පොතක් නිසා හැරී කුමරුගේ සහ පවුලේ අයගේ ආරක්‍ෂාවට තර්ජනයක් ?

මෙයට දින කිහිපයකට පෙර මුද්‍රණයෙන් නිකුත් වූ, හැරී කුමරුගේ ජීවිත මතක සටහන් ඇතුළත් Spare නමැති ග්‍රන්ථය මේ වනවිට විශාල කැළඹීමක් සහ ආන්දෝලනයක් ඇති කර තිබෙනු දැකිය හැකි වේ. පසුගිය 10 වැනි දින නිකුත් වූ එය වාර්තා තබමින් අලෙවි වන බව ද මාධ්‍ය වාර්තා කරයි. එක්සත් රාජධානිය තුළ වේගයෙන්ම අලෙවි වන, ප්‍රබන්ධ ගණයට අයත් නොවන ග්‍රන්ථය ලෙස එය වාර්තාවක් පිහිටුවා තිබේ.Spare ලොව පුරා භාෂා 15 කින් ප්‍රකාශයට පත් කර ඇති බව ද සඳහන් වේ. පළමු දිනය තුළ එක්සත් රාජධානිය තුළ පමණක් එහි පිටපත් ලක්‍ෂ 4 කට ආසන්න සංඛ්‍යාවක් විකිණී තිබිණි.

කෙසේ හෝ වේවා, මෙම පොත නිසා හැරී කුමරු යම් අපහසුතාවකට සහ පීඩනයකට ලක්ව සිටින ආකාරයක් ද දැකිය හැකි වේ. තමාගේ සහ තම පවුලේ අයගේ ජීවිතවලට අනතුරක් එල්ල වී ඇති බවක් ද ඔහු දින කිහිපයකට පෙර මාධ්‍ය සමග පැවැති සාකච්ඡාවක දී පවසා තිබිණි. කුමරු පවසන ආකාරයට මෙවැනි අනතුරක් එල්ල වී ඇත්තේ මෙම පොතේ අඩංගු ඇතැම් කාරණා ගැන මාධ්‍ය විසින් ඇති කරන ලද වැරදි අදහස් නිසාය.

තමා බි්‍රතාන්‍ය හමුදාවේ සාමාජිකයකු ලෙස මෙයට වසර කිහිපයකට පෙර ඇෆ්ගනිස්තානයේ යුද්ධයට සම්බන්ධ වී සිටි කාලයේ තලිබාන් සාමාජිකයන් 25 දෙනෙකු ඝාතනය කළ බවක් හැරී කුමරු මෙම පොතේ සඳහන් කර තිබේ. පොත නිල වශයෙන් නිකුත් වීමටත් පෙර සිටම මාධ්‍ය මෙම කාරණයට විශාල ප්‍රසිද්ධියක් ලබා දුන්නේය. තමාට මෙම තලිබාන් සාමාජිකයන් පෙනුණේ මිනිසුන් හැටියට නොවන බවටත්, චෙස් පුවරුවක කපා ඉවත් කළ යුතු ඉත්තන් පිරිසක් ලෙස බවටත් ඔහු කළ සඳහනක් මෙහි දී විශාල අවධානයක් දිනාගත්තේය. මෙය ඉතා රළු ප්‍රකාශයක් ලෙස බොහෝ දෙනා සැලකූ බවක් පෙනුණු අතර තලිබාන් සංවිධානයේ නායකයන් ද ඊට ප්‍රතිචාර දක්වා තිබිණි.
හැරී කුමරු පවසන්නේ මෙම කාරණය මාධ්‍ය වාර්තා කර ඇත්තේ වැරදි අදහසක් මතු වන ආකාරයෙන් බවයි. තමා මෙම ඝාතන ගැන පුරසාරම් දොඩන ගතියක් මෙම වාර්තා තුළින් හැඟවෙන බව ඔහු පවසයි. තමා කළ සම්පූර්ණ විස්තරයෙන් කොටස් කිහිපයක් පමණක් මෙලෙස උපුටා වාර්තා කිරීමෙන් මෙම වරද සිදුව ඇති බව ඔහු පෙන්වා දෙයි.

කෙසේ හෝ වේවා, තමාගේ මෙම ප්‍රකාශය ගැන වැරදි අදහසක් මතු වීම නිසා තමාගේත්, තම පවුලේ අයගේත් ජීවිතාරක්‍ෂාවට තර්ජනයක් එල්ල විය හැකි බව හැරී කුමරු සඳහන් කර තිබේ. මෙවැනි තර්ජනයක් එල්ල විය හැකි බව දින කිහිපයකට පෙර කර්නල් රිචඩ් කෙම්ප් නමැති හමුදා නිලධාරියකු ද ප්‍රකාශ කර තිබිණි. සමහර විට යම් යම් පාර්ශ්ව හැරී කුමරුගෙන් පලිගැනීමට සූදානම් විය හැකි බවක් ඔහු පවසා තිබෙනු දැකිය හැකි විය.

මෙම තත්ත්වය තුළ තමාගේත්, තම පවුලේ අයගේත් ආරක්‍ෂාව තර කිරීමට හැරී කුමරු පියවර ගෙන ඇති බවක් වාර්තා වේ. බි්‍රතාන්‍යයේ ටැබ්ලොයිඩ් පුවත්පත් මේ පිලිබඳ සඳහන් කර තිබිණි. පසුගිය දිනෙක ඔහු මාධ්‍ය සාකච්ඡාවක් සඳහා පැමිණෙද්දී සන්නද්ධ ආරක්‍ෂක නිලධාරීන් පිරිවරාගෙන පැමිණි බවක් මෙම පුවත්පත් වාර්තා කර තිබිණි.

හැරී කුමරු තලිබාන් සාමාජිකයන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය නිසා ඔහුට පමණක් නොව බි්‍රතාන්‍ය රජ පවුලට ද තලිබාන් සංවිධානයෙන් තර්ජන එල්ල විය හැකි බව ඇතැම් නිරීක්‍ෂකයන්ගේ අදහසයි. මේ ගැන චාල්ස් රජු ද අවධානය යොමු කරනු ඇති බව ඔවුන් පවසා තිබේ. මෙම තත්ත්වය තුළ චාල්ස් රජුගේ අභිෂේක මංගල්‍යයට හැරී සහ මෙගන් සහභාගි නොවීමට බොහෝ දුරට ඉඩ ඇති බව ද ඔවුහු පවසති. චාල්ස් රජුගේ අභිෂේක මංගල්‍යය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන මැයි මාසයේ ය.

හැරී කුමරු ඉහත කී ආකාරයෙන් තලිබාන් සාමාජිකයන් ඝාතනය කර තිබුණේ 2007-2008 අතර සහ 2012-2013 අතර ඇෆ්ගනිස්තාන යුද පෙරමුණේ සිටියදී ය. 2001 වසරේ මෙම යුද්ධය ආරම්භ වූයේ ඇමරිකාව, බි්‍රතාන්‍යය ඇතුළු බටහිර රටවල හමුදා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කිරීමත් සමග යි. ඒ කාලයේ ඇෆ්ගනිස්තානය පැවතියේ තලිබාන් සංවිධානයේ පාලනය යටතේ ය. එම සංවිධානය අල්-කයිඩා නායක ඔසාමා බින් ලාඩ්න් ඇතූළු ත්‍රස්තවාදීන්ට රැකවරණ ලබා දෙන බවට ඉහත කී බටහිර රටවල් චෝදනා කළේය. ඔවුන් ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ එබැවිනි. මෙම ආක්‍රමණය සිදු වූයේ ඇමරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට බිහිසුණු ප්‍රහාරයක් එල්ල වී මාස කිහිපයකට පසුවයි. මෙම ප්‍රහාරය එල්ල කළේ අල් කයිඩා සංවිධානය බව ඇමරිකාවේ විශ්වාසය විය.

නිහාල් පීිරිස්

එතෙර - මෙතෙර