“පුළුවන් නම් විශ්ව ශක්තියෙන් ගිනි කූරක් දශමයක් එහා මෙහා කරන්න” හේතුවාදී ලේකම් තාරක වරාපිටියගෙන් විවෘත අභියෝගයක්

“පුළුවන් නම් විශ්ව ශක්තියෙන් ගිනි කූරක් දශමයක් එහා මෙහා කරන්න” හේතුවාදී ලේකම් තාරක වරාපිටියගෙන් විවෘත අභියෝගයක්
‘විශ්ව ශක්තිය’ යනු වත්මන් ජන සමාජයේ බොහෝ දෙනකුගේ අවධානයට යොමු වන මාතෘකාවකි.

විශේෂයෙන් බටහිර, ආයුර්වේද, දේශීය ආදී වෛද්‍ය ක්‍රම මගින් සුව නොවන බොහෝ රෝග විශ්ව ශක්තියෙන් සුව කළ හැකි බව පවසන ලියාපදිංචි වෛද්‍යවරුන් නොවන පිරිසක් මේ දිනවල සමාජ කරළියේත්, ජන මාධ්‍යවලත් විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙමින් සිටිති. එහෙත්, කුමක්ද? මේ විශ්ව ශක්තිය.

අපි ඒ පිළිබඳව ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ ලේකම් තාරක වරාපිටිය ගෙන් අසා සිටියේ ඔවුන් සිද්ධාන්තමය වශයෙන් ම මේවා ප්‍රතික්‍ෂේප කරන බැවිනි.

■ හේතුවාදීන් විශ්ව ශක්තිය ප්‍රතික්‍ෂේප කරනවා නේද?

එහෙම ප්‍රතික්‍ෂේප කිරීමක් නැහැ. අප ජීවත්වන විශ්වයේ ඇති මේ තාක් හඳුනා නොගත් ශක්තිය ප්‍රභවයන් පිළිබඳව න්‍යෂ්ටික විද්‍යාව වැනි විෂය පථයන් ඔස්සේ සිදු කෙරෙන විද්‍යාත්මක පරීක්ෂණ සම්බන්ධයෙන් අපි නිරතුරුවම සංවිභාගශීලියි..

■ නැහැ ;මා ඔබෙන් අසන්නේ විද්‍යාවට නතු නොවන විශ්ව ශක්තිය නම් ශක්ති පදාර්ථයන් ගැන මිනිසුන්ට කිසිසේත්ම වටහා ගන්න බැරි විශ්වයේ පාරභෞතික ශක්ති පදාර්ථ තියනවාය කියන මතය ලෝකයේ ආගම් ඇතිවීමට පවා හේතු වුණු අති පෞරාණික සංකල්පයක්.

බා දහමේ සංසිද්ධීන් නිවැරදිව තේරුම් ගන්න බැරි අතීත මිනිසුන් ආරම්භ කරපු ඒවාට ගුප්ත ආරෝපණ ලබා දීම අදත් ඒ ආකාරයට ම සිද්ධ වෙනවා.ඔබ ඔය විශ්ව ශක්තිය කියන්නේ ඒ මිථ්‍යා විශ්වාස වලට

■ ඔබ එහෙම කීවත් ‘රේකී” “ප්‍රාණික්’ වැනි මිනිසාගේ ආත්මය සහ විශ්වය සම්බන්ධ කෙරෙන ආධ්‍යාත්මික ප්‍රතිකාර ක්‍රම මගින් අදත් ජනතාව සුවපත් වෙනවා.

ඒක තමයි මානව චින්තනයේ හැටි. දේදුන්න කියන සංසිද්ධියේ විද්‍යාත්මක පැත්ත ගැන පිරිසක් කතා කරන කොට තවත් පිරිසක් ඒක ඉන්ද්‍ර දෙවියන්ගේ දුන්න විදිහට හඳුන්වනවා. නමුත්, ඔය කියන විකල්ප වෛද්‍ය ක්‍රම වල ඇත්තේ හුදු තීව්‍ර මානසික බලපෑම් මගින් සිදුවන නොවිධිමත් මනෝ චිකිත්සක අගයක් විතරයි කියන එක අද වන විට මනාව ස්ථාපිත වෙලා තියනවා.

බලි,තොවිල්, ශාන්තිකර්ම, යාඥා ඔය හැමදේකම තියෙන්නෙත් නොවිධිමත් මනෝ චිකිත්සක බලපෑමක් විතරයි.හැබැයි ඉතින් ඒක කොහේ හරි තියන බෝතලේක තියන නොදන්න දියරක් බොනවා වගේ වැඩක්. පිපාසෙ සංසිඳෙන්නත් පුළුවන්;ලෙඩ වෙන්නත් පුළුවන්; බීපු හැටියෙම මැරිලා වැටෙන්නත් පුළුවන්.

■ නමුත්, කිසිම කායික බලයක් නැතිව චිත්ත බලය මුල් කරගෙන විවිධ භෞතික ක්‍රියාකාරකම් කරන්න පුළුවන් බව අද සනාථ වෙලා තියනවා නේද?

ඒ වගේ දෙයක් සිදු කරන්න පුළුවන් බවට කිසිම පරීක්ෂණයකින් සනාථ වෙලා නැහැ. ඒවා ජනතාව නොමඟ යැවීම විතරක් බව මේ වන විට මනාව තහවුරු වෙලා තියනවා.හුඟක් වෙලාවට ඒවා පිටිපස්සේ කපටි කයිරාටිකයො ඉන්නවා

■ නමුත් කායික බලයක් නැතුව හැඳි, ගෑරුප්පු වගේ ලෝහමය වස්තූන් නැවීමේ සිද්ධීන් හා පුද්ගලයන් ගැන තොරතුරු තියනවා.

ඒත්, ගිය අස්සයා පිටේ වත් නො ආ අස්සයා ගේ පිටේ වත් නඟින්න බෑ කියලා කතාවකුත් තියනවනේ; ඒ හින්දා ඔය වගේ දේවල් ගැන අතනින් මෙතනින් අහුලා ගත්තු වැරදි තොරතුරු පදනම් කර ගෙන ඔය ගැන යථාර්ථය වටහා ගන්න බැහැ.

■ නමුත් විශ්ව ශක්තිය, වගේ බලවේග වලින් ඒ වගේ විස්මිත ක්‍රියාවල් කරන්න පුලුවන් බව කියන පුද්ගලයන් අපේ රටේත් ඉන්නවා.

විස්මිත ක්‍රියාවල් කරන්න පුලුවන් කියන පුද්ගලයෝ නෙවෙයි, අපිට වැදගත් කරලා පෙන්වන පුද්ගලයෝ. ඒ අතරේ සමහරු ඒ වගේ දේවල් ගැන කයිවාරු ගහලා අන්දරේ ගල ඉස්සුවා වගේ මොකක් හරි වචන හරඹයක් දාලා පැනලා යනවා. කවදාවත් ඉස්සරහට එන්නේ නැහැ.නමුත් එතකොටත් ඒ මනුස්සයා හේතුවාදීන්ටත් අභියෝග කරපු මහා බලසම්පන්නයෙක් කියන පණිවිඩය සමාජගත වෙනවා,අපි ඒ සෙල්ලං ගැනත් හොඳට දන්නවා.අර කතාවට කියන්නේ “කොහෙවත් ඉන්න කබ්බො ෆෝම් කරනවා”කියලා.එහෙම දේවල් කරන්න අපිට කිසිසේත්ම ඕනෙ නැහැ

■ ඒත්,විශ්ව ශක්තිය යොදා ගෙන ඒ වගේ භෞතික චලනයක් කරන්න යමෙක් ඉදිරිපත් වුණොත්?

මෙහෙමයි,ඒ ඉදිරිපත් වීම ගැනත් විද්‍යාත්මකව හිතන්න ඕනෙ.අපි හිතමු කවුරු හරි කියනවා මට පුළුවන් විශ්ව ශක්තිය මඟින් අහසේ වළාකුළු පා කරන්න කියලා.ඒක විධිමත් පර්යේෂණයක් වෙන්නේ නැහැ. මොකද කොහොමත් වළකුළු පාවෙන නිසා. ඒ හින්දා මේ වගේ දෙයක් පර්යේෂණාත්මකව සනාථ කරනවා නම් ඊට වඩා නිශ්චිත කරුණක් මුල් කරගෙන නිවැරදි පදනමක් මත විධිමත් ක්‍රමවේදයකින් ඒ දේ කරන්න ඕනේ;

■ හොඳයි ඔබම කියන්න; ඒ වගේ පරීක්ෂණයක් කරන හැටි.

අපි මෙහෙම හිතමු. සාමාන්‍ය සුදු පාට කරදාසියක් උඩ පුංචි සරල රේඛාවක් ඇඳලා කරදාසිය සමතලා සිමෙන්ති පොළවක් උඩ තියනවා. ඊළඟට ඒ සරල රේඛාව උඩ සාමාන්‍ය ගිනි කූරක් තියනවා. ඊට පස්සේ ඒ ගිනි කූර කොළයත් එක්කම හුළං නොවදින්න වතුර බොන වීදුරුවක් වගේ පැහැදිලි වීදුරු ආවරණයකින් වහනවා. ඊට පස්සේ අපි කාට හරි කිව්වොත් ඒකට අත නොතියා පැත්තක ඉඳලා ඔය කියන ඕනෙම බලයකින් ඒ ගිනි කූර දශමයකින් හරි එහාට මෙහාට කරන්න කියලා පුලුවන් වෙයිද? බෑනේ.

■ ඔබට පුලුවන්ද? කෙනෙකුට එහෙම ඉදිරිපත් වෙන්න ඉඩ සැලසෙන විදිහට ඒක විවෘත අභියෝගයක් විදිහට ඉදිරිපත් කරන්න

මෙහෙමයි,ඒ අභියෝගයෙන් රටේ ජනතාව තුළ තියන මිථ්‍යා ආකල්ප දුරු වෙනවා නම් ඒ අභියෝගය කරන්න පුළුවන්.එහෙම නැතුව පෞද්ගලික මට්ටමින් ඒ වගේ දේවල් වලට යොමුවෙන්න අපිට වෙලාවක් නැහැ

■හොඳයි, අපි හිතමු,ජන සමාජයට වින කරන මිථ්‍යා ජාවාරම් වලට එරෙහිව හඬක් නඟන “විනිවිද” වෙබ් අඩවිය ඒ සම්බන්ධීකරණ කටයුතු භාර ගත්තා කියලා;ඔබට පුළුවන් ද ඒ විවෘත අභියෝගය කරන්න

පුලුවන්;. ඒ පරීක්ෂණයේ විනිවිද භාවය නිරීක්ෂණය කරන කීප දෙනෙක් ඉදිරියේ පුළුවන් නම් ඒ හපන්කම කරන්න කියලා මම විවෘතවම අභියෝග කරනවා; කොහොමත් මම ඉතා පැහැදිලිවම කියන්නේ ඔය කියන් විශ්ව ශක්තිය වගේ මිථ්‍යා සංකල්ප වලින් ගිනිකූරක් වත් එක දශමයක් හොල්ලන්න බෑ කියලාම තමයි.

■ ඒත්,කවුරුන් හරි ඉදිරිපත්  වුණොත්?

මේ වෙබ් අඩවියට ඊමේල් මඟින් දන්වන්න පුළුවන්නේ [email protected]

සහන් සංකල්ප සිල්වා

 

 

 

 

එතෙර - මෙතෙර