ජාතික වනෝද්‍යාන කී සැනින් අපගේ සිහියට නැඟෙන්නේ විල්පත්තුව,යාල,කුමන වගේ අති විශාල වන රජ දහන්.නමුත් පයින් ඇවිද ගොස් සිරි නැරඹිය හැකි සුන්දර කුඩා ජාතික වනෝද්‍යානත් අපේ රටේ තිබෙනවා.
නුවරඑළිය නගරයට ඉතා ආසන්නයෙන් පිහිටා තිබෙන ඒ වගේ කුඩා ජාතික වනෝද්‍යානයක් ගැනයි අද මේ කතා කරන්නේ.
ගැල්වේස්ලෑන්ඩ් නමින් හඳුන්වන මෙය නුවරඑළිය නගරයේ සිට දකුණට විහිදුණු බදුල්ල පාරට සහ රාගල පාරට මැදිව ග්‍රෙගරි වැව ඉහත්තාවේ පිහිටා තිබෙනවා. මේ ජාතික වනෝද්‍යානයේ සිට ගලා යන දිය පාරවල් ග්‍රෙගරි වැවට සහ බෝමුරු ඇල්ලටයි වැටෙන්නෙ.
මුල් කාලයේ මෙම ජාතික වනෝද්‍යානය තිබුණේ අභය භූමියක් ලෙසයි. 1938 මැයි 27 දා තමයි මෙය අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවේ. එහි භූමි ප්‍රමාණය හෙක්ටයාර් 56.6 කින් යුතුයි.
2006 මැයි 18 දා මෙයින් හෙක්ටයාර් 29.3 ක ප්‍රමාණයක් ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා .ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන අතර පයින් ඇවිද ගොස් බැලිය හැකි ජාතික වනෝද්‍යයාන තුනක් තිබෙනවා. එයින් එකක් තමයි මේ ගැල්වේස්ලෑන්ඩ් ජාතික වනෝද්‍යානය.
මෙහි තිබෙන්නේ කඳුකර තෙත් සදාහරිත වනාන්තර වැස්මක්. සුළු කොටස් කිහිපයක යුකැලිප්ටස් සහ පයිනස් වන වගාවන් දක්නට ලැබෙනවා. යටි වගාවක් ලෙස නෙලූ ශාක තිබෙනවා. වෙරළු හා ජම්බු කුලයට අයත් ශාක මේ වනෝද්‍යානයේ බහුල වශයෙන් දැකිය හැකියි.
ගැල්වේස්ලෑන්ඩ් සම්පූර්ණයෙන්ම අභය භූමියක් ව පැවති කාලයේ දී හග්ගල, කිකිළියමාන සහ පිදුරුතලාගල යන වනාන්තරත් සමග සම්බන්ධ වෙලායි පැවතුණේ.
පසුව මිනිසුන්ගේ විවිධ ආක්‍රමණයන් හේතුවෙන් ඒ සම්බන්ධය බිඳී ගොස් හුදෙකලා ජාතික වනෝද්‍යානයක් ලෙස දැන් මෙය පවතිනවා. නමුත් නගරය ආශ්‍රිතව පිහිටා ඇති නිසා මෙහි විශාල වටිනාකමක් තිබෙන බව කිව යුතුයි.
බටු ලේනා, ඕලු මුවා වැනක් මෙයින් වාර්තා වන අතර අපේ රටට ආවේනික පක්ෂීන් රාශියක් මෙහි සිටිනවා. ඒ අතර අඳුරු නිල මැසි මාරා, කඳුකර හම්බු කුරුල්ලා, ගුරු කොන්ඩයා, කඳුකර කොණ්ඩ රාජාලියා, මයිලගොයා, දෑදෙමලිච්චා, වලිකුකුළා , ලේ පිට මහ කෑරලා විශේෂයි.
එසේ ම ආවේණික නො වන විල්ලුද නළල් යටිකූරිත්තා, අලු හිස් මැසිමාරා වැනි සුවිශේෂ පක්ෂීන් ද මෙම ජාතික වනෝද්‍යානයේ දක්නට ලැබෙනවා.
කඳුකරයේ දී පමණක් දැකිය හැකි සමනළ විශේෂ ගණනාවක් මෙම වනෝද්‍යානයේ දක්නට පුළුවන්. එසේ ම ලංකාවේ මධ්‍යම කඳුකරයේ පමණක් ජීවත් වන රයිනෝ අඟ කටුස්සා ත්, අපේ රටට ආවේණික තවත් කටුසු විශේෂ වර්ගයක් වන කට කළු කටුස්සාත් මෙහි වාසය කරනවා.
පසුගිය කොවිඩ් වසංගත සමයේ සංචාරකයන් සඳහා වසා තැබුණු මේ ජාතික වනෝද්‍යානය පසුගිය දිනවල නරඹන්නන්ගෙන් පිරී පැවතුණා.
පයින් ඇවිද නැරඹිය හැකි මේ කුඩා වනෝද්‍යාන ඒ වගේ ඉතා සංවේදී පරිසර පද්ධතියකින් යුතුයි. එනිසා මෙයට පිවිසෙන ඔබ ඔබ වනයේ වාසය කරන සතුන්ට වගේම එහි පාරිසරික ජෛවමය පැවැත්මට තර්ජනයක් ඇති නොවන අයුරින් ඉතා සැලකිල්ලෙන් මෙහි සිරි නැරඹිය යුතු බව විශේෂයෙන් සඳහන් කරනවා.
ඉන්දු පෙරේරා