළවීමක් ලැබෙන්නේ නැත. ගංජා භාවිත කරන්නවුන් අවාසනාවන්ත ජීවිතයකට ඇද වැටෙන්නේ මේ නිසාය.
ලෝකයේ රිය අනතුරු සිදුවීම් සම්බන්ධයෙන් සිදුකොට ඇති සමීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ ගංජා භාවිත කරන රියදුරන් අතින් අනතුරු සිදුවීමේ හැකියාව සාමාන්‍ය තත්ත්වයක සිටින රියදුරෙකු මෙන් දෙගුණයකටත් වඩා වැඩි බව ය. එමෙන්ම මෙයට ඇබ්බැහි වූ කල සාධනීය පෞරුෂ ලක්ෂණ සහමුලින්ම විනාශ වී යයි.
එබැවින් ඵලදායී පුරවැසියකු ලෙස සමාජයට පා ඔසවන්නට ගංජා භාවිතයට ඇබ්බැහි වූවකුට කිසි කලක හැකියාවක් ලැබෙන්නේ නැත. අනෙක මෙයින් දීර්ඝකාලීනව මොළයට සහ ස්නායු පද්ධතියට කෙරෙන බලපෑම කිසිදු අයුරකින් ආපසු හරවන්නට ද හැකියාවක් නැත.නමුත් අපේ දේශීයත්වය අති ප්රාමානික ලෙසින් කුළු ගන්වන්නවුන් මෙයට ව්‍යාජ ආරෝපන ලබා දෙන අන්දම සමාජ මාධ්‍ය මඟින් කොතෙකුත් දක්නට පුළුවන.
ඔවුන්ගෙන් සමහරකු මෙම ගංජා සහ රාවණා රජු සම්බන්ධ කිරීමට ද වෙර දරති.මේ සියල්ල තුළ විවිධ පරිමාන වල ජාවාරම් තිබේ.
ගංජාවලින් සමාජය සුවපත් කිරීමට හෝ පිටරට මුදල් උපයා ගන්නට යම් දේශපාලකයෙක් සිතන්නේ නම් ඔහු ද ගංජා භාවිත කරන්නකුට වඩා වැඩිමනත් පුද්ගලයකු නොවේ.
කෙසේ නමුත් අප රටේ සිටින්නනේ එවැනි දේශපාලකයන් බව එදිනෙදා ඇසෙන දකින ප්‍රවෘත්තිවලින් මොනවට පැහැදිලි වේ. එබැවින් මෙය පාර්ලිමේන්තුවේ සම්මත කොට ක්‍රියාත්මක කළ ද එය පුදුමයට කරුණක් නොවේ. නමුත් කිව යුත්තේ හුදු මත්කාරකයක් වන ගංජා උත්කර්ෂයට ලක්කොට ගරු සම්මාන දිය යුතු ශාකයක් නම් නොවන බවය.
නිරංජන් චාමින්ද කරුණාතිලක