බ්‍රිතාන්‍යයේ මීළඟට රජ වීමට සිටින විලියම් කුමරු ගේ දයාබර බිරිඳ කේට් කුමරිය මේ වනවිට සිටින්නේ පිළිකාවකින් පීඩා විඳිමිනි. උදරයේ සැත්කමක් ස්‍රඳහා පසුගිය ජනවාරි මාසයේ රෝහල්ගත වූ ඇය තමාට පිළිකාවක් වැළඳී ඇති බව නිල වශයෙන් දැනුම් දුන්නේ මාර්තු මාසයේ යි. මෙම තත්ත්වය තුළ දැන් මාස ගණනක සිට ඇය රජ පවුලේ නිල කටයුතුවලට සහභාගි වන්නේ ද නැත. ඇය ප්‍රතිකාර ගනිමින් සහ විවේක ගනිමින් සිටියි. කේට් කුමරිය අවසන් වරට නිල කටයුත්තකට සහභාගි වූයේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ යි. එයින් පසු ඇය කිසිදු අවස්ථාවක ප්‍රසිද්ධියේ දකින්නට ලැබුණේ නැත. පසුගිය කාලයේ ඇයගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් විවිධ කටකතා සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබූ අතර මේ සමහර කතාවලින් පැවසුණේ කේට් නැවත කිසි දිනෙක මෙවැනි ප්‍රසිද්ධ අවස්ථාවන්ට සහභාගි නොවනු ඇති බව යි.
කේට් කුමරිය රජ පවුලේ සාමාජිකයන් අතරින් ජනතාව අතර වඩාත්ම ජනප්‍රිය සාමාජිකයා ලෙස සැලකේ. ඇය පිළිකාවකට ගොදුරු වීම සහ ජනතාවගෙන් ඈත් වීම බොහෝ දෙනෙකු තුළ මහත් ශෝකයක් ඇති කළ කාරණයක් විය.
තත්ත්වය එසේ තිබියදී දීර්ඝ කාලයකට පසු පළමු වතාවට පසුගිය සෙනසුරාදා කේට් කුමරිය ප්‍රසිද්ධ අවස්ථාවකට සහභාගි වූවාය. එය මාධ්‍ය තුළ ද විශාල අවධානයක් දිනාගත් සිදුවීමක් වූයේය. බි්රතාන්යයේ පුවත්පත්වල මුල් පිටු මෙම සිද්ධියට විශාල ඉඩක් වෙන් කර තිබෙනු දැකිය හැකි විය.
සෙනසුරාදා කේට් සහභාගි වූයේ බ්‍රිතාන්‍යයේ තාන්‍යයේ වාර්ෂිකව පැවැත්වෙන අපූරු, විචිත්‍ර හමුදා පෙලපාලියක් වන Trooping the Colour නැමැති පෙලපාලිය නැරඹීමට යි. මෙය සම්ප්‍රදායිකව පැවැත්වෙන්නේ බි්රතාන්යයේ රජු ගේ හෝ රැජිනගේ නිල උපන් දිනය සැමරීම සඳහා යි. මෙම සැමරුම යෙදෙන්නේ රජුගේ/ රැජිනගේ සැබෑ උපන් දිනය යෙදෙන දිනයේම නොවේ. මෙවර මෙම පෙලපාලිය පැවැත්වුණේ ජුනි 15 වැනි දින වුවත් චාල්ස් රජුගේ සැබෑ උපන් දිනය යෙදෙන්නේ නොවැම්බර් 14 වැනි දිනට ය.
කේට් කුමරිය මෙම අවස්ථාවට සහභාගි වූ දිනට පෙර දිනයේ එනම් සිකුරාදා නිවේදනයක් ද නිකුත් කර තිබුණාය. පිළිකාව සමග ඇය ගෙවන ජීවිතය ගැන යම් කෙටි සටහනක් එහි ඇතුළත් විය. එමෙන්ම පසුගිය කාලයේ ඇයගේ සුවදුක් විමසූ, ඇය ගැන සොයා බැලූ අයට කේට් එහි ස්තුතියක් ද පුද කර තිබිණි.
“මා මේ වනවිට හොඳ ප්‍රගතියක් ලබමින් සිටිනවා” යයි ද ඇය මෙම නිවේදනයේ සඳහන් කර තිබේ. “නමුත් කීමෝ ප්‍රතිකාර ලබන ඕනෑම කෙනෙකු දන්නා ආකාරයට මෙම ප්‍රතිකාර ලබද්දී හොඳ දවස්වලට මෙන්ම නරක දවස්වලට ද මුහුණ දෙන්න සිදු වෙනවා. නරක දවස්වල දී ඔබට විශාල මහන්සියක්, දුර්වල බවක් දැනෙන අතර ශරීරය ලොකු විවේකයක් ඉල්ලා සිටිනවා. නමුත් හොඳ දවස්වල ඔබට වැඩි ශක්තියක් දැනෙනවා. ඒ දැනෙන සුවයෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඔබට වුවමනා වෙනවා” ඇය තවදුරටත් පවසා තිබිණි.
තමා දිගටම ප්‍රතිකාර ගනිමින් සිටින බවත්, තව මාස කිහිපයක් එම ප්‍රතිකාර ගැනීමට සිදුවනු ඇති බවත් කේට් පවසයි. වැඩි සුවයක් දැනෙන දිනවල නිවසේ සිට කළ හැකි පොඩි පොඩි වැඩවල නිරත වන බවක් ද ඇය සඳහන් කර තිබේ.
“රජුගේ උපන් දින පෙලපාලියට මගේ පවුලේ අයත් සමග සහභාගි වීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ග්‍රීෂ්ම සෘතුව තුළ තව නිල කටයුතු කිහිපයක නිරත වීමටත් අදහස් කරනවා. නමුත් මා තවමත් සම්පූර්ණ සුවය ලබා නැති බවත් මා දන්නවා. අවිනිශ්චිතතාව මැද ඉවසීමෙන් සිටින්නේ කොහොමද කියාත් මා ඉගෙන ගනිමින් සිටිනවා” කේට්ගේ නිවේදනයේ එසේ ද සඳහන් වේ.
වැසි ඇද හැලෙමින් තිබූ පසුගිය සෙනසුරාදා හමුදා පෙලපාලිය නැරඹීම සඳහා කේට් ගමන් කර තිබුණේ ඇගේ දරුවන් ද සමග අශ්ව රථයකිනි. විලියම් කුමරු එහි ගමන් නොකළේ සම්ප්‍රදායට අනුව ඔහු ගමන් කළ යුතු වුයේ අසු පිටේ වූ බැවිනි. චාල්ස් රජුගේ සොයුරු එඩ්වඩ් කුමරු සහ සොයුරිය ඈන් කුමරිය ද ගමන් කළේ අසුන් පිට ය. වාර්ෂිකව මෙම පෙලපාලිය පැවැත්වෙන්නේ ඒ වෙනුවෙන්ම වෙන් කර ඇති ස්ථානයක යි. රජ පවුලේ අය එය නැරඹීම සඳහා බකිංහැම් මාලිගයේ සිට එම ස්ථානය දක්වා පෙරහරකින් ගමන් කරති.
කේට් සිය දරුවන් ද සමග වැහි බිඳු තැවරුණු අස් රියෙහි ගමන් කරන ආකාරය දැක්වෙන ඡායාරූපවලට සහ විඩියෝවලට මාධ්‍ය තුළ විශාල ඉඩක් වෙන් වී තිබිණි. කාලයකට පසු මේ ආකාරයෙන් ඇය ප්‍රසිද්ධියේ දැක ගන්නට ලැබීම නිසා ඇයට ආදරය කරන බොහෝ දෙනා ද මහත් සතුටට පත්ව සිටි බවක් දැකිය හැකි විය.
පෙලපාලියෙන් පසු චාල්ස් රජු සහ කැමිලා බිසව ඇතුළු රජ පවුලේ අය ගුවන් හමුදාවේ ගුවන් සංදර්ශනයක් නැරඹීම සඳහා බකිංහැම් මාලිගයේ සඳළුතලයට රැස් වූහ. කේට් කුමරිය එම අවස්ථාවට ද එක්ව සිටිනු දක්නට ලැබිණි. ඇයගේ දරුවෝ මෙන්ම විලියම් කුමරු ද එම අවස්ථාවට සහභාගි වූහ.
නිහාල් පීරිස්