පුවත් පත් කලා “නව නිමැවුම් කරු” බන්දුල පද්මකුමාර සදහටම සමුගනියි

ශ්‍රී ලාංකේය පුවත් පත් කලාවේ මෑත කාලීන නව නිමැවුම් කරුවකු ලෙස කීර්ති නාමයක් හිමි කර ගෙන සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්ම කුමාර මහතා අභාවප්‍රාප්ත විය.කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා හැත්තෑව දශකයේ මුල් භාගයේ “ගීතා”නමින් සිනමා සඟරාවක් අරඹමින් දියත් කළ පුවත් පත් කලා ජීවිතය ලක්බිම ජාතික පුවත් පත ගොඩ නැංවීම දක්වාම ප්‍රවර්ධනය වූ අතර ඉන් පසු මුද්‍රිත මාධ්‍ය තොරතුරු ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් ගෙන එන මුල් පිටුව රූපවාහිනී වැඩ සටහන මඟින් ද මාධ්‍ය ලෝකයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට ඔහු සමත් විය.සිය පුවත් කලා ජීවිතයේ ආරම්භයේ සිටම නව පුවත් පත් අරඹමින් ඒවායේ ප්‍රධාන කර්තෘ පදවියට පත් වීම ඔහුගේ මාධ්‍ය ජීවිතයේ සුවිශේෂත්වයකි.අද වන විට සති අග පුවත් පත් පාඨකයන්ට නැතිවම බැරි ටැබ්ලොයිඩ් අතිරේක නව සංස්කෘතිය ද හඳුන්වා දෙන ලද්දේ බන්දුල පද්ම කුමාරයන් විසිනි.පසුව ලේක් හවුස් හි කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ලෙසින් සේම එහි සභාපති වරයා ලෙස ද මාධ්‍ය හා සම්බන්ධ පරිපාලන කටයුතු වල යෙදුණු පද්මකුමාර මහතා කෙටි කලක් රෝගාතුරව සිට මිය යන විට හැත්තෑ එක් වන වියේ පසු විය.ඒ මහතා දෙදරු පියෙක් ද වෙයි.අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

කාලීන පුවත්