පුනර්ජනනීය ක්‍රම මගින් විදුලිය උත්පාදනය කර ගන්නා ග්‍රාමීය ඉන්දියානුවෝ

ශ්‍රී ලංකාව ද පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි නැඹුරු විය යුතු කාලය පැමිණ ඇති බවට නොහැ‍ගෙන කෙනෙකු මේ වනවිට නැති තරම් වුව ද තවමත් ඒ පිලිබදව වගකිවයුත්තන්ට නොහැ‍ගෙන්නේ මන්දැයි අපි කාටත් හොදින්ම වැටහේ. එයට හේතුව පුනර්ජනනීය ක්‍රම භාවිත කළහොත් අදාළ ආයතනවල සේවයේ යෙදෙන ඒ ඒ පුද්ගලයන් වෙත නොලැබී යන කොමිස් මුදල අති විශාල වන බැවින් විය හැකිය.

බලධාරීන් විසින් සූරාකෑමට ලක්වන අප අන්ත අසරණ තත්වයට පත්ව මිරිකෙමින් ජීවිතය ගැටගසා ගන්නට වෙර දරණ විට, අපට වඩා ඉතාම අඩු ආදායම් ලබන, ඉතාම දුක්ඛිත ජීවිත ගත කරන ග්‍රාමීය ඉන්දියානු ජනතාව පවා මේ වනවිට තමන් විසින් ම උත්පාදනය කර ගනු ලබන්නා වූ බල ශක්ති මූලාශ්‍ර භාවිතයට ගනිමින් පවතී. විදුලි බලය නොමැති ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වුව ද ඔවුන් පැය 24 පුරාම විදුලිය උත්පාදනය කර ගනිමින් විද්‍යුතයෙන් කළ හැකි සියළුම කාර්යයන් ප්‍රයෝජනයට ගනිමින් සිය දිවිසරි කර ගනිති. 

සාමාන්‍යයෙන් ඉන්දියාවේ ග්‍රාමීය වශයෙන් විදුලි බලය ලැබී තිබෙන්නේ සියයට 65 ක් පමණ වූ පිරිසකට පමණි. ඉතිරි සියයට 35 න් සියයට 90 ක් ම ඉහත කී පුනර්ජනනීය ක්‍රම භාවිත කර ගනිමින් විදුලි පාරිභෝජනය ඉතා සුරක්ෂිත ලෙස ඉටු කර ගනිති. ඔවුන් විදුලි උත්පාදනය සදහා සූර්ය කෝෂ, ආරෝපණය කළ හැකි බැටරි, ඩයිනමෝ, ඩීසල් විදුලි උත්පාදක යන්ත්‍ර හෙවත් ජේනරේටර් ආදී උපාංගය භාවිතයට ගන්නේ නැති තරම් ය. මන්ද යත් එවැනි ක්‍රම වෙත හැරෙන්නට තරම් වත්කමක් ඔවුන් සතු නොවන බැවිනි. මේ නිසාම ඔවුන් විවිධ සාම්ප්‍රදායික සහ ස්වභාවික ක්‍රම මගින් විදුලිය උත්පාදනය කර ගැනීමට පුරුදු වී සිටිති.

අධික වියළි කාලගුණයක් සහිත ඉන්දියානු ග්‍රාමීය ප්‍රදේශවල සුළං මෝල් ක්‍රමය මගින් විදුලිය ජනනය කර ගැනීම ඉතාම සුලභව සිදු වන්නකි. මේ සදහා අවශ්‍ය වන්නේ දිරාපත්ව ඉවත දමන මට්ටමේ පා පැදියක් සහ ඩයිනමෝවක් පමණි. මෙම උපාංග දෙක ඇතුළු එදිනෙදා පරිසරයෙන් සපයා ගත හැකි විවිධ ද්‍රව්‍ය කීපයක් භාවිත කරගෙන සුළං බලයෙන් විද්‍යුතය උත්පාදනය කිරීම සාම්ප්‍රදායික සහ සරළ ක්‍රියාවකි. එහි සරළ නිර්මාණය මේ ආකාරයට පැහැදිලි කළ හැකිය.

පළමුවෙන්ම උණ බට හෝ ලෑලි භාවිතයෙන් අඩි 60 – 100 ක් පමණ උසක් සහිත වන ආකාරයට අට්ටාලයක් සාදා ගත යුතු ය. එහි මුදුනට වන්නට ඉවත දමන ලද තහඩු හෝ ප්ලාස්ටික් යොදා සුළං පෙති ආකාරයට සකස් කරන ලද ප්‍රමාණයෙන් විශාල සුළං පෙති තුනක් හෝ හතරක් සුළං හමන විට භ්‍රමණය වන පරිදි සවි කරගත යුතුය.

එය සම්බන්ධ කරනු ලබන්නේ එහි ම සවි කරනු ලැබූ ඉවත දමන මට්ටමේ බයිසිකල් පැඩලයටයි. සුළං බලයෙන් සුළං පෙති භ්‍රමණය වනවිට බයිසිකල් පැඩලය කැරකෙන්නට පටන් ගනී. එවිට ඩයිනමෝව ක්‍රියාත්මක වී විද්‍යුතය උත්පාදනය වේ. එලෙස උත්පාදනය වන විදුලිය උණ බට හෝ ලෑලිවල දවටා ඇති විදුලි කම්බි දිගේ පහළට ඇදී එනු ලබයි.

මෙකී විද්‍යුතය විදුලි බල්බ දල්වා ගැනීම, වතුර මෝටර් ක්‍රියාත්මක කර ගැනීම වැනි අත්‍යවශ්‍ය කටයුතු සදහා ඔවුන් යොදා ගනිති. බොහෝ විට වියළි කාලගුණයක් සහිත ග්‍රාමීය ප්‍රදේශවල වගා කටයුතු සදහා අවශ්‍ය ජලය පවතින්නේ පොලොව මට්ටමට වඩා ඉතාම ගැඹුරින් වන බැවින් වගාවන් සදහා ජලය සපයා ගැනීමේ විශාල අපහසුතාවකට ඔවුන් මුහුණ දෙති. නමුත් ඉහත කී ආකාරයට ඔවුන් විසින්ම සකස් කර ගන්නා ලද සුළං මෝල් මගින් විදුලිය නොමැති ග්‍රාමීය ප්‍රදේශවල පවා විදුලියෙන් ක්‍රියාත්මක වන වතුර මෝටර් භාවිතයට ගැනීමට ඔවුන්ට හැකියාව ලැබී තිබේ.

අද වනවිට අපට ද සිදු වී තිබෙන්නේ ද ග්‍රාමීය ඉන්දියානුවන් මෙන් මෙවැනි සාම්ප්‍රදායික ක්‍රම පිළිබදව අවධානය යොමු කිරීමට ය. නොඑසේ නම් නුදුරේ දීම අපට සිදු වන්නේ අහස දෙස බලා සාප කරමින් ඔහේ ජීවත් වන්නට පමණි.

දුලංජලී මුතුවාඩිගේ

එතෙර - මෙතෙර