පොදු ජනතා නෙත නොගැටුණු ලෝක හස්ති දිනයට පසු වදනක්

අගෝස්තු 12 වැනිදාට යෙදී තිබූ ලෝක හස්ති දිනය පසුවී ගොසිනි. මෙවර ද ඒ සඳහා ජනතා සහභාගීත්වයක් ලැබී තිබුණේ ඉතා අල්ප වශයෙනි. මිනිස් ක්‍රියාකාරකම් හමුවේ තර්ජනයට ලක් ව සිටින සතුන් අතර වනඅලියා සුවිශේෂී ය. ප්‍රමාණය හෝ ශක්තිය කෙතරම් වුව ද ඔවුන්ගේ ජීවිත ගෙවී යන්නේ සැනසිලිදායක ලෙස නොවේ. ඔවුන්ගේ ප්‍රධානතම තර්ජනය බවට පත් ව ඇත්තේ මිනිසා ය. අප මේ පිළිබඳ කතා කළ යුත්තේ ඒ නිසාම ය.

අලි සම්බන්ධව කතා බහ කිරීමේ දී අප රටේ සේම ගෝලීය වශයෙනුත් ඔවුන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් වන “මිනිස් – අලි ගැටුම” මේ වන විට විසඳාගත නොහැකි තරමටම ඔඩු දුවා තිබේ. ජාත්‍යන්තර වශයෙන් මේ ගැටලුව ‘මිනිස් – අලි ගැටුම’ (Human elephant conflict- HEC) වශයෙන් හඳූන්වනු ලැබූව ද අප රටේ එය හඳූන්වන්නට පුරුදුව සිටින්නේ ‘අලි – මිනිස් ගැටුම’ ලෙසිනි. මේ යෙදුම අප රටේ කවදා කුමන අයුරින් ආරම්භ වූයේ ද යන්න පිළිබඳ පැහැදිලි අදහසක් නැත.නමුත් අප රටේ මිනිසුන් සහ අලි අතර ගැටුම ආරම්භ වූ සමයේ ප්‍රවෘත්ති වලින් මේ යෙදුම ජනගත වන්නට ඇතැයි සිතිය හැකි ය. කෙසේ නමුත් මේ යෙදුම තුළින් ගම්‍ය කරන්නට අදහස් කරන්නේ මේ ගැටලුවේ මූලික වගකීම දැරිය යුත්තේ අලි ප්‍රජාව බව ය. යෙදුමේ මුලට අලි යොදා ඇත්තේ එබැවිනි. එසේත් නැතහොත් භාවිතයේ පහසුව පිණිස මේ යෙදුම නිර්මාණය කර ගත්තා වන්නටත් පුළුවන. ඒ අන් හේතුවක් නිසා නොව ‘මිනිස් – අලි ගැටුම’ යන්නට වඩා ‘අලි – මිනිස් ගැටුම’ වඩාත් කටට හුරු නිසා වන්නටත් පුළුවන. කෙසේ නමුත් අප රටේ නම් පැහැදිලිව පෙනෙන කාරණය වන්නේ මේ ගැටලුවේ සම්පූර්ණ වගකීම දමා ඇත්තේ අලින්ගේ පැත්තට ය. කෙසේ නමුත් ජාත්‍යන්තර පිළිගත්, වඩාත් විද්‍යාත්මක යෙදුම වන්නේ ද ‘මිනිස් – අලි ගැටුම’ යන්න ය. එයට හේතුව මේ ගැටුමේ මූලාරම්භය සොයා යාමේ දී මෙයට හේතු සාධක සපයා ඇත්තේ මානව ක්‍රියාකාරකම් බව පැහැදිලිව පෙන්වා දී තිබෙන නිසාවෙනි. වනාන්තර එළි කරමින් මිනිස් ජනාවාස පුළුල් කිරීම නිසා අලි ගහනයේ වාස භූමි අහිමි වී යාම මෙයට බල පෑ ප්‍රධානතම හේතුව ය. එබැවින් එයට හේතු වී ඇත්තේ මිනිස් ක්‍රියාකාරම් නිසා බැවින්, අපටම ආවේණික අලි සිටින අපේ රටේ ද කතා කළ යුත්තේ ‘මිනිස් අපි ගැටුම’ පිළිබඳ මිස ‘අලි මිනිස් ගැටුම පිළිබඳ නොවේ.එනිසා අප පළමුව මේ කණපිට ගැසුණු යෙදුම හොඳ පිටට හරවා ගත යුතු ය.

මිනිස් – අලි ගැටුම නිසා ගැටුම නිසා සාමාන්‍යයෙන් වාර්ෂිකව මිනිසුන් 125 දෙනෙක් සහ අලි 370 දෙනෙක් මිය යන බව වාර්තා වී තිබේ. ජනගහණයට සාපේක්ෂව ලෝකයේ වාර්තාගත වන වැඩිම මිනිස් මරණ සහ අලි මරණ වාර්තා වන්නේ ද අප රටෙනි.

Elephas maximus maximus ලෙස විද්‍යාත්මකව හඳූන්වනු ලබන ශ්‍රී ලාංකික අලියා වඳ වී යාමේ තර්ජනයට ද මුහුණ දී ඇති උප විශේෂයකි. වර්තමානයේ දක්නට ලැබෙන පරිදි රට පුරා වූ වනගහනය අඩු වන්නට පෙර මේ අලි උතුරේ සිට දකුණටත් දකුණේ සිට උතුරටත් වශයෙන් ඇවිද යමින් ආහාර ගැනීමේ පුරුද්දක් දක්නට ලැබුණ ද අද ඔවුන්ට එසේ ඇවිද යන්නට හැකියාවක් නැත. වර්තමානයේ අප රටේ වනාන්තර එකි`නෙක හා යාබද ව පිහිට නොමැති නිසා අලින්ට ඇවිද යාම සඳහා වෙන් වී ඇති ඉඩ ප්‍රමාණය බෙහෝ සෙයින් අඩු ය. එබැවින් මිනිස් ජනාවාස අතරේ කොටු වන අලි ගම් වදින්නට පටන් ගැනීම සිදුව තිබේ. මේ ගැටලුව අවම කරන්නට නීතිය පාර්ශ්වයෙන් විවිධ පියවර ගෙන තිබේ. නීතියෙන්ම අලියකු මරා දැමීම තහනම් ය.නමුත් ඉතා අවාසනාවන්ත ලෙස එම ක්‍රියාවලිය නිරතුරුවම සිදු වෙමින් තිබේ.

වන අලි ප්‍රහාර වැරදි ලෙස අර්ථ දැක්වීම

අලි සම්බන්ධව චෝදනා මුඛයෙන් කතා කරන තවත් එක් කාරණාවක් වන්නේ වන අලි ප්‍රහාරයන් ය. වන අලි ප්‍රහාර කිසිසේත් එල්ල නොවන බවක් අප කියන්නට උත්සාහ කරන්නේ නැත. නමුත් එසේ නොවන සිදුවීම් සඳහා ද වන අලි ප්‍රහාර ලෙස අර්ථ දක්වන අවස්ථාවන් තිබේ. උදාහරණයක් ලෙස ජැක්සන් ඇන්තනී ජනප්‍රිය කලාකරුවා මුහුණ දුන් හදිසි අනතුරු සිදුවීම ගෙන හැර දැක්විය හැකි ය. තලාව මොරගොඩ දී අඳූරු මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියකුගේ සිරුරේ ඔහු ගමන් කරමින් සිටි කැබ් රථය ඝට්ටනය වී එම අනතුර සිදු විය. නමුත් මෙය ද ඇතැම් මාධ්‍යකරුවන් වාර්තා කොට තිබුණේ වන අලි ප්‍රහාරයක් ලෙසිනි. සැබවින්ම එහි දී සිදු වූයේ වන අලි ප්‍රහාරයක් නොවේ. වන අලියා ද අනතුරට ලක් විය. නමුත් වැරදි ආකාරයෙන් එම සිදුවීම වාර්තා කෙරිණි. එමෙන්ම ‘අලියෙක් පහර දුන්නා’ යන්න බොහෝ දෙනෙක් අවභාවිත කරන අවස්ථාවන් ද දක්නට ලැබේ. වන අලි බහුලව සිටින ප්‍රදේශයක ඇති මාර්ගයක පා පැදියකින් යම් පුද්ගලයකු ගමන් කරමින් සිටිය දී වන අලියෙක් දකින අවස්ථාවක දී බිය පත් වී පා පැදිය වේගයෙන් පැදගෙන යන්නට උත්සාහ කොට, එය පෙරලී තුවාල සිදුවන අවස්ථාවන් හි දී ද එය වන අලි ප්‍රහාරයක් ලෙස අර්ථ දක්වන්නට පෙළඹෙන අවස්ථාවන් බොහොම ය. පා පැදිය වේගයෙන් පදවාගෙන යන්නට ගත් උත්සාහයේ දී එය පෙරලී තුවාල වූ බව කියනු වෙනුවට එය වන අලි ප්‍රහාරයක් යැයි පැවසීමෙන් වැඩි අවධානයක් ලබා ගැනීමට ඇතැම්හු උත්සාහ කරති.අනෙක යමෙකුට කුමන හෝ අනතුරකින් තුවාල සිදුවුවහොත්, ඒ තුවාල සිදුවන රටාවක් තිබේ. නමුත් අලි ප්‍රහාරයක දී බොහෝ විට ඇතිවන්නේ අභ්‍යන්තර හානි ය. එවැන්නක නිශ්චිත රටාවක් දකින්න ලැබෙන්නේ නැත. එබැවින් මෙවැනි සිදුවීම් හුදෙක් කරනවා නිසි සොයා බැලීමකින් තොරව වාර්තා නොකිරීමට මාධ්‍යවේදීන් වගකීම් සහගත විය යුතු ය.

අලියා මාංශ භක්ෂක සතකු නොවේ.ඔහු මිනිසුන්ට ප්‍රහාර එල්ල කරනුයේ කරුණු කිහිපයක් මුල් කර ගනිමිනි.සාමාන්‍යයෙන් වන අලි ප්‍රහාරයක දී බොහෝ විට මිනිසකුට සිය ජීවිතය ගලවා ගන්නට ලැබෙන අවස්ථාවන් විරල ය. යම් පුද්ගලයකු වන අලි ප්‍රහාරයකින් පසු ජීවත් වනවා නම් එතැන බොහෝ විට අලි ප්‍රහාරයක් සිදුව නැති බව බොහෝ සිදුවීම් දෙස බැලීමේ දී පෙනී යයි. මේ නිසා මේ සිදුවීම් වාර්තා කිරීමේ දී සත්‍යයම අන්තර්ගත කිරීම ඉතා වැදගත් ය. නොඑසේ නම් ඒවා අලි ගහනය සංරක්ෂණය කිරීම කෙරෙහි ද අනර්ථකාරී ලෙස බලපෑම් කළ හැකි ය.

සාමාන්‍යයෙන් ටෙස්ටස්ටෙරෝන් හෝමෝනය ක්‍රියාත්මක වීම නිසා මද කිපුණු තත්වයකට පත් ව සිටින අලි බොහෝ විට පහර දෙන්නට පෙළඹෙති. එවැනි කාලවල දී ඔවුන්ගේ ලිංගික හැඟීම් උද්දීපනය වන බැවින් ඔවුන් රෞද්‍ර ස්වභාවයකට පත්වනු දැකිය හැකි ය.වන අලි ප්‍රහාර එල්ල විය හැකි තවත් අවස්ථාවක වන්නේ තනි අලියකු මගිනි. තනි අලියකු යනුවෙන් හඳූන්වනු ලබන්නේ සිය රැළෙන් වෙන් වී තනිවම ජීවත්වන්නට උත්සාහ කරන අවස්ථාවකි. තරුණ වයස නිසා මොවුන් අත්දැකීම්වලින් දුර්වල ය. තමාට තර්ජනයක් එල්ල විය හැක්කේ කාගෙන් ද, සතුරා කවරෙක් ද? යන්න පිළිබඳව මේ ගැටවරයාට බොහෝ විට වැටහීමක් නැත. මේ නිසා ඔවුන් කරන්නේ තමා ඉදිරියේ සිටින්නේ කවුද, ඔහුට පහර දීම ය.එමෙන්ම මිනිසුන් විසින් වගා කරනු ලබන බව බෝග වලට ඉවලමින් ගම් වදින වන අලින් ගෙන් මිනිස් ජීවිත හා දේපල වලට හානි සිදුවන අවස්ථා තිබේ.එසේ බොහෝ විට ඔවුන් මිනිසුන්ට පහර දෙනුයේ තමන්ගේ පාරම්පරික නිජ බිම් සීමාවේ සිට ය.

 

මේ අතර ලෝක හස්ති දිනය නිමිති කොට ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය දිවයිනේ ස්ථාන අටක මිනිස් අලි ගැටුම අවම කර ගැනීම තේමා කර ගත් කාටූන් ප්‍රදර්ශන පවත්වා තිබිණ.ඉන් එකක් ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ ද අනුග්‍රහයෙන් ගල්ගමුවේ පූලංචිය වැව අද්දර පිහිටි ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය වන ඇත් පිළිරුව අබියස දී පසුගිය 12,13 යන දෙදින තුළ පවත්වන ලදී අප රටේ වන අලින් සම්බන්ධ සංවේදී පුවත් රැසක් ගොනු වන ගල්ගමුව ප්‍රදේශයේ එවැන්නක් සංවිධානය වීම ඉතා වැදගත් ය.එම කාටූන් දැක්ම පවත්වන ලද්දේ එම ස්මාරකය තනවන ලද අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් සහ සුබ සාධක සංවිධානයේ මෙහෙයවීමෙනි.නමුත් මිනිස් අලි ගැටුම අවම කර ගැනීම පිණිස එවන් සාධනීය පසුබිමක් ස්ථාපිත වී ඇති අවදියක ඒ සඳහා ජනතා සහභාගීත්වය ද ඉතා වැදගත් වේ එසේ නොමැතිව අපට මිනිසුන් සහ අලින් අතර ගැටලු විසඳා ගැනීම පහසු වන්නේ නැත.

නිරංජන් චාමින්ද කරුණාතිලක

සතුන්ටත් හිමි අපේ ලෝකය