පොදු ජන පෙරමුණේ තීන්දුව ගෝල්ෆේස් අරගලයට ගහන්න කොළඹට පාක්ෂිකයන් කැඳවීම වගේ නාට්‍යයක්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පෙරේදා (29) ගත් දේශපාලන තීන්දුව 2022 මැයි මස 9 වැනිදා ගෝල් ෆේස් අරගලයට පහරදීමට කොළඹට පාක්ෂිකයන් කැඳවීම හා සමාන ක්‍රියාවක් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තර්කය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති තම පක්ෂයට නොගැලපෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් දැන් සඳහන් කරන බවත්, මෙම නොගැලපීම තේරුම් ගැනීමට අවුරුදු දෙකකට වැඩි කාලයක් යාම පිළිබඳව තමා කණගාටු වන බවත් ඔහු සඳහන් කරයි.ඊයේ පැවැති මාධ්‍ය හමුවක දී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද කීය.
“ඊයේ පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය හමුවුණා. එම දේශපාලන මණ්ඩලය ඉදිරි ජනාධිපතිවරණයට පොහොට්ටුවේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න තීන්දුවක් ලබා ගත්තා කියලා අපිට දැනගන්න ලැබුණා. ඒ ගැන අපි පුදුම වෙන්නේ නෑ. ඒක දේශපාලන මණ්ඩලයේ නාට්‍යයක්.ඒ අය ඊයේ ගත්ත දේශපාලන මණ්ඩලයේ තීන්දුව අපිට සම කරන්න පුළුවන් වෙන්නේ 2022 මැයි 9 වැනිදා කොළඹට පාක්ෂිකයන් ගෙනල්ලා අරගලයට ගහන ගත්ත තීන්දුවට.ඒ තීන්දුවෙන් පීඩාවට පත් වුණේ අපේ පාක්ෂිකයෝ. අපේ පාක්ෂිකයොන්ට ගහලා, රෙදි ගලවලා, ඇඳුම් ගලවලා බේරේ වැවේ ඔබන තත්වෙට පත් වුණා. ඒ අවසථාවේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට විකල්පය විදිහට හිටියේ රනිල් වික්‍රමසිංහ විතරයි. දැන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තර්කය තමයි රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති පොදු ජන පෙරමුණට නොගැලපෙන බව. ඒ වෙලාවේ ගැලපුන දැන් නොගැලපෙන හඳහන මොකක්ද කියලා අපි ප්‍රශ්න කරනවා”

කාලීන පුවත්