පිරිමියකුව ඉපදුණත් පසුව රූ “රැජිනක්” වෙන්න වුණත් පුලුවන්

2021 වසරේ ‘ට්‍රාන්ස් ග්ලෝබල්’ රූ රැජින තරගයේ ජයග්‍රාහිකාව බවට පත්වූයේ ඉන්දීය ජාතික සුරූපී තරුණියක වූ සෘති සිතාරා ය. ලෝකයේ මහා සංස්කෘතීන් අතර ප්‍රධාන තැනක වැජඹෙන්නේ යැයි අප සිතා සිටින ඉන්දියාවෙන් මෙවැනි ජයග්‍රාහිකාවක් මතුවීම බොහෝ දෙනෙකුට ගැටලුවක් විය හැකි නමුත් ඉදිරියට ගමන් කරන ලෝක ප්‍රවණතාව තුළ එවැනි කාරණා පිළිබඳ විස්මයට පත්විය යුතු නැත.

මෙය කියවන ඔබ ඇතැම් විට ට්‍රාන්ස් ග්ලෝබල් රූ රැජින තරගය යනු කුමක්දැයි නොදන්නවා විය හැකිය. එබැවින් ඒ පිළිබඳ යම් පැහැදිලි කිරිමක් සමගින් මෙය ආරම්භ කිරිම වඩා හොඳ යැයි හැඟේ.

ru-rajina

ලෝකයේ සාමාන්‍යයෙන් ගැහැනු පිරිමි වශයෙන් මිනිසුන් බෙදා දක්වා තිබේ. ඒ කාලයක් තිස්සේ අප දන්නා එකම බෙදීම වුවත්, අතීතයේ සිටම ප්‍රසිද්ධ සමාජයට රහසේ මෙයට වඩා වෙනස් බෙදීම් ද පැවතුණි.

ඒ පිළිබඳ අතීතයෙන් ඇසෙන කතා තුළ යම් යම් ඉඟි පැවතිය ද ඒවා ඍජු ලෙස කරළියට පැමිණියේ නැත. නමුත් මිනිසාගේ චින්තන නිදහස පුළුල්වීමත්, සිය අයිතිවාසිකම් වෙනුවෙන් සෑම සුළු කොට්ඨාශයක් පවා හඬ නගන්නට ඉදිරියට පැමිණීමත් සමග මේ බෙදීම් පිළිබඳ වඩාත් පුළුල්ව සිතන්නට සමාජ කතිකාවක් ගොඩ නැගුණි. LGBT (Lesbian – සමලිංගික ගැහැනු, Gay – සමලිංගික පිරිමි, Bisexual – ද්විලිංගික සහ Transgender -සංක්‍රාන්ති ලිංගික) යන්න සමාජය තුළ ඉස්මතු වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.

අපේ කතාවට මේ අතරින් අදාළ වන්නේ මෙහි අවසන් වචනය වූ ට්‍රන්ස්ගෙන්ඩෙර් . එය සිංහල අරුත වූ ‘සංක්‍රාන්ති ලිංගික’ යන්න තුළින් ඔබට යම් අදහසක් දැනෙන්නට ඇත. එනම් ලිංගිකත්වය මාරුවීම වැනි අරුතකි.

යම් පුද්ගලයෙකු පිරිමියෙකු ලෙස ඉපදුණ ද ඔහු වඩාත් කැමැති කාන්තාවක ලෙස ජීවිතය ගෙවන්නට නම් ඔහුට සංක්‍රාන්ති ලිංගිකයෙකු වීමේ හැකියාව දැන් තිබේ. ඒ සඳහා වෛද්‍ය උපකාර කරන්නට ඕනෑ තරම් පහසුකම් වර්තමානයේ දකින්නට පුළුවන.

නවීන ටිශල්‍ය වෛද්‍ය තාක්ෂණය ඔස්සේ පැය ගණනාවක් තුළ ඕනෑම පිරිමියෙකුට ගැහැනියක් බවටත්, ගැහැනියකට පිරිමියෙක් බවටත් පත්වන්නට හැකියාව තිබේ.

1978 ව්‍යවස්ථාව පිළිබඳ හිටපු ජනපතිවරයකු වූ ජේ. ආර්. ජයවර්ධන මහතා සඳහන් කළේ එම ව්‍යවස්ථාවෙන් කළ නොහැක්කේ ගැහැනියක් පිරිමියකු බවට හෝ පිරිමියෙකු ගැහැනියක බවට හෝ පත්කරන්නට කරන්නට ය. නමුත් දැන් එය කරන්නට පවා නවීන වෛද්‍ය විද්‍යාව සමත්ව තිබේ.

‘ට්‍රාන්ස් ග්ලෝබල්’ රූ රැජින තරගය බිහිවන්නේ මේ ආකාරයේ සංක්‍රාන්ති ලිංගිකයන් බවට පත්වූවන් අතරේ ය. එනම් ‘ට්‍රාන්ස්ජෙන්ඩර්’ පුද්ගලයන් අතරේ ය. මේ පුද්ගලයන් උපත ලබා ඇත්තේ පිරිමින් ලෙස වුවත් දැන් ඔවුහු ගැහැනුන් බවට පත්ව සිටිති.

ඒ අනුව සෘති සිතාරා ද ඉපිද ඇත්තේ පිරිමියෙක් වශයෙනි. ඇය පිරිමියකුව උපන්නේ ප්‍රවීන් නමිනි ඉන්දියාවේ කේරළයේ ය. කුඩා කාලයේ පටන්ම ඔහු සිතන්නට පතන්නට පුරුදු වී තිබුණේ ගැහැනියක ලෙසිනි.

මේ සියල්ලේ අවසන පිරිමි ප්‍රවීන් ගැහැනු සෘති සිතාරා බවට පත් වූවාය. ට්‍රාන්ස් ග්ලෝබල් තරගාවලියේ කිරුළ ඉන්දියාවට හිමිවන්නේ ඒ අනුව ය.

මිනිසුන් සිතන පතන ආකාරය කෙරෙහි වැට බඳින්නට තවදුරටත් හැකියාවක් නොමැති බව දැන් මනා ලෙස පසක් වී තිබේ.ඒ බව දක්වන්නට ඇති එක් හොඳම සාක්ෂියක් වන්නේ මෙයයි.

මහා සංස්කෘතික ධාරාවන් ඉන්දියාවේ පැවතිය ද ඔවුන්ගේ සිතුම් පැතුම් ඒ සංස්කෘතික බැඳීම් අතික්‍රමණය කරමින් තිබේ. අප රටේ ද මෙවැනි ප්‍රවණතා ඇතිවුව ද ආගමික සංස්කෘතික අදහස් සිතේ තබාගෙන ඒවාට එරෙහිව හඬනැගීම් තවමත් සිදුවේ.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර