හෘදය යනු මිනිසාගේ ජීවිතය සුරකින යාන්ත්‍රණයයි. යම් හෙයකින් හෘදයේ ක්‍රියාකාරීත්වය නැවතුණ හොත් එම පුද්ගලයා සදහටම ජීවිතයෙන් සමු ගන්නා බව කණගාටුවෙන් වුව ද පැවසිය යුතු ය. හෘදයාබාධයක් වැළදීම එසේ නොමැති නම් හදිසි හෘදයාබාධයකින් මිය යාම ආදී ශෝචනීය පුවත් වාර්තා වන්නේ බොහෝ විට මැදිවියේ පිරිමි පාර්ශවයට ය. ඇතැම් පිරිමින් එකවරම හෘදයාබාධයකින් මියගිය පුවත් පිළිබඳ බොහෝ විට අපට අසන්නට දකින්නට ලැබෙන අතරම හෘදයාබාධ වැළඳෙන්නේ එසේ නොමැති නම් හෘදයාබාධවලින් ක්ෂණිකව මිය යන්නේ පිරිමි පාර්ශවය පමණක් ද?යන්න ද ගැටලුවකි. කාන්තාවන්ට හෘදයාබාධ වැළදෙන්නේ නැද්ද? එසේ නොමැති නම් කාන්තාවන් සිටින්නේ හෘදයාබාධ වැළදීමේ අවම ප්‍රතිශතයක ද ? යන්න පිළිබඳව සවිස්තරව දැන ගැනීමට හෘදවේද විශේෂඥ වෛද්‍ය ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ මහතා එක් කර ගතිමු.
■ වෛද්‍යතුමනි, බොහෝ විට අපට අසන්නට ලැබෙන්නේ මැදිවියේ පුරුෂ පක්ෂය හෘදයාබාධවලින් මිය යෑම, එසේ නොමැති නම් හෘදයාබාධ වැළඳීම, මෙයට විශේෂ හේතුවක් තිබෙනවා ද?
හෘදයාබාධ වැළදීමේ ප්‍රවණතාවය අනුව කාන්තා පක්ෂයට වඩා පුරුෂ පක්ෂයට තිබෙන ප්‍රතිශතය වැඩියි. පුරුෂයෙක් වීම හෘදයාබාධ වැළඳීම ට එක්තරා සාධකයක්. විශේෂයෙන් කාන්තා පක්ෂය මෙන් නොව පුරුෂ පක්ෂය බෙහෙවින් දුම්පානයට ඇබ්බැහි වී සිටිනවා.එයත් හෘදයාබාධවලට තුඩු දෙන ප්‍රධාන හේතුවක්. මත්පැන් පානය, ව්‍යායාම මදිකම, අධික මානසික පීඩනය මෙන්ම අක්‍රමවත් ආහාර රටාව ආදියට බෙහෙවින් නැඹුරුවක් පුරුෂ පක්ෂය තුළ තිබෙන නිසා හෘදයාබාධ ඇති කරලීමේ ඉඩ කඩ බෙහෙවින් වැඩියි.
තවත් විශේෂයෙන් සඳහන් කළ යුත්තේ තමාගේ පවුලේ මව්පියන් සහෝදරයන් ආදීන් හෘදයාබාධ වැලදී හෝ හෘදයාබාධවලින් මිය ගොස් සිටී නම් ඒ පවුල්වල පුරුෂ පක්ෂයට හෘදයාබාධ වැලදීමේ දැඩි අවදානමකින් සිටින බවයි.
■ කාන්තා පක්ෂයට හෘදයාබාධ අවදානමක් නොමැති ද?
කාන්තා පක්ෂය උපතින්ම සතු ආර්තවය හෙවත් ඔසප් චක්‍රය හේතුකොට සිරුරේ ඊස්ට්‍රජන් හෝමෝන ක්‍රියාකාරීත්වය පවතිනවා. රුධිරයේ ඊස්ට්‍රජන් හෝමෝන වැඩිප්‍රමාණයක් පවතින නිසා හෘදයාබාධ ඇතිවීම වලක්වා ගැනීමට එය හොඳ ආරක්ෂණයක්.
■ කාන්තා පක්ෂයට ඊස්ට්‍රජන් හෝමෝනය ආරක්ෂණය නිසා හෘදයාබාධ අවදානමක් නොමැති බව ඔබ පැවසුවා. ආර්තවහරණයෙන් පසුව එම තත්වය එලෙසමද?
පුරුෂ පක්ෂයට තිබෙන හෘදයාබාධ ඇතිවීමේ අවදානම හා සැසඳීමේ දී කාන්තා පක්ෂයට හෘදයාබාධ අවදානමක් නොමැති ව පවතින්නේ ආර්තවහරණය හෙවත් ඔසප් චක්‍රය නැවතීම සිදු වන තෙක් පමණයි. වයස අවුරුදු 50 වන විට ආර්තහරණය සිදු වීමෙන් පසු කාන්තාවගේ සිරුරේ ඊස්ට්‍රජන් හෝමෝනයේ ක්‍රියාකාරීත්වය ඇනහිටීම නිසා විවිධ රසායනික විපර්යාස ඇගේ ශරීරය තුළ සිදුවෙනවා. අවුරුදු 50 ක් ඉක්ම වූ පසු ක්‍රමයෙන් පිරිමි පක්ෂයට මෙන් හෘදයාබාධ ඇතිවීමේ අවදානම කාන්තාවන්ටත් ඇතිවීම ස්වභාවිකයි. වයස අවුරුදු 60 පමණ වන විට පුරුෂ පක්ෂය හා සමානව හෘදයාබාධ ඇතිවීමේ අවදානමක් වයස අවුරුදු 65 ඉක්ම වූ පසු පුරුෂ පක්ෂය අභිබවා කාන්තාවන්ට ද හෘදයාබාධ ඇතිවීමේ අවදානමක් පවතින බව පැවසිය යුතුයි.
■ මේ තත්වය බටහිර රටවල කාන්තාවන්ටත් එලෙසම පවතිනවා ද?
ශ්‍රී ලංකාව මෙන් නොව බටහිර රටවල කාන්තාවන්ට හෘදයාබාධ ඇතිවීමේ අවදානම වැඩි වශයෙන් පවතිනවා. එයට මූලික හේතුව වන්නේ බටහිර රටවල කාන්තාවන් දුම්පානයට ඇබ්බැහි වී සිටීමයි. ඇතැම් කාන්තාවෝ පුරුෂ පක්ෂයට වඩා දුම්පානයට ඇබ්බැහි වී සිටිනවා. එවැනි කාන්තාවන්ට හෘදයාබාධ ඇතිවීමේ අවදානම ඉතා වැඩියි.
වාසනාවකට මෙන් ශ්‍රී ලංකාවේ කාන්තාවන් දුම්පානය නොකිරීම නිසා හෘදයාබාධ වැළදීමේ ඉඩකඩ ඇහිරී තිබෙනවා. නමුත් ලංකාවේ කාන්තාවන් මුහුණ දෙන මූලික ගැටලුව වන්නේ ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් දුම්පානය කිරීමයි. තම නිවසේ බිරිඳ ඉදිරියේ දුම්පානය කිරීම, එසේ නොමැතිනම් වාහනය තුළ දුම්පානය කිරීම ආදී හේතු මත බිරිඳ දුම්පානය නොකළ ද සැමියාගේ දුම්වැටියෙන් ඇයටත් නොදැනීම දුම් ආඝ්‍රහණය වීමක් සිදු වෙනවා. මෙය හඳුන්වන්නේ අක්‍රිය දුම්පානය නමින්. බොහෝ කාන්තාවන්ට නිරපරාදේ අක්‍රීය දුම්පානයට ගොදුරු වීමට සිදු වන්නේ පුරුෂයින් නිසා. මෙවැනි අවස්ථාවක කාන්තාවන්ට හෘදයාබාධයක් ඇතිවීමට අක්‍රිය දුම්පානයත් එක්තරා සාධකයක් විය හැකියි.
■ වයස අවුරුදු 30-40 වන විට කාන්තාවන්ට ඊස්ට්‍රජන් හෝමෝනයේ ක්‍රියාකාරීත්වය තිබෙන නිසා හෘදයාබාධ අවදානමක් ඇති වීමට කිසිදු හේතුවක් නැහැ නේද?
විශේෂයෙන් තරුණ වයසේ සිටින දියවැඩියාව ඇති කාන්තාවන්ට ඇතැම් විට හෘදයාබාධ ඇතිවීමේ ඉඩකඩ තිබෙනවා. දියවැඩියාව සඳහා ඉන්සියුලින් එන්නත ලබා ගන්නා කාන්තාවන්, දියවැඩියාව ඖෂධ ලබා ගන්නා කාන්තාවන්ට ඇතැම්විට අවුරුදු 40 45 වයසේ දී පවා හෘදයාබාධ ඇතිවීමේ අවදානමක් පැවතිය හැකියි.
■ ඔබ පැවසුවා ඔසප් චක්‍රය අවසානයේදී කාන්තාවන්ට හෘදයාබාධ ඇතිවීමට රතු එළියක් බව. හෘදයාබාධ ඇතිවීමෙන් ආරක්ෂා වීම සඳහා වයස අවුරුදු 50 ඉක්මවූ කාන්තාවන් ගත යුතු පියවර මොනවාද ?
ඔසප් චක්‍රය නිමවීමත් සමඟම කාන්තාවගේ ජීවන චක්‍රය විවිධ වෙනස්කම් වලට භාජනය වන නිසා ඇය ඉදිරි කාල සීමාව ජීවත් විය යුත්තේ යහපත් ජීවන රටාවක.
විශේෂයෙන් සිරුරේ බර නිසි ආකාරයට පවත්වාගෙන යාම, මේදය සහිත ආහාර අවම කිරීම. දිනපතා ව්‍යායාම්වල නිරතවීම, අක්‍රීය දුම්පානයෙන් ඈත් වීම, මානසික ආතතියෙන් තොරව ජීවත් වීම, එළවළු පලතුරු සහිත සමබල ආහාර වේලක් ගැනීම ආදී කරුණු පිළිපැදීමෙන් වයස පනහ ඉක්ම වූ කාන්තාවන්ට හෘදයාබාධ ඇතිවීමේ අවදානම අවම කර
ගත හැකියි. නමුත් මෙවැනි කාන්තාවන්ට දියවැඩියාව, අධික රුධිර පීඩනය,කොලෙස්ටරෝල් ආදිය තිබේ නම් වෛද්‍යවරයෙකු වෙත යොමු වී ඒ සඳහා නිසි ප්‍රතිකාර ඖෂධ ලබාගෙන ඒවා හොඳින් පාලනය කර ගනිමින් ජීවත් විය යුතුයි. කාන්තා සහ පිරිමි දෙපාර්ශවයට ම විශේෂයෙන් පැවසිය යුත්තේ තරුණ වයසේ සිට මේදය අධික ආහාර අවම කර ගැනීමෙන් සහ දිනපතා ව්‍යායාම්වල යෙදීමෙන් සිරුරේ බර පාලනය කර ගැනීමෙන් අනාගතයේදී හෘදයාබාධ ඇතිවීමේ අවදානම වළක්වා ගත හැකි බවයි.
හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
සැකසුම – දීප්ති ෆොන්සේකා