ප්‍රංශය මේ වනවිට දැවැන්ත විරෝධතා රැල්ලකින් ගිනි ගෙන තිබේ. මෙම විරෝධතාව පැන නගින්නට හේතු වූයේ එරට පොලිසිය අප්‍රිකානු සම්භවයක් සහිත 17 හැවිරිදි තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීමයි. බොහෝ දෙනා මෙය හඳුන්වන්නේ ජාතිවාදී ඝාතනයක් ලෙසිනි.
ප්‍රංශයේ ප්‍රදේශ රැසක පසුගිය දිනවල ඉතා උණුසුම් ආකාරයෙන් විරෝධතා පැතිරෙන්නට පටන් ගත් අතර රජයේ ගොඩනැගිලි, වාහන ඇතුළු දේපල රැසක් විරෝධතාකරුවන් විසින් ගිනිබත් කරනු ලැබිණි. මේවා ගිනි ගෙන දැවෙමින් ඇති ආකාරය දැක්වෙන ඡායාරූප සහ විඩියෝ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ. මේ අතර ඇතැම් තැන්වල සුපිරි වෙළෙඳසැල් සහ සාප්පු ආදිය කොල්ල කා ඇති බව ද වාර්තා වේ. බොහෝ අවස්ථාවල පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම් හටගෙන තිබිණි. එක් තැනක පොලිසිය එල්ල කළ දරුණු කඳුළු ගෑස් ප්‍රහාරයක් නිසා ඒ ආසන්නයේ ගොඩනැගිලිවල සිටියවුන් පවා ඒවායින් ඉවත් කිරීමට සිදු වූ බැව් වාර්තා වේ.
එකම තැනක බස් රථ 12 ක් ගිනි තබා තිබූ අවස්ථාවක් ගැන ද මාධ්‍ය වාර්තා කර තිබේ. පාසල් 28 ක්, නගර ශාලා 34 ක්, පොලිස් ස්ථාන 80 ක් ප්‍රහාරයට ලක්ව ඇති බවත්, ඇතැම් ගොඩනැගිලි ගිනිතබා ඇති බවත් සිකුරාදා විදෙස් මාධ්‍යවල සඳහන් විය. මේ වනවිට දහසකට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වේ. විරෝධතා පාලනය කිරීම සඳහා ආරක්ෂක නිලධාරීන් 45,000 ක පමණ පිරිසක් යොදවා ඇති බව සඳහන් ය.
මෙම උණුසුම් සිදුවීම් දාමය ආරම්භ වූයේ පසුගිය අඟහරුවාදා (27) ය. ඒ වාහනයක් තුළ සිටි නාහෙල් එම්. නැමැති තරුණයකුට පොලිස් නිලධාරියකු වෙඩි තැබීමත් සමග යි. මෙම වෙඩි තැබීම සිදු වූයේ පැරිස් නුවරට බටහිර දෙසින් පිහිටි නන්ටෙයර් නැමැති නගරයක යි. එහි ධාවනය වෙමින් තිබූ මර්සිඩිස් වර්ගයේ මෝටර් රියක් පසුපස පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හඹා විත් තිබුණේ එය නවත්වන ලෙස දැනුම් දෙමිනි. නමුත් රථය නොනවත්වා ධාවනය කර ඇති බව සඳහන් වේ. අවසානයේ වාහන තදබදයක් තිබූ තැනක දී එය නතර කිරීමට එහි ගමන් කළ අයට සිදුව තිබිණි.
එයින් පසු පොලිස් නිලධාරීන් දෙදෙනා වාහනය අසළ සිටගෙන සිටින ආකාරයත්, එක් නිලධාරියකු ගිනි අවිය වාහනය තුළට එල්ල කරගෙන සිටින ආකාරයත් දැක්වෙන විඩියෝ ද සංසරණය වෙමින් තිබේ. ඒ සමගම වාහනය නැවතත් ඉදිරියට ගමන් කිරීමට සූදානම් වන ආකාරයක් දැක්වෙන අතර ඒ එක්කම වෙඩි හඬක් ද ඇසේ. ‘තමුන්ගෙ ඔළුවට බුලට් එකක් වදින්නයි යන්නෙ’ යනුවෙන් ඊට මොහොතකට පෙර පොලිස් නිලධාරියා පවසන හඬක් ද විඩියෝවෙයි ඇසෙන බව සඳහන් ය.
වෙඩි පහරින් නාහෙල් එම ස්ථානයේම මියගොස් තිබිණි. වාහනය ඉදිරියට ඇදී ගොස් කිසියම් කණුවක හැපී නතර වන ආකාරය ද දැකිය හැකි වේ. එම මෝටර් රියේ තවත් දෙදෙනෙකු සිට ඇති බව ද පැවසේ. මෙම සිද්ධිය මෙයට වසර කිහිපයකට පෙර ඇමරිකාවේ සිදු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය සිහි ගන්වන්නකි.
සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා මේ වනවිට අත්අඩංගුවට ගෙත තිබේ. තමාට සමා වන මෙන් ඔහු මියගිය තරුණයාගේ පවුලේ අයගෙන් ඉල්ලා ඇති බවක් ද මාධ්‍ය වාර්තාවල සඳහන් ය. තමා වෙඩි තැබූවේ වාහනය නවත්වා ගැනීමට අවශ්‍ය වූ නිසාත්, තමා හෝ මාර්ගයේ සිටි අය එහි හැප්පෙනු ඇතැයි සිතූ නිසාත් යයි ඔහු පවසා තිබිණි.
ඝාතනයට ලක් වූ නාහෙල් එම්, ඇල්ජීරියානු සම්භවයක් ඇති තරුණයෙකි. ඇල්ජීරියාව යනු උතුරු අප්‍රිකානු කලාපයේ පිහිටි රටකි. ඔහුගේ මවට සිටි එකම දරුවා නාහෙල් බව පැවසෙන අතර ඔහුට සිය පියා ගැන අවබෝධයක් නොවූ බව ද සඳහන් වේ. නාහෙල් ජීවත් වී ඇත්තේ මවත් සමග ය. සිය එකම පුතුගේ අභාවයෙන් ඔහුගේ මව මහත් කම්පනයට පත්ව සිටියි.
“එදා උදේ එයා මට ලොකු හාද්දක් දුන්නා. දීලා කිව්වා ‘අම්මේ මං ඔයාට ගොඩක් ආදරෙයි” කියලා. ඒ වෙලාවෙ මාත් එයාට කිව්වා “මමත් ඔයාට ආදරෙයි. පරෙස්සමින් ඉන්න පුතේ” කියලා. එයින් පැයකට පස්සේ මොකක්ද මට අහන්න හම්බ වුණේ. මගේ පුතාට වෙඩි තියලා කියලා’ නාහෙල්ගේ මව පවසන්නේ දැඩි සිත් වේදනාවෙන් යුතුව ය. ‘මම දැන් මොකද කරන්නේ? මම මගේ ජීවිතයේ හැම දෙයක්ම කැප කළේ එයා වෙනුවෙනු යි. මට හිටියේ එකම දරුවයි. දහපහලොස් දෙනෙක් හිටියෙ නැහැ. ඔහු තමයි මගේ ජීවිතය සහ මට හිටපු හොඳම යහළුවා’ ඇය තවදුරටත් කියා තිබුණාය.
මාධ්‍යයට අදහස් දැක් වූ බොහෝ දෙනෙකු නාහෙල් හඳුන්වා තිබුණේ යහපත්, කරුණාවන්ත කෙනෙකු ලෙසිනි. ඔහු රැකියාව කර තිබුණේ ආහාරපාන බෙදා හරින රියදුරකු (Delivery Driver) වශයෙන් බව ද සඳහන් වේ. පොලිස් නිලධාරීන් මෝටර් රථය නතර කරන්නට කියද්දී ඔහු එය නොනවත්වා ගියේ මන්ද යන්න පැහැදිලි නැත. නමුත් කව්රුත් පවසන්නේ එසේ වූ පලියට ඔහුට වෙඩි තබා ඝාතනය කිරීමට පොලිසියට අයිතියක් නැති බවයි.
විරෝධතාකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම වන්නේ නාහෙල් වෙනුවෙන් සාධාරණය ඉටු කිරීමට බලධාරීන් කටයුතු කළ යුතු බව ය. නමුත් මෙම විරෝධතා ඊට වඩා පුළුල් පසුබිමක් මත පැන නැගුණු එකක් බව විශ්ලේෂකයන්ගේ අදහස යි. ‘පොලිසියේ අකටයුතුකම් ගැන දැන් කාලයක සිටම අවධානය යොමු වෙනවා. විශේෂයෙන් අඩු ආදායම් ලබන කම්කරු ජනයාට සහ සුළු ජාතික කණ්ඩායම්වලට එරෙහිව මෙවැනි අකටයුතුකම් සිදුවන බවට චෝදනා එල්ල වෙනවා. මෙම පුළුල් කාරණාව සම්බන්ධයෙන් සංවාදයක් ඇති කිරීම සඳහා විරෝධතාකරුවන් වත්මන් සිද්ධිය ප්‍රයෝජනයට ගනිමින් සිටින බවයි පෙනෙන්නේ’ එක් නිරීක්ෂකයකු මාධ්‍ය සමග පවසා තිබිණි.
මාර්ග නීති කඩකිරීම නිසා නතර කරනු ලැබූ 13 දෙනෙකු පසුගිය වසරේ ඝාතනය කර තිබූ බව සඳහන් වේ. එය ප්‍රංශය තුළ වාර්තාගත සංඛ්‍යාවක් බව මාධ්‍ය පවසයි.
නිහාල් පීරිස්