පුංචි මිනිහාගේ හෝටල් බත් පත ‘දේශීයකරණයට’ ලක් වුණ හැටි

පසුගිය කාලය තුළ ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ දේශියත්වය යන සංකල්පය ඉහළම තලයකට පත් වූ බව නොරහසකි. ආහාර පානවල සිට ඖෂධ දක්වා වන සියලු දේ සඳහා දේශීයත්වය පදනම් විය යුතු බවට ප්‍රබල මතයක් සමාජගත විය.

එම දේශීයත්ව සංකල්පය ප්‍රායෝගික තලය තුළ ක්‍රියාත්මක කරමින් මේ වන විට අප රටේ සාමාන්‍ය පැළැන්තියේ හෝටල් සහ භෝජනාගාරවල බත් පත තුළින් ද අන් කවරදාවත් නොමැති සරල දේශීය මුහුණුවරක් දක්නට ලැබේ.

ඒ වෙනදා සාමාන්‍ය හෝටලයක බත් පතේ දක්නට ලැබෙන පරිප්පු, අර්තාපල්, බෝංචි, බීට් රූට්, වම්බටු ආදී ව්‍යංජන අතුරුදන්ව ඒ වෙනුවට සෝයා මීට්, කෙසෙල්මුව, අඹ, මඤ්ඤොක්කා වැනි ව්‍යංජන සහ වැල්දොඩම් වැනි පළා වර්ග එක් වී තිබීම ය.

ඒ සම්බන්ධයෙන් සාමාන්‍ය පැළැන්තියේ හෝටල් සහ ආපන ශාලා හිමියන් කියා සිටිනුයේ අද වන විට අලෙවි කරන බත් පත සඳහා පෙර පරිද්දෙන් ව්‍යංජන එක් කළහොත් ගෑස් මිල ආදිය ද එක් වන විට සාමාන්‍ය ‘මස් හෝ මාළු සහිත සාමාන්‍ය බත් පතක් රුපියල් තුන්සියය පමණ තෙක් මිල ඉහළ නැංවීමට සිදු වන බව ය.

අප රටේ සාමාන්‍ය ජනතාවගේ ආහාර රටාවන් පවත්නා සමාජ, ආර්ථික තත්වයට සමානපාතිකව ඉහළ පහළ යාම සාමාන්‍ය තත්වයකි. ඒ සම්බන්ධ පැහැදිලි ප්‍රවණතාවක් දැකිය හැකි වනුයේ අසූව දශකයේ මුල සිට මෙරට ක්‍රියාත්මක වූ විවෘත ආර්ථිකයත් සමඟ ජනතාව බහුල ලෙස විදේශිකත්වය මුල් කොට ගත් නව ආහාර සංස්කෘතියකට යොමු වීම ය.

වෙළඳපළින් මිලට ගත හැකි පිසූ ආහාර, කඩිනමින් පිස ගත හැකි ආහාර, මස්, මාළු හා සම්බන්ධ නවීන තාක්ෂණය මගින් සකසන ලද විවිධ ආහාර ඒ අතරින් මුල් තැනක් ගන්නා ලදී.

එම නවීන ආහාර රටාව මුල් කොට සමාජය පුරා බෝ නොවන රෝග ව්‍යාප්තියක් සිදුවන බවට මතයක් ද සමාජය පුරා පැතිර යන්නට වූයේ එම නව ආහාර සංස්කෘතියේ ව්‍යාප්තියත් සමගිනි.

අධික තෙල්, ලුණු සහ සීනී මිනිස් ශරීරයට නුසුදුසු බව සැබෑ ය. එහෙත්, මෙම ප්‍රමිතියෙන් යුතු නවීන ආහාර බොහොමයක ඒවායේ අඩංගු සංඝටකයන් සඳහන්ව තිබේ. එනිසා වරද ඇත්තේ එම ආහාර පරිභෝජන රටාවේ මිස ආහාර වට්ටෝරුවල නොවන බවට ද ඇතැම්හු මත පළ කළහ.

කෙසේ හෝ වර්තමානයේ පවත්නා ආර්ථික උද්ධමනය විදේශීය වත්කම් සිඳී යාම වැනි තත්වයන් තුළ මෙරට සාමාන්‍ය ජනතාව ගේ ආහාර රටාව සහ සංස්කෘතිය කිසියම් චාම් සරල රටාවකට පත්ව ඇති බව පෙනේ.

එහෙත්, මේ අසීරු අමාරු තත්වය තවත් ඉහළ නැඟුණහොත් මෙම ආහාර රටාව තව දුරටත් වෙනස් වීමෙන් දේශීය වශයෙන් උපයා සපයා ගත හැකි මිනිස් ආහාර වලට නොගන්නා ගෙඩි, අල, පලා ආදී ශාක කොටස් හා සත්ව මාංශ ද ආහාරයට ගැනීමට ඇතැමුන් පෙළඹෙනු ඇත.

ඒ අනුව දේශීයත්වය යන මනැසට සුව දෙන වදන පවා අප රටේ ජනතාවට කිසියම් ප්‍රමාණයකට හෝ නීරස තිත්ත බවකට පත් වීමට වත්මන් ආර්ථික අර්බුදය ඉවහල් වී ඇති බව පෙනේ.

ප්‍රියන්ත දීකොටුවගේ

එතෙර - මෙතෙර