පොදු ජන පාර්ලිමේන්තු අරුචියට දොස්තර රමේෂ් ගෙන් අත් බෙහෙතක්

“පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාම එළවමු” යන මතය ජනතාව අතර ස්ථාපිත වන්නට පටන් ගත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේම ක්‍රියාකලාපය හේතුවෙනි. ඉතිහාසය පුරාම ආණ්ඩු පක්ෂය ජනතාවට එපා වෙන මොහොතේ ජනතාව පැමිණියේ විපක්ෂය දෙසටය. එම නිසා විපක්ෂය හා විපක්ෂ නායකවරයා සැලකුවේ ආණ්ඩුවේ සෙවනැල්ල ලෙසය. ලෝකය පුරාම තත්ත්වය එසේ ය.එහෙත් වර්තමානයේ ශ්‍රී ලංකාවේ තත්ත්වය එහෙම පිටින්ම වෙනස් ය. ඔවුන් කියන්නේ ආණ්ඩු පක්ෂ විපක්ෂ භේදය නොතකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාම තමන්ට එපා කියා ය. ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් මන්ත්‍රීවරුන් එපා වූයේ තමන්ගේ ප්‍රශ්න ඔවුන් කතා කොට විසඳුම් ලබා නොදෙන්නේය යන යන මතය සමාජය තුළ බැස ගන්නට වීම නිසාවෙනි.

නමුත් ඉකුත් දා පාර්ලිමේන්තුවේදි වෛද්‍ය රමේෂ් පතිරණ කියූ ප්‍රකාශය තරමක් අලුත් බවකින් යුතුය. ඉකුත් 09 දා ගෝල්ෆේස් ප්‍රහාරයෙන් පසු එල්ල වූ ප්‍රතිප්‍රහාරයෙන් ගාල්ලේ පිහිටි ඔහුගේ පාරම්පරික නිවස ගිනි තබා විනාශ කරනු ලැබුණි. මැති ඇමතිවරුන් තමන්ගේ දුක පාර්ලිමේන්තුවේදී කියද්දී රමේෂ් පතිරණ මන්ත්‍රීවරයා කීයේ වෙනස්ම කතාවකි.රමේෂ් පතිරණ යනු හිටපු අධ්‍යාපන ඇමති රිචඩ් පතිරණගේ පුත්‍රයා ය. ඔහු හිටපු ආණ්ඩුවේ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා මෙන්ම සම කැබිනට් ප්‍රකාශකවරයා ද වෙයි.. ඔහුට ප්‍රහාරය එල්ල වන්නේ මේ කාරණා පදනම් කරගෙනය. ඔහු පාර්ලිමේන්තුවේදී එදින සිද්ධිය සම්බන්ධයෙන් කීවේ මෙවැනි කතාවකි.

අගමැතිවරයා ධූරයෙන් සමුගන්නා බවට ප්‍රකාශ කිරීමට තීන්දු කර ඇති බැවින් ඔහුගේ සමුගැනීමේ අවස්ථාවට ජනතාව රැගෙන එන ලෙස පක්ෂයෙන් දැනුම් දීමක් කර තිබේ. ඒ අනුව ඔහු ද ගාල්ලෙන් බස් රථ දෙකක් රැගෙන අරලියගහ මන්දිරයට පැමිණ ඇත.

“අරලියගහ මන්දිරියට පැමිණි ජනතාවට එහි සිටි මුග්ධ දේශපාලකයන් කිහිපදෙනෙකු ගෝල්ෆේස් යාම සඳහා අනියම් බලපෑමක් කළා.” මේ රමේෂ් මන්ත්‍රීවරයා එදින සිද්ධිය පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළ ආකාරයය.

“ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩිම හානි සිදුවූ සියලු දෙනා මට වඩා ආර්ථික වශයෙන් පහලින් සිටින අය. එයාලට උදව් කරන්න.” පාර්ලිමේන්තුවේ නොමනා ලෙස හැසිරෙන 25-30 ක් ඉන්නනේ. ඔවුන් නිසා සියල්ලන් අප්‍රසාදයට පත් වෙනවා. කථානායකතුමනි සතිපතා ඔවුන් ගැන හෙළිකරන්න.” අපිට පාර්ලිමේන්තුවේ කෑම එපා. රස බොජුන් එපා. සාධාරණ මුදලකට පිටතින් කෑම පැකැට්ටුවක් ගෙනත් දෙන්න.” ඔහු කියූ කතාවේ සාරාංශය එසේය..

ජනතා කෝපය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත පැමිණෙන්නේ රමේෂ් පතිරණ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයා ඉහත කී ප්‍රකාශවල අන්තර්ගත කරුණු නිසාය. ජනතාවට කන්න නැතත් මැති ඇමතිවරු පාර්ලිමේන්තුවෙන් ප්‍රණීත රසවත් කෑම වේලක් අඩු මුදලකට ගන්නා බව රටම දන්නා කාරණයකි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට තමන් කැමති ආහාරයන් ඇණවුම් කිරීමේ හැකියාවක් ද පවතියි.

මෙවැනි කෑම වේලකින් සන්තර්පනය වන මන්ත්‍රීවරයා ජනතා ප්‍රශ්න කතා කරනවා වෙනුවට ප්‍රතිපක්ෂ මන්ත්‍රීවරුන් සමඟ උසුළු විසුළු වාද කරගන්නා ආකාරය ජනතාව ජනමාධ්‍ය මගින් දකිති. ඒ සමඟ ඔවුන්ගේ කෝපය මහජන නියෝජිතයන් වෙත එල්ල වීම අතිශය සාධාරණය. අධික මුදලක් පාර්ලිමේන්තුව රැස්වන දිනක දී වැය කළත් ජනතාවට වූ සෙතක් නැති බව මේ වන විට ජනතාව පත්ව ඇති ආර්ථික දුෂ්කරතා බලන විට මැනවින් පෙනී යන්නකි.

එහෙත් මේ ගැන කතාකරන මන්ත්‍රීවරයා ද අනෙක් මන්ත්‍රීවරුන්ගේ උසුළු විසුළුවට ලක්වෙයි. එවිට ජනතාවට පාර්ලිමේන්තුව පෙනෙන්නේ එකම කෝලම් මඩුවක් මෙනි.එය ජනතා කෝපය මන්ත්‍රීවරුන් සියලු දෙනා සම්බන්ධයෙන් ඇතිවීමට හේතු වී තිබේ. ආර්ථික අර්බුදය හේතුවෙන් ආණ්ඩුවට එරෙහිවන ජනතාව හෑල්ලු කොට කතා කිරීමට මැති ඇමතිවරු පාර්ලිමේන්තුවේදි කටයුතු කරති. පාර්ලිමේන්තුව නිසරු කතා සාප්පුවක් බවට පත් ව අතර එහි ජනතා ප්‍රශ්න ගැන කතා කරනවා වෙනුවට මන්තී වරු සම්පප්ප්‍රලාප දොඩමින් ඒ සඳහා ද මහජන මුදල් කාබාසිනියා කරති.

ජනතාව බස් රථයේ, දුම්රියේ දහඩිය පෙරාගෙන යද්දී ඔවුහු සුඛෝපභෝගී වාහනවල ගමන් කරති. එසේ ගමන් කරන අතර හතර දෙනකුගෙන් යුතු පවුලකට රුපියල් 2500 කින් මාසයක් ජීවත් වන ආකාරය ගැන ඇතැම් ඇමති වරයකු පුරසාරම් දොඩවද්දී ජනතාව “තුහ් නොදකින්” කීයේ මන්ත්‍රීවරු 225 දෙනාටමය. මන්ත්‍රී අයිතිවාසිකම් වෙනුවෙන් 225 දෙනාම නිතරඟයෙන් පෙනී සිටිද්දී ජනතා ප්‍රශ්න විසදද්දී දෙපිළ බෙදී වාද විවාද කර ගත්හ.

ජනතා අප්‍රසාදය පුපුරා ගියේ ඉකුත් 09 දා ගෝල්ෆෙස් අරගලකරුවන්ට එල්ල වූ ප්‍රහාරයත් සමඟය.එය හිඅපු අගමැති මහින්ද රාජපක්ෂගේ බලකාමීත්වය මු කොට ගත් ප්‍රචණ්ඩ ක්‍රියාවලියක ඔඩු දිවීමකි.මහින්ද රාජපක්ෂ තම බල කාමය නිසා තම පනස් වසරක දේශපාලන ජීවිතය වනසා ගත් බව ඔහු ගේ දෙටු සොයුරු චමල් රාජපක්ෂ ඊයේ(19) පාර්ලිමේන්තුවේ දී කීය.මැති ඇමතිවරුන්ගේ නිවාස එක් රැයින් ගිනිබත් වූයේ එහි ප්‍රතිඵලයත් සමඟය. ජනතාව ගෑස් පෝලිම්වල සිටියදී එක් ඇමතිවරයෙකු ගේ හා නගරාධිපතිවරයෙකුගේ නිවසේ ගෑස් සිලින්ඩර් තොග ගණන් සගවා ගෙන සිටිනු දැකගත හැකිවිය. තවත් අයෙකුගේ නිවසේ පොහොර තොග ගණන් තිබුණි .එවැනි ගෙවල් ගිනි තැබීම හොද බව ජනතාවට සිතෙන්නට වූයේ මේ නිසාවෙනි.

නිවාසවලට පහර දීමෙන් ජනතාව දුන් පණිවුඩය වූවේ මන්ත්‍රීවරුන්ට දැන්වත් වෙනස් වන ලෙසය. එය තේරුම් ගත් මන්ත්‍රීවරයා වෛද්‍ය රමේෂ් පතිරණ බව පැහැදිලිය. තමන්ගේ දේපල අහිමිවීම ගැන මැතිඇමතිවරු පාර්ලිමේන්තුව තුළ හඩා වැටෙද්දී ඔහු පණිවුඩයක් සිය සඟයන්ට දීමට උත්සාහ කළේය. එම පණිවුඩය 225 දෙනාම තේරුම්ගත හොත් ජනතා විරෝධය සමනය කරගත හැකි වනු ඇත.

වෛද්‍යරමේෂ් පතිරණ මන්ත්‍රීවරයා මෙම නිදන්ගත රෝගයට අත් බෙහෙතක් දී ඇත. එයින් මන්ත්‍රීවරුන් සුවපත් නොවුනහොත් ඉදිරි ප්‍රතිකාර ක්‍රියාවලිඅය කුමකින් කුමක් වේදැයි සිතා ගන්නට වත් බැරිය.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර