පීනස දිවි ඇති තුරා විඳවන රෝගයක් කර ගන්න එපා!

අපේ නාසයෙන් වතුර ගැලීම, නිතර කිවිසුම් යාම විශේෂයෙන් උදේ අවදි වූ විට එක දිගට කිවිසුම් යාම වැනි කරදරවලින් පීඩා විඳින අය අපේ සමාජයේ බහුල ය. මේ පීඩාකාරී තත්ත්වය අප හඳුන්වන්නේ පීනස් රෝගය ලෙසිනි.

ජීවත් වන තුරාවට අප නොනවත්වාම එක දිගට කරන යමක් වේ නම් ඒ හුස්ම ගැනීමයි. ශරීරයට තෙතමනයක් සහිත වාතය ඇද ගන්නේ නාසය තුළිනි. හුස්ම ගැනීම සඳහා පිරිසිදු වාතය අප බලාපොරොත්තු වුවත් අපට එය එලෙසින් ලැබෙන්නේ නැත. අප බලාපොරොත්තු වුණත් නැතත් විවිධ අපද්‍රව්‍ය අපට ආශ්වාස කරන්නට සිදුවේ. මේවා අපේ පියවි ඇසට නොපෙනෙන තරමට ම සියුම් ය.

මෙවැනි අපද්‍රව්‍ය මිශ්‍ර වාතය නාසය තුළින් ඇතුළු වන විට මෙහි ඇති සමහර දූවිලි කොටස් නාසය තුළ ඇති රෝම අතර රැඳීම සිදුවේ. නාසය ඔස්සේ ඇතුළු වූ වාතයට ඉන්පසු ගමන් කරන්නට සිදුවන්නේ උගුර දක්වා වූ පහළට වක්‍රාකාර වන ආකාරයට පිහිටි මාර්ගයක් දිගේ ය. මෙම සංකීර්ණ ගමනේදී නාසයට ඇතුළු වී ඇති වාතය කෙළින්ම වදින්නේ නාසයේ ඇතුළත ඉහළ හා එහි දෙපැත්තේ පිහිටි සම මත ය. එවිට මෙම සමේ ස්වභාවයෙන්ම පිහිටි තෙතමනය විසින් සියල්ල එකතු කර ගැනීම සිදුවේ. එනම් තෙත් සහිත සමේ මේවා ඇලේ.

මෙම ක්‍රියාවලිය උගුරේ සිට පහළට වැටී ඇති ස්වසන මාර්ගයේ ද සිදුවන අතර එවිට එම තෙතමනය සමග සියලු දූවිලි ඉහළට ගලා ඒම සිදුවේ. විශාල වශයෙන් මෙම තෙතමනය එකතු වූ විට පපුවේ සෙම ඉහළට ගොස් එය පිටතට යන්නේ කැස්සක් ලෙසය. නාසය තුළ පවතින සෙම කිවිසුමක් ලෙස පිට වේ. මේ දියර නාසයේ ඇති විට එය සොටු දියර වශයෙනුත්, පපුවේ ඇති විට සෙම වශයෙනුත් සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි හඳුන්වමු. මේවා පීනස් රෝගීන් තුළ බහුලව දැකිය හැකි ලක්ෂණයි.

මෙවැනි ලක්ෂණ කරදරකාරී දේවල් නොවුවත් සමහරුන්ගේ නාසය සහ පපුව මෙවැනි දේවල්වලට අසාමාන්‍ය ලෙස බියක් දක්වයි. අපට දූවිලි පරිසරවලට, සීතල පරිසරවලට ගිය විට ඒ මොහොතේ සොටු දියර ගැලීමක් සිදු වුවත් එය රෝගයක් බවට පත්වන්නේ නැත. නමුත් ඉහත කී ආකාරයට මෙබඳු පරිසරයන්ට තදබල ලෙස බියක් දක්වන නාසයක් සහ පපුවක් තිබෙන කෙනෙකුට සොටු දියර ගලමින් කිවිසුම් හරිමින් ගත කරන්නට සිදුවන අතර එය රෝගයක් ලෙසින් ඔවුන්ව පීඩාවට පත්කරයි.

පීනස් රෝග වැළඳීම යනු එය වේ. වැඩි දෙනෙකුට පීනස් රෝගය නොවැළඳෙන්නේ ඔවුන් මෙබඳු ඕනෑම පරිසරයකට ගැළපෙන සාමාන්‍ය අය වීම නිසාය.

මෙසේ සාමාන්‍ය අයගේ නාසය තුළ ඇති සමට මෙවැනි අපද්‍රව්‍ය සමඟ කිසිදු සටනක් නැත. නමුත් පීනස් රෝගීන්ගේ නාසයේ සමට මේවා ඔරොත්තු නොදේ. එවැනි දෙයක් නාසයට ඇතුළු වූ වහාම විටින් විට වතුර මෙන් දියර ගලා එන්නේ නාසය තුළ ඇති සමෙහි රැඳුණු දේවල් මුළුමනින්ම පිටතට ගෙන සෝදා පිරිසුදු කර හැරීමටය. කිවිසුම් ඇතිවන ආකාරය දැන් ඔබට පැහැදිලි ඇතැයි සිතමු.

නාසයට පිරිසිදුකම අවශ්‍ය වුවද එම පුද්ගලයාට මෙලෙස නිතර නිතර නාසයෙන් දියර ගැලීම හා කිවිසුම් යාම දරාගැනීම අසීරු තත්වයකි. එක් අතකින් තමන් විඳින පීඩාව ය. අනෙක් අතට පිරිසක් ඉදිරියේ නිතර කිවිසුම් පිට කරන්නට සිදුවීමෙන් ඇතිවන අපහසුතාවයයි. මේ තත්ත්වය වළක්වා ගත හැකි ක්‍රියාමාර්ග දෙකක් තිබේ. එකක් නම් පිරිසිදු වාතය පමණක් හුස්ම ගැනීම ය. අනෙක අපිරිසිදු වාතය සමග ද ජීවත්වීමට ඉගෙන ගැනීමය.

නමුත් පිරිසිදු වාතය පමණක් හුස්ම ගැනීමට සිතන්නේ නම් අපට නිදහසේ ගමනක් යාමටවත් නොහැකි වනු ඇත. හේතුව, අපට වුවමනා කරන හැම තැනම පිරිසිදු වාතය පමණක් නොතිබීම ය. එසේ නම් අපට සිදුවන්නේ අපිරිසිදු වාතය සමඟ ද ජීවත්වීමට ඉගෙන ගැනීමට ය. නමුත් ඒ අතරම සිරුරට ඔරොත්තු නොදෙන එවැනි දේවල්වලින් හැකිතාක් ඉවත් වීමට ද සිතට ගත යුතුවේ.

අප සිටින ස්ථානයක අපට හුස්ම ගන්නට තිබෙන වාතය සමග ඇති එවැනි අපද්‍රව්‍ය අපේ පියවි ඇසට පෙනෙන්නේ නැත. ඒවා එපමණටම සියුම් බවින් යුතු නිසා අපට ඒවායින් ඈත් වීම පහසු නොවේ. නමුත් එවැනි අපද්‍රව්‍ය වාතය මඟින් ඇතුළු වීම නිසා යම් කෙනෙකුට සොටු දියර ගැලීම කිවිසුම් ආදිය හටගන්නේ නම් හැකි තාක් දූවිලි සහිත ස්ථාන මගහැරීම අවශ්‍ය වේ. නිදසුන් වශයෙන් නිවසේ මකුළු දැල් කැඩීම, දූවිලි රැඳුණු පොළොව අතුගෑම, පොත් රාක්ක අස්පස් කිරීම වැනි දෑ දක්වන්නට පුළුවන.

කොස්සෙන් අතුගාන කුණු කැබලි ඉදිරියට විසි වුණත් දූවිල්ල ඉහළ වාතයට එකතු වේ. එවැනි පියවි ඇසට නොපෙනෙන දේ සමග ඔබට හුස්ම ගන්නට සිදු වනු ඇත. ඒ නිසා එබඳු කෙනෙක් වඩා සුදුසු තෙත රෙදි කැබැල්ලකින් පොළොව මොප් කිරීමයි. පාරේ දූවිල්ලට වඩා ගෙතුළ දූවිල්ල අසීරු ය. ඇඳන් යට පොළොවේ ඉරක් ඇඳ බැලුවොත් එහි තිබෙන දූවිලි ප්‍රමාණය ඔබට හඳුනාගත හැකිවනු ඇත. නිවෙස්වල දිවා කාලයට ජනෙල් වසා තැබීම සුදුසු නොවේ. එක් පැත්තකින් ගේ තුළට ඇතුළු වන වාතයට අනෙක් පැත්තෙන් පිට විය හැකි සේ ජනේල දෙකක් හෝ එක් ජනේලයක් සමග දොරක් විවර කර තැබීම සුදුසු වේ.

අප හුස්ම ගන්නා වාතය කෙළින්ම ගමන් කරන්නේ පපුව ප්‍රදේශයට ය. සීතල වාතය නාසය දිගේ ශරීරය තුළට පැමිණි විට විශාල වශයෙන් දියර නිකුත් කර එම සීතල වාතය වතුර සමඟ මුසු කෙරේ. මෙය කරන්නේ ශරීරය තුළට සීතල ගමන් කිරීම වැළැක්වීමේ උපක්‍රමයක් ලෙසිනි. නමුත් සීතල වාතය ඔරොත්තු දෙන අයට මේ ගැටලු ඇති වන්නේ නැත.

ඇතැම් ආහාර වර්ගද මේ ආකාරයට සමහරුන්ගේ ශරීරයට හිතකර නොවන අවස්ථා තිබේ. ඒවා ගත් විට නාසයෙන් දියර ගැලීමේ තත්ත්වය ඇති වන්නේ එනිසා ය. එය ද පීනස් රෝගීන්ට මිස අනෙක් අයට බලපාන තත්ත්වයක් නොවේ. එසේම මල්වල පරාග, බළලුන්ගේ ලොම්වල කෙළ වේලීමෙන් පරිසරයට එකතු වන කූඩු, කැරපොත්තන්ගේ අපද්‍රව්‍ය වලින් වාතයට එකතු වන කුඩු වැනි දේවලුත් පීනස් රෝගීන්ට ඇතැම් විට අගුණ වන්නට පුළුවන.

කෙසේ වුවද මේ සියලු දේවල් මේ අන්දමට අසාත්මික වන්නේ පීනස වැළඳෙන අයට පමණි. සෙසු අයට මේවා අගුණ නොවේ.
ඒ නිසා පීනස වැළඳෙන අයට මෙබඳු දේවල් සමග නිතර ගැටෙන්නට සිදු වීම යනු නාසයත්, හුස්ම මාර්ගයත් සටනකට යොමු කරවීමකි. එවැනි දේ සමඟ දිගින් දිගටම සිටින්නට සිදු වීමෙන් නාසය ඉබේම සටන්කාමියකු බවට පරිවර්තනය වේ. ඒ තත්ත්වයට එන විට එම රෝගියා තුළ පීනස් රෝගය නිදන්ගත වී හමාර ය. එනිසා පීනස් රෝගියකු තමන්ට නුසුදුසු වන දෑ හඳුනාගෙන එයින් ඈත් වීම ඉතා වැදගත් ය.

පීනස් රෝගය නිදන්ගත වූ සමහරුන්ගේ නාසය ඇතුළත සම ඉදිමී ඉලිප්පී නාස්පුඩු තුළ ගැටයක් ආකාරයට වර්ධනය වේ. නාසයේ මස්දලු ලෙසින් හඳුන්වන්නේ මේ තත්ත්වයයි. සමහර අයගේ මෙම ගැටය පුපුරා රුධිරය පිටවන අවස්ථා ද තිබේ. ලේ පීනස ලෙසින් සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වන්නේ එයයි.

පීනස වැනි රෝග වලින් බේරීම සඳහා ඕනෑම පරිසරයක සිටින්නට සිරුර පුරුදු කරවීම ද කළ හැකිය. මෙහිදී නාසයට ඉරීම සඳහා ද පපුවට තව නොයෙක් ඖෂධ ද රෝගියාට ලැබෙනු ඇත. මේවායින් කෙරෙන්නේ නිතර එවැනි පරිසරයක සිටින අයෙකුගේ නාසය කරනු ලබන සටනට විරාමයක් ලබා දීමය. නමුත් සිරුර එම පරිසරයට හුරු පුරුදු කරවීම සඳහා දෙනු ලබන ප්‍රතිකාර දිගින් දිගටම ගත යුතුවේ. සුවයක් ලැබුණු පමණින් ප්‍රතිකාර නතර කිරීම යනු තාවකාලික පියවරකි.

නාසය තුළ ඇති සම හා ශ්වසන මාර්ගය එම පරිසරයට හුරු කරමින් දිගු කලක් කිසිම ආකාරයකින් ප්‍රතිකාර නවත්වන්නේ නැතිව වෛද්‍ය උපදෙස් අනුවම කටයුතු කළ යුතුය. නැතිනම් මුලු ජීවිත කාලය පුරාවටම මෙම රෝගයෙන් පීඩා විඳීමට සිදුවේ. සමහර අය මෙය රෝගයක් කියාවත් නොදැන සාමාන්‍ය තත්ත්වයක් යැයි සිතා පීනස මුළු ජීවිත කාලයටම කරදරයක් බවට පත් කර ගනිති. නමුත් එහි අවසානය වන්නේ අවසානයේ ඔහු ඇදුම රෝගියකු බවට පත්වීම ය. එය විශාල කායික පීඩාවන් රැසක් අත්කර ගෙන රෝගී තත්ත්වයක් බව අවධාරණය කරවමු.

කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා

ඉන්දු පෙරේරා

 

විනිවිද සායනය