සමාජ ආර්‍රථික වශයෙන් දියුණු බොහෝ රටවල ජනතාව තම රටවල ඇති අතීත සහ දුරාතීත උරුමයන් කෙරෙහි අතිශය සංවේදී වෙති.එහෙත්, ඊට සාපේක්ෂව එවන් අතීත සහ දුරාතීත උරුමයන් උතුරා යන අප රටේ ජන සමාජය ඒවා කෙරෙහි කිසිදු උනන්දුවක් පළ නොකිරීම අප තුළ ශෝකාකූල විස්මයක් ජනිත කරවයි.නිසැක ලෙසම එය ජාතික ඛේදවාචකයක් ද වෙයි. මේ ඡායාරූපයේ දැක්වෙන අපූරු නිර්මාණය හමු වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගාල්ල රත්නපුර දිස්ත්‍රික් මායිම්වලට ආසන්නව ඇති ඉඟුරුදළුව කිරිමැටිවල වේපනාව ප්‍රදේශයේ පූජා ගල්ලෙන නමින් හඳුන්වන ඉපැරණි විශාල ගල්ගුහාව ආසන්නයේ දී ය.එහි දොලක මැණික් ගැරීමට ගිය අයෙකු මෙය හමු වූ බව දැනගන්නට ඇත.කහඳ පාෂාණයෙන් නිර්මිතයැයි විශ්වාස කරන මෙය ප්රාග් ඓතිහාසික මානවයන් පැළඳී ආභරණයක් බවට බොහෝ දුරට සැක කළ හැකි නිර්මාණයක් බව මේ ඡායාරූපය දුටු ඒ පිළිබඳ දැනුම ඇති කීප දෙනෙක්ම පවසා ඇත.මෙහි ඇති රවුම් සිදුර හා මටසිළුටු නිමාව ස්වාභාවිකව සිදුවූවකට වඩා කිසියම් අන්දමක මානව ශ්‍රමය යොදා කළ නිමැවුමක් බවට සැක කළ හැකිය.
සත්ව ඇටකටු වලින් මෙබඳු ආභරණ නිමකර පැළඳීම ප්රාග් ඓතිහාසික මානවයින්ගේ පුරුද්දක් වූ බවට සාක්ෂි බුලත්සිංහල පාහියංගල කිතුල්ගල බෙලිලෙණ ආදී කැණීම් වලින් තහවුරු කරගෙන ඇත.ආදී මානවයාගේ මෙම ආභරණ භාවිතය හුදෙක් අලංකාරයට වඩා තමනට ගුප්ත පිහිටාරක්ෂාවක් ලැබීම ආදී අරමුණු පෙරදැරිව කළ බවට මානව විද්‍යාඥයෝ අනුමාන කරති.මේ මානවයන් කහඳ පාෂාණයෙන්ද ක්ශුද්‍ර ශිලා මෙවලම් ආදිය නිපදවූ බවට ද සාධක සොයාගෙන ඇත. ඒනිසා මේ නිර්මාණය අහම්බයකින් සොයාගන්නට ලැබුණු ස්ථානයට ආසන්නතම පූජා ගල්ලෙන ආදී මානවයන් පදිංචිවි සිටි ස්ථානයක් බවට ඉඟුරුදළුව කිරිමැටිවල ආදී අවට ගම්වාසීන් තුළ පැවති විශ්වාසය මේ සොයා ගැන්ම නිසා වඩාත් ප්‍රබලවී ඇත.එමෙන්ම මෙය ඒ ස්ථානයේ වැළලී ඇති මෙවැනි නිමැවුම් විශාල ප්‍රමාණයකින් එකක් බවට සැක නැත.නමුත් රජවරුන් ගේ කතා පුවත් වංශ කතා පදනම් වූ ලක් ඉතිහාසය විමර්ශනය කිරීම කෙරෙහි පවතින සමාජමය නැඹුරුව මත මෙවන් පූර්ව සහ ප්රාග් ඓතිහාසික සාධක කෙරෙහි පවත්නා සමාජමය නැඹුරුව බොහෝ සෙයින් අඩු වී තිබීම මේ විනාශයට මුල් වී තිබේ.
මේ පූජා ගල්ලෙන නම් ස්ථානය ජලපහසුකම් ද සහිත තරමක විශාල බිම් කොටසක් නිසා මෙහි ආදී මානව නශ්ටාශේෂ ඇතැයි ගැමියන් තුළ පැවති විශ්වාස පිළිබඳව 2013 දී පමණ ප්රාග් මානවයන් පිළිබඳව විශිෂ්ට පුරාවිද්‍යාඥයෙකු වූ ආචාර්ය සිරාන් දැරණියගලයන් වෙත මා හෙළි කළේ කිතුල්ගල බෙල්ලෙන හා පාහියංගල කැනීම් ගැන ඔහු සමඟ පැවති සුහද පිළිසඳරකදී ය.මම එවක රත්නපුර දිසාපතිවරයා ලෙස සේවය කළෙමි.මේ පිළිබඳව වහා සොයා බැලිය යුතුයැයි ආචාර්ය සිරාන් දැරණියගලයන් පැවසුවේ බදුරලිය ආසන්න ස්ථානයක ලෙණක ඇති ප්රාග් මානවයින්ගේ සලකුණු ගැන ද පවසමිනි.අවාසනාවට ඒවන විට පූජා ලෙණ විහාරයක් ලෙස ආරණ්‍යවාසී භික්ෂූන්ගේ පරිහරණයේ තිබූ බැවින් ඒ ගැන ක්‍රියා කළ නොහැකි විය.පැරණි ලෙණ ඉවක් බවක් නැතිව නවීන ආගමික ස්ථාන බවට හැරවීම නිසා වටිනා ප්රාග් ඓතිහාසික සාධක විනාශ වන අන්දම ගැන ආචාර්ය දැරණියගලයන් තුළ පැවැතියේ දැඩි කණස්සල්ලකි.ඒ සම්බන්ධ සජීවී උදාහරණ සහිත පැහැදිලි කිරීමක් ද ඒ අවස්ථාවේ මට ලැබුණි.මේ මෑතදී පූජා ගල්ලෙන විහාරයේ බිම තිබූ පිඟන් ගඩොල් ආස්තරණය ගලවා දමා නවීන විහාරයක් ඉදිකරන්නට යාමේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් ස්ථානය නිරීක්ෂණය කර මේ පිළිබඳව යම් කැනීමක් සිදුකර ස්ථානයේ පුරාවිද්‍යාත්මක වටිනාකම සොයා බලන තුරු සංවර්ධන කටයුතු තාවකාලිකව අත්හිටුවන ලෙසට දැන්වීම් කර ඇත.මේ දැන්වීම නොතකා ගල්ලෙන තුළ යම් යම් හෑරීම් සිදුකර තිබීම නිරීක්ෂණයට ගිය පුරාවිද්‍යා නිලධාරීන්ට දැක ගත හැකිව තිබේ.පුරාවිද්‍යා නිලධාරීන්ට ආරණ්‍යයේ ප්‍රධාන භික්ෂූන් වහන්සේ විසින් තදින් අපහාසාත්මකව බැණ වැදුණු බවත් ස්ථානයේ පුරාවිද්‍යාත්මක වටිනාකම ගැන සොයා බැලිය යුතුයැයි කියන දායකයින්ගේ පේරු දානය ද ප්‍රතික්ෂේප කරමින් මේ ලෙණ අසල ලහි ලහියේ මහල් දෙකක නවීන ගොඩනැඟිල්ලක් ඉදිකිරීමේ උත්සාහයක ආරණ්‍ය පාලක භික්ෂූන් වහන්සේ යෙදෙමින් සිටින බවත් ගම්වාසීහු පවසති.
මේ ගල්ලෙන පිහිටා ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්ර්තමේන්තුවේ රක්ෂිත වනාන්තරයක් වන රූණකන්ද රක්ෂිතය තුළ ය. කොන්ක්‍රිට් මාර්ග ඉදිකරමින් ස්වාභාවික පෞරාණික ගල්ලෙන් විනාශ කරමින් කොන්ක්‍රිට් සිමෙන්ති බදාමයෙන් ගොඩනැගිලි ඉදිකිරීමටත් රක්ෂිතයේ ගස්කොලන් කපා ඊට ඇවසි දැව ලබාගැනීමත් වන සංරක්ෂණ මේන්තුවේ රක්ෂිතය භාර නිලධාරීන්ට නොපෙනෙන්නේ වන දෙපාර්හමේන්තු බලධාරීන්ගේ දෑස් වසා “චීවර පටියක්” හෝ වෙනත් යමක් බැඳ ඇති නිසා විය යුතුයැයි ගැමියෝ උපහාසයෙන් පවසති. රක්ෂිතයේ විශාල ගස්වල විශාලා අතු කපා ඉරාගෙන බිමට නොපෙනෙන්නට කලු පොලිතින් වලින් අත්ත කැපූ තැන වසා පෙන්වන අපූරු ක්‍රම ද මෙහිදී දැකිය හැකි බවත් තතු දත්තෝ පවසති.බෞද්ධාගමේ නාමයෙන් මේ වනසන්නේ ගෝලීය වශයෙන් පවා ඉහළම අගයක් හිමිවිය හැකි අපේ ඓතිහාසික උරුමයයි; අපේ පරිසරයයි.අපේ පෞරාණික ජීවය වූ පූජනීය මගුරු ගංකොමලියගේ රක්ෂිතයේ වටිනා භූමියයි. විදුර වික්‍රමනායක සංස්කෘතික ඇමති වරයාගේත් පවිත්‍රා වන්නි ආරච්චි වන දෙපාර්තමේන්තුව භාර ඇමති වරියගේත් කඩිනම් අවධානය මීට යොමු විය යුතුය.අප එසේ පවසනුයේ අගනා ජාතික සහ පාරිසරික උරුමයන් අමු අමුවේ වනසා දමා ඒ මත තනන සිමෙන්ති,වැලි කලු ගල් මන්දිර ඔස්සේ නිවන් යා හැකි මංපෙතක් බුදු හිමියන් දේශනා කොට නොමැති බව ද අප හොඳින්ම දන්නා නිසා ය.
සුනිල් කන්නන්ගර විශ්‍රාමික ශ්‍රී ලංකා පරිපාලන සේවය