පාරිසරික කඳවුරක රැයක් ගෙවන්න කැමති නම් මේ ගැන දැනගෙන යන්න

parisarika

පාරිසරික කඳවුරු බිම් වල ගත කිරීම අපේ රටේ එතරම් ප්‍රචලිත දෙයක් නොවෙයි. නමුත් ඔබ සොබාදහමේ අසිරිය ඒ හැටියෙන් ම සිත්සේ විඳ ගන්නට ප්‍රිය කරන කෙනෙක් නම් පරිසර කඳවුරක ගත කිරීම ඔබට වඩාත් ආනන්දනීය හැඟීමක් ඇති කරවන දෙයක් වනු නොඅනුමානයි. එවැනි පරිසර කඳවුරු කළ හැකි ස්ථාන රාශියක් අපේ රටේ පිහිටා තිබෙනවා. හැම වනෝද්‍යානයක ම වගේ කඳවුරු කරන්න පුළුවන්. සංචාරක හෝටල් වලිනුත් කඳවුරු කළ හැකි ස්ථාන පිහිටුවා තිබෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් නකල්ස්, සිංහරාජ වැනි සුප්‍රකට රක්ෂිතවල ද පරිසර කඳවුරු කිරීම සඳහා වෙන් කළ කදිම භූමිභාග තිබෙනවා.

කඳවුරු බිමක රැයක් ගත කරන්නට බලාපොරොත්තු වන්නේ නම් වඩා සුදුසු එවැනි අත්දැකීමක් ඇති කෙනෙකු සමග යාමයි. ඒ පිළිබඳව අත්දැකීම් ඇති කෙනකු සිටීම මෙවැනි ගමනකදී සෑම අතින්ම ප්‍රයෝජනවත් වෙනවා.

කඳවුරක් සඳහා තෝරාගත යුත්තේ ජලාශ්‍රිත ප්‍රදේශයක්. එසේම කඳවුරක් කිරීම සඳහා යාමට පෙර දේශගුණය පිළිබඳ සැලකිලිමත් වීම ඉතා වැදගත්. මෙහිදී වඩාත් සුදුසු වන්නේ වියළි කාලගුණයක් පැවතීමයි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නම් ස්ථාන කඳවුරු බිම් සඳහා ඒ ඒ ස්ථාන වෙන්කර තිබෙන නිසා පහසුයි.

තවත් ඉතා වැදගත් කරුණක් තිබෙනවා. කඳවුරු බිමක් කියන්නේ ජනාකීර්ණ ස්ථානයක් නොවේ. ඒවායේ මිනිසුන් ගැවසෙන්නේ නෑ. ඒ නිසා මූලික පහසුකම්වත් නෑ. ඒ අනුව හදිසියේ ලෙඩක් හැදුණොත්, වැටිලා තුවාලයක් සිදු වුණොත් අවශ්‍ය වන බෙහෙත් පෙති ටිකක්, ප්ලාස්ටර්, තුවාලවලට දාන බෙහෙතක් වැනි දෑ ගෙන යාම සහ ප්‍රථමාධාර පිළිබඳව දැනුවත්ව සිටීම ඉතා වැදගත් වෙනවා. එහෙම නැතිනම් පළපුරුදු මාර්ගෝපදේශකයන් සතුව එවැනි අවස්ථාවන්ට මුහුණ දීමේ උපකරණ තිබෙනවා.

කඳවුරු බිමකට ගෙන යන බඩු අතර නිදාගන්න කූඩාරමක්, ඉවුම් පිහුම් සඳහා නොබිඳෙන බර අඩු භාජන දෙක තුනක් අනිවාර්යයෙන් ගෙන යා යුතුයි. මෙම භාජනවලින් කෑම පිසීම, වතුර උණු කර ගැනීම ආදී අවශ්‍ය වැඩ කීපයක්ම කරගන්නා නිසා ඊට සරිලන තරමේ භාජන වීම වැදගත්. කඳවුරුවලට යාමේදී අවශ්‍ය පිහි වැනි උපකරණ සහ ටූල් සෙට් එකක්, උයන පිහින අමුද්‍රව්‍ය සහ ඔබට අඳින්නට ඇඳුම් කිහිපයක්, පිම්බීමට හැකි ආකාරයේ කඳවුරුවලට ගෙන යන කොට්ටා ආදිය රැගෙන යන්නට සිදු වෙනවා.

එසේම ඔබ කඳවුර කරන්නට බලාපොරොත්තු වන ප්‍රදේශයේ ළඟපාතක රෝහලක් තිබෙන්නේ කොහේද කියලා දැන ගැනීමත් සුදුසුයි. ඒ හදිසි අවශ්‍යතාවයක් වුණොත් ඉක්මනින් යාම සඳහායි. නමුත් ඉතින් එවැනි හදිසි අවශ්‍යතා එළඹෙන්නේ ඉතා කලාතුරකින්.
රාත්‍රියක් ගත කිරීමේ දී ආරක්ෂිත ස්ථානයක කූඩාරම ගසා ගන්නට අවශ්‍ය වන නිසා අඳුර වැටෙන්න කලින් කඳවුරු බිමකට යාම අතිශය වැදගත්.

කඳවුරු බිමක ගිනිමැලයක් ගසා ගැනීම කළ යුතුයි. එක හේතුවක් තමයි එතැන පිරිසක් සිටින බව පෙනෙන්න. අනෙක ආලෝකය ලැබෙන්න. අනෙක් විශේෂම කාරණය තමයි වන සතුන්ගෙන් ආරක්ෂා වීම. ගිනිමැලයක් ඇති තැනකට වන සතුන් සහ සර්පයින්ගේ ළඟාවීම ස්වභාවිකවම අඩු වෙනවා. නමුත් ගිනිමැලයේ ගින්න පැතිරෙන්නට නොදීම ගැන විශේෂයෙන් වගබලා ගත යුතුයි. එසේම ඔබ ආපසු එන විට වතුර දමා ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීම කළ යුතුයි. යන්තම් හරි ගිනි පුපුරක් තිබුණොත් ගින්න ඇවිලෙන්නට ඉඩකඩ ඇති නිසා සම්පූර්ණයෙන්ම ගින්න නිවී ඇති බව සැක හැර දැන ගැනීම ඉතා වැදගත්.

ආහාර ද්‍රව්‍ය ගෙන යන විට නරක් නොවන ඒවා ගෙන යා යුතුයි. ටින් කෑම, නූඩ්ල්ස් වැනි පැකට් කළ ආහාර මෙහිදී වැදගත්. තේ කොළ ගෙන යාමේදී කුඩා ටී බෑග් ගෙන යන්න. පිසින කෑම එවේලේම ආහාරයට ගන්න. කෑම පිස කල්තබා ගැනීම නොකළ යුත්තේ හදිසියේවත් එවැනි කෑමක් ගෙන උදරාබාධයක් ඇතිවුණොත් ගැටලු රාශියකට මුහුණ දෙන්නට සිදුවන නිසයි. ඔබ ආපසු එන විට එම පරිසරය ඉතා හොඳින් පවිත්‍ර කරන්න. පොලිතින් වැනි නොදිරන ද්‍රව්‍ය එතැන නො දමා රැගෙන එන්න. ඔබ යන තැන ආරක්ෂා කර තැබීම ඔබේ වගකීමක් බව සිතට ගන්න.

උපදෙස් වෛද්‍ය සුගත් විජේවර්ධන

සටහන ඉන්දු පෙරේරා

ඡායාරූප අන්තර්ජාලයෙනි.

හරිත දනව්ව