තවත් ‘වැලන්ටයින්’ දිනයක් උදා වී තිබේ. බොහෝ දෙනකු මෙය හඳුන්වනුයේ “පෙම්වතුන් ගේ දිනය”යනුවෙනි. සාමාන්‍යයෙන් ඕනෑම සැමරුම් දිනයක දී ඒ විෂයට අදාල ජනතා ආකල්ප පිබිදුවීමක් සිදු කෙරේ. එමෙන්ම ඒ සෑම සැමරුම් දිනයක් සම්බන්ධයෙන් කිසියම් ඓතිහාසික පුරාවෘත්තයක් ද තිබේ. එහෙත්, මෙම ‘වැලන්ටයින්’ දිනයට අදාල ජනතා ආකල්ප පිබිදුවීම යනු සමාජමය වශයෙන් කිසිදු වැදගත්කමක් ඇති දෙයක් නොවේ. ඊට හේතුව ස්ත්‍රී පුරුෂයන් අතර හට ගන්නා ආදරය අනුරාගය හෙවත් ලුබ්ධතාව(Libido ) මත හටගන්නා ස්වභාවික ආවේගයක් බැවිනි. ඒ අනුව මෙය සරල ජන වහරකට අනුව කිවහොත් ‘පනින රිලවුන්ට ඉනිමං බැදීමකි’.
එහෙත්, මෙහි ඇත්ත කතාව ඊට ඉඳුරාම වෙනස් ය. එනම් මෙම වැලන්ටයින් දිනයේ මූල බීජය මුළුමනින්ම වානිජ උප්පර වැට්ටියක් වීම ය. ඒ අනුව බලන විට අපට හැඟී යනුයේ මෙය මුළුමනින් කිතුනු ආගම සහ ආධ්‍යාත්මය අවභාවිත කිරීමක් බව ය.
මෙම වැලන්ටයින් දිනය මුල් කොට ශ්‍රී ලංකාව තුළ ඇති තානායම් සහ අනෙකුත් ලැගුම් හල් සියල්ල ආගන්තුකයන්ගෙන් පිරී ඉතිරී යන්නේ වැලන්ටයින් මුල් කොට එබඳු නවීන චාරිත්‍රානුකූල ‘ගනුදෙනු’ වලට පැමිණෙන තරුණ තරුණියන් ගෙන් බව අමුතුවෙන් කිව යුතු නැත. එහි වඩාත් ම ඛේදනීය තත්ත්වය වනුයේ ඔවුන්ගෙන් සෑහෙන කොටසක් බාල වයස් කරුවන් හා කාරියන් වීම ය.අද වන විට මෙය මුලු සමාජයම දන්නා”රහසක්”බවට පත්ව තිබේ.ඊට අමතරව මෙම වැලන්ටයින් දිනය මුල් කොට දැවැන්ත ව්‍යාපාර ජාලයක් ද මේ වන විට හිස ඔසවා තිබේ.
නූතන ශ්‍රී ලාංකික ජන සමාජයේ මෙබඳු උන්මාදයන් පැතිර යාමේ දී වයස් භේදය පමණක් ප්‍රබල සාධකයක් වශයෙන් ඉදිරිපත් නොවේ. ඒ අනුව මෙම වැලන්ටයින් මුල් කොට ගත් මෙම පෙම්වතුන්ගේ දින ආශ්වාදය ලැබීම කෙරෙහි ජීවිතාවබෝධයෙන් තොර වැඩිහිටියෝ ද යොමු වෙති. එහෙත්, මෙම පෙම්වතුන්ගේ දිනය විවාහක අඹු-සැමියන් සම්බන්ධයෙන් වලංගු නොවන නිසාදෝ මෙම දිනය තුළ වැරදි මංපෙත් ඔස්සේ ගොස් පෙම්වතුන්ගේ දින රසය ආශ්වාදනය කිරීමට ගිය විවාහක අඹු-සැමියන් සම්බන්ධ සිද්ධීන් රාශියක් සිවිල් නඩු විධිවිධාන සංග්‍රහය ඔස්සේ නීති පොත්වලට ඇතුළු වී තිබේ.
මෙම වැලන්ටයින් දින සංකල්පය රෝමානු කතෝලික ආගමට අයත් වූවක් බව ප්‍රසිද්ධ කරුණකි. එහෙත්,ශාස්ත්‍රීය පදනමක් මත ඒ සම්බන්ධයෙන් විශ්ලේෂණය කිරීමේ දී පෙනී යන්නේ ශාන්ත වැලන්ටයින් නම් සාන්තුවරයකු පිළිබඳව සඳහනක් එහි නොමැති බව ය.එය පසුකාලීනව සැකසූ ව්‍යාජ ලේඛන මඟින් කතෝලික සංකෘතික ධාරාවට සියුම් ලෙස බද්ධ කරන ලද්දකි. අදාළ කතා ප්‍රවෘත්තියට මුල් වනුයේ ක්‍රිස්තු වර්ෂ තුන්වන සියවසේ රෝමයේ ඇති වූ සිද්ධියක් යැයි කියනු ලැබේ.රෝමානු අධිරාජ්‍යයේ මුල් ශත වර්ෂ හතර තුළ කතෝලිකයින්ට එතරම් වූ නිදහසක් තිබී නැත. එහිදී දිවි පිදූ ප්‍රාණ පරිත්‍යාගිවරන්ගේ නාමාවලියක ( Roman Martyrology) 3 වන ශත වර්ෂයේදී දිවි පිදී යැයි සැලකෙන ‘වැලන්ටයින්’ නම් නම ඇති ප්‍රාණ පරිත්‍යාගිවරුන් දෙදෙනකු ගැන කියැවේ. ඉන් පළමු වැන්නා රෝමානු කතෝලික පූජකතුමකු බවත් ඔහු ක්ලව්ඩියස් (Cludius ) නම් රෝමානු අධිරාජයාගේ පාලන සමයෙහි ප්‍රාණ පරිත්‍යාග කළ බවත් කියැ වේ.දෙවැන්නා ඉතාලියේ තේර්නි (Terni ) නම් පළාතේ දී ප්‍රාණ පරිත්‍යාග කළ රෝමානු කතෝලික රදගුරුතුමකු බවත් කියැවේ. එහෙත්, පසු කාලයකදී ශූද්ධවන්තයින් ගැන කරන ලද පරීක්ෂණ වලදී මේ දෙදෙනකු නොව එක්කෙනකු බවට සොයා ගෙන ඇතැයි ද කියැවේ. තව ද මේ එක් අයෙකු ද නැතිනම් දෙදෙනකු ද යන වග ඓතිහාසික වශයෙන් මුළුමනින් ම සනාථ කළ නොහැකි බව ද සඳහන් වෙයි. ඒ කෙසේ වුවද මේ එක්කෙනා හෝ දෙන්නා ආදරවන්තයන්ට හෝ විවාහ වන යුවතිපතීනට හෝ කිසියම් වූ කාරණාවකින් කිනම් හෝ සම්බන්ධයක් ඇති බවට කිසිම තැනක සඳහනක් නොමැත.
එසේම මුල් ශත වර්ෂවලදී රෝමයේ රෝමානු ආගමික උත්සව පැවැත් වූ බවට ඉතිහාසයේ සඳහන් වී ඇත.පෙබරවාරි මාසයේ පවත් වන්නට යෙදුණු මේ උත්සව ලූපර්කාලියා (Lupercalia ) නම් වූ අතර එහි දී තරුණ තරුණියන් ඔවුන්ගේ සහකරුවන් සහකාරියන් තෝරා ගෙන ඇත. නමුත්, එම උත්සව එවකට රෝමානු සමාජයේ සමාජ චාරිත්‍ර මිසක කතෝලික ආගම හා කිසිදු සම්බන්ධයක් තිබූ ඒවා නොවේ. ලූපර්කාලියා පෙබරවාරි මාසයේ පැවැති බවට නම් ඉතිහාසයේ සඳහන් වේ. කුරුළු ලෝකයේ කුරුල්ලන් අතර ප්‍රේමාලිංගන ඇති වන කාලය (Mating Period ) ද මෙම මාසයේ යෙදෙන බවට පිළිගැනීමක් ඇත. ඒ කෙසේ වෙතත් මේ මාසයේම යෙදෙන මෙම ‘වැලන්ටයින්’ දිනය ගැන විවිධ නා නා ප්‍රකාර වු රස කතන්දර අන්තර්ජාලයේ වෙබ් අඩවි දහස් ගණනක සඳහන් වේ. අන්තර්ජාලය වූ කලී සෑම විටම නිවැරදි දත්ත ලබා දෙන මාර්ගයක් නොවේ. එය ද ව්‍යාපාර ජාලයකි. මුදල් තිබේ නම්, ක්‍රියා කරවීමට දනී නම් ඕනෑම ගජබින්නයක් එයට ඇතුල් කර ගත හැකිය. එනිසා එහි සමහර විෂයයන් ගැන නිවැරදි දත්ත මූලාශ්‍ර තිබෙන අතර තවත් ඒවා ගැන අමූලික බොරු ද තිබිය හැක. නමුත් මෙවැනි අසත්‍යය තොරතුරු ලබා දීම සැබැවින්ම තවත් ව්‍යසනයකි.
තව ද ලංකාවේ කොතැනක හෝ ‘වැලන්ටයින්’ මුනිවරයාට කැප කළ දේවස්ථානයක් නැත. කතෝලික ආගමේ ශුද්ධවරයන්, නාමයෙන් දේවස්ථාන කැපකිරීමේ පිළිවෙතක් ඇත. රට පුරා ශාන්ත අන්තෝනි, ශාන්ත ජෝශප් වැනි මුනිවරුන්ට කැප කළ දේවස්ථාන ඇත. එසේම කිසිවකු කවදාවත් ‘ශාන්ත වැලන්ටයින් මුනිඳුනි’ අප නිසා යාඥා කළ
මැනව’ කියනු අප අසා නැත. එසේම මෙම මුනිතුමා ප්‍රචලිත ශුද්ධවර චරිතයක් ද නොවේ.අයර්ලන්තයේ ඩබ්ලින් නුවර සහ ඉතාලියේ තේර්නි ප්‍රදේශයේ ‘වැලන්ටයින්’ මුනිතුමා නමින් දේවස්ථාන ඇති බවටත් ඩබ්ලින් නුවර පිහිටි දේවස්ථානයේ 1835 දී ඔහුගේ භෂ්මාවශේෂ (Holy Relic ) තැන්පත් කළ බවටත් සඳහනක් ඇත.නමුත් එතුමා සහ පෙම්වතුන් අතර කිසිදු සම්බන්ධයක් නැත.
1962-1965 දී පවත්වන්නට යෙදුණු 2 වැනි වතිකානු සමුළුවෙන් පසුව කතෝලික සභාව තුළ විශාල පරිවර්තනයක් ඇති විය. එහිදී ශුද්ධ වන්තයන්ගේ නාමාවලිය (Calendario Santoral ) සංශෝධනය කළ අතර එවකට සිටි ශූද්ධවරයන්ගේ ඓතිහාසික දත්ත පිළිබඳව විමර්ශනයක් ද කරන ලදී. එහි දී මුළුමනින්ම තහවුරු කළ නොහැකි දත්තයන් තිබූ ශුද්ධවරයන් එම නාමාවලියෙන් ඉවත් කරන ලදී. (උදා. ශා. බාර්බරා, ශා. ක්‍රිස්ටෝපර්) එසේම කව යුත්තේ ‘වැලන්ටයින්’ නමින් ශුද්ධවරයෙක් මෙම කැලැන්ඩරයේ ද නොමැති බව ය.
එසේම සෑම දිනයක් සඳහා ම දිව්‍ය පූජාවේ ජන වන්දනාවට (Liturgy ) අවශ්‍ය උපදෙස් අඩංගු පොතක් කතෝලික සභාව විසින් නිකුත් කරයි. එම පොත ( Ordo) මුළු විශ්ව සමාජයටම ය. එහි පෙබරවාරි 14 වන දිනට නියමිතව ඇත්තේ ශාන්ත සිරිල් සහ ශාන්ත මෙතෝදියස් යන නම් ඇති තාපස රදගුරුවරුන්ගේ මංගල්‍යයයි. එබැවින් විශේෂයෙන් ම කිව යුත්තේ වර්තමාන ජන වන්දනා ලිත තුළ ද ‘වැලන්ටයින්’ නම් මුනිවරයෙක් නැති බව පමණි.
එසේ නම් මේ සමාජයේ මුල් බැස ගෙන ඇති මේ විවිධ වූ ‘වැලන්ටයින්’ සම්බන්ධ කතාන්දර පසු කලෙක ඇතුල් කරන ලද පුරාණොක්ති (Myths) බව නිසැක ය. ඕනෑම කෙනකුට ඕනෑම දෙයක් ලිවිය හැක. අතන එසේ සිදු විය. මෙතන මෙසේ සිදු විය යැයි කිව හැක. ඇති දේ නැති සේ ම නැති දේ ඇති කොටද පෙන්විය හැක. ඒ අනුව මෙම වැලන්ටයින් ගේ දිනය පිළිබඳ ඉතා සිහි නුවණින් බලන කවර කෙනකුට හෝ පෙනී යන්නේ මෙය අප ජන සමාජය සංස්කෘතිකමය, සදාචාරාත්මක සේම පාරිභෝජනමය
වශයෙන් ද වල්මත් කිරීමට දැරූ වානිජමය උප්පරවැට්ටියක් බව ය. එස්.ටී.පී සිල්වා